කණ්ණාඩි දෙකටත් මාෆියාව ඇවිත් | සිළුමිණ

කණ්ණාඩි දෙකටත් මාෆියාව ඇවිත්

 කර්මාන්තයක් තරමට මෙරට ඇස් කණ්ණාඩි නිෂ්පාදනය ව්‍යාප්ත කළ ශ්‍රී ලාංකිකයා ඔහුය. සිය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයකු වන ඔහු සෑම විටෙම රට තුළ කර්මාන්තයක් ඇති කිරීමේ වැදගත්කම කියයි. දේශීය කර්මාන්ත වැසී යන විට සිදුවන්නේ සියල්ල ආනයනය කිරීමටය. එවට රටේ සියලු ධනය පිට රටවලට ඇදී යයි. යැපුම් මානසිකත්වය සහ අලස මිනිසුන් පමණක් ඉතිරිවන රටකට අනාගතයක් නැත. එය වෙනස් කරන්නට වෙර දරන විරල මිනිසුන් අතර ඔහු ද කෙනෙකි. ඔහු අපට වැදගත් වන්නේ එහෙයිනි.

කැමැතියි ඔබේ පැටිකිරිය දැන ගන්න...

දෙවැනි ලෝක යුද සමයෙ මාතර ඉඳන් කොළඹ ආපු, 1950 ගණන්වල කණ්ණාඩි ව්‍යාපාරයක් පටන් ගත්තු, 1967 කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා 17 අවුරුද්දක් අඛණ්ඩව නගර සභාව නියෝජනය කරපු ජෝර්ජ් අබේගුණරත්නගෙ හය වැනි පුතා මං.

ජෝර්ජ් අබේගුණරත්න කොහොමද ගුණරත්න වුණේ...

බිස්නස්වලදි නම ලේසියෙන් කියැවෙන්න ඕනේ නිසයි තාත්තා ‘අබේ’ කොටස හලලා, ගුණරත්න විතරක් පාවිච්චි කළේ. ඒ නම මිනිස්සුන්ට මතක හිටියා.

ජෝර්ජු ගුණරත්නගෙ හැම දරුවකුට ම කණ්ණාඩි සාප්පු තිබෙනවද...

අපේ පවුලෙ දරුවො අටයි. මේ හැම දෙනාම බිස්නස් කරන්නෙ එකම නමකින්. පාරිභෝගිකයන්ට පොඩි පැටලිල්ලක් තිබෙනවා තමයි. නමුත් මේක අපේ තාත්තා හදපු ව්‍යාපාරය. එක එක්කෙනා තමන්ට පුළුවන් ලෙස ස්වාධීනව බිස්නස් කරනවා. රටපුරා ම අපේ සාප්පු 35 ක් තිබෙනවා.

ඔබට සාප්පු කීයක් තිබෙනවද...

25 යි. අපේ පළවෙනි සාප්පුව ලොකු අයියගෙන් පස්සෙ කළේ මං. මගේ ලොකු අයියා ලයනල්. දෙවැනියා ගිල්බට්. එයා ඉන්නෙ පිටරට. බිස්නස්වලට සම්බන්ධ නැහැ. තුන්වැනියා මල්ලිකා අක්කා. එයාට සාප්පු හතරයි. හතරවැනියා ලලිතා අක්කා. එයාට සාප්පු දෙකයි. පස්වැනියා වසන්ත අයියා. එයා ඉංජිනේරුවෙක්. බිස්නස් එකේ නැහැ. හයවැනියා මං. හත්වැනියා සිරි. මගේ මල්ලි. සාප්පු තුනක් තිබෙනවා. අටවැනියා ලක්ෂ්මන් මල්ලි. එයා බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය ඇමති. එයත් මේ බිස්නස් එකේ නැහැ.

ගුණරත්න පවුලේ බිස්නස්වලින් ඉදිරියෙන් ම ඉන්නෙ ඔබ. ඇයි අනෙක් අය මේ තරම් ව්‍යාප්ත නොවුණේ...

ඒකම තමයි මගේ වෙනසත්. මට ඕනෙ වෙහෙස. ඒකයි මං අමාරුවෙන් වුණත් කර්මාන්තයක් විදියට ලෙන්සස්, ෆ්‍රේම්, කණ්ණාඩි කේස් හදන්නේ. මං වගේ වද වෙන්න හුඟක් අය කැමැති නැහැ. ඇත්තට ම අවශ්‍යත් නැහැ. කොහෙන් හරි ගත්තා, ෆිට් කළා විකිණුවා. ඒ ක්‍රමය තමයි අද බිස්නස් ලෝකෙ සුලභ. ලාබෙ වැඩියි. කරදර අඩුයි. නමුත් මගේ ඇ‍ඟේ තිබෙන්නේ කර්මාන්තයක් කිරීමේ, අලුත් දේ සොයා ගැනීමේ උණක්.

මොකක්ද ඔබේ වැඩ කිරීමේ ක්‍රමය...

මං දවසේ වැඩි කාලයක් ඉන්නෙ ෆැක්ටරියෙ. ජ’මන්කාරයට වඩා දියුණු ටූල්ස් මං හදාගෙන තියෙනවා. ඒ සමහර උපකරණ සමහර විට ලෝකෙන් ම තියෙන්න මං ළඟ විතරයි. මං හැම වෙලාවෙ ම අලුත් දේ ගැන රිසර්ච් කරනවා. එක්ස්පෙරිමන්ට් කිරීම ම තමයි මගේ විදිය.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම පොල්ගස්ඕවිට - අම්බලන්ගොඩ අපේ ගමේ ඉස්කෝලෙ. හයේ පංත‍ියේ ඉඳන් කොළඹ ආනන්දයේ. පුංචි කාලෙත් මං දක්ෂයි. හැබැයි දඟයි. කළේ ම, නාහෙට නාහන වැඩ. ‘මැත්ස් ඇන්ඩ් ෆිසික්ස්’ මං ආසම විෂයන්. ෆිසික්ස් පිළිබඳ දැනුම මගේ කර්මාන්තයට අදටත් උදව්වක්.

ඒ ළමා කාලයේ අරමුණක් තිබුණෙම නැත්ද...

ඉස්කෝලෙ ඇරිලා ආවා. පොත් ටික පැත්තකට දැම්මා. යාළුවො ටිකත් එක්ක ඇළට ගියා. ටියුබ් අරන් ගිහින් වරු ගාණක් ඇළේ පීනනවා. ඒ කාලෙ පොල්ගස්ඕවිට කියන්නෙ හද්දා පිටිසර. මට කැලේ පනින එක තරම් ආසාවක් තවත් තිබුණෙ නැහැ. අවුරුදු දහසය විතර වෙනකල් මේ ජීවිතේ ඇති තරමට වින්දා. O/L විභාගෙට ලිව්වට පස්සෙ මං නිතර සාප්පුවට ගියා. එහෙ වැඩ කෙරෙන හැටි බලාගෙන හිටියා. එතැන ඉඳලා ආසා වුණේ කවදා හරි සාප්පුවේ වැඩ කරන්න.

එතකොට, මොකක්ද ඔබේ පළමු රස්සාව...

තාත්තා දේශපාලනයට ගියේ මගේ ලොකු අයියට කණ්ණාඩි සාප්පුව බාර දීලා. එයා ඒක මහන්සියෙන් කරගෙන ගියා. ඒ වෙලාවෙ අපේ මුළු පවුල ම නඩත්තු වුණේ ඒ සාප්පුවෙන්. මාත් උසස් පෙළ පංතියට ගියා විතරයි. ලොකු අයියා ඇහුවා, සාප්පුවෙ වැඩ කරන්න එන්න කැමැතිද කියලා. අහන පරක්කුවට මං කැමැතියි! කිව්වා. ඒ වෙනකොටත් මං කණ්ණාඩි සාප්පුවේ වැඩ දන්නවා. ඇස් පරීක්ෂා කරන්න, කණ්ණාඩි ගළපන්න තාත්තා මට කියා දීලා තිබුණා. මං වැඩ පටන් ගත්තා.

ඔබ සුදුසුකම්ලත් දෘෂ්ටි විශේෂඥයෙක් ද...

නවසිය හැට ගණන්වල ම ලොකු අයියා මාව දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමයේ සාමාජිකයෙක් කළා. ඊට පස්සෙ එංගලන්තෙන් ආපු සුදු ජාතික වෛද්‍යවරු පවත්වපු දෘෂ්ටි පරීක්ෂක ඩිප්ලෝමා පාඨමාලාවට යැව්වා. පංති තිබුණෙ විහාර මහා දේවි ඉස්සරහා බාලදක්ෂිකා සංගමයේ. මං විභාගෙ කළා. ඒත් දෘෂ්ටි පරීක්ෂකවරයෙක් විදියට වැඩ කරන්න ලැබුණෙ තුන් අවුරුද්දයි. මං මගේ Turning point එකට ආවා.

මොකක්ද ඒ ජීවිත පෙරළිය...

ඒ කා‍ෙල සුද ආපුව ම අද වගේ ඇහැ ඇතුළට ලෙන්ස් දැම්මෙ නැහැ. ඇස් ඉස්පිරිතාලෙ ඔපරේෂන් එක කළාම නොමිලේ කණ්ණාඩියක් දෙනවා. ඒවා බොහෝවිට මහත ‍බෝතල් අඩි කණ්ණාඩි. රජය ඒවා හැදව්වෙ ටෙන්ඩර් කැඳවලා. ඒ කාලෙ අපිට ටෙන්ඩරයට තරග කරන්න බැහැ. නීතියක් තිබුණා, දේශීය නිෂ්පාදකයාට පමණයි තරග කරන්න පුළුවන් කියලා. ලොකු අයියා මට කතා කළා. ‘ජයන්ත කණ්ණාඩි 15,000ක ටෙන්ඩරයක් තියෙනවා. ගත්තොත් අතින් හදන්න පුළුවන්ද...’ කියලා. මං ‘හරි’ කිව්වා. ඒ ටෙන්ඩරය බාර ගැනීම තමයි, මගේ ජීවිතය එහෙම පිටින් ම වෙනස් කළේ.

ඒත් ඔබලාට කර්මාන්ත ශාලාවක් තිබුණෙ නැහැනේ...

ඔව්. නමුත් තාත්තට යුද්දෙ කාලෙ ඉඳන් තිබුණා. ඔර‍ලෝසු අමතර කොටස් ගේන ලයිසන් එකක්. ඒකට රුපියල් 30,000ක පිටරටින් බඩු ගේන්න පුළුවන්. ඒ ලයිසන් එකට අපි ඉතාලියෙන් කණ්ණාඩි ෂීට්ස් ගෙනාවා. ටූල්ස් ගෙනාවා. දහ දෙනෙක් විතර වැඩට ගත්තා. අයියගෙ හිතවත් ඉංජිනේරුවො සරල මැෂින් කිහිපයක් හදාගන්න උදව් කළා. කණ්ණාඩි රවුම ෂීට්ස්වල අතින් ඇඳලා, කටර්වලින් කපලා පීරෙන් සියුම්ව මැදලා, අච්චුවකට දාලා, රවුම් කණ්ණාඩි 15,000 ක් මාස තුනක් ඇතුළත අතින් හැදුවා. අපි දිවා රෑ නැතුව වැඩ කළා. ටෙන්ඩරේ වෙලාවට දුන්නා. ඒකෙන් ම කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ රෙජිස්ටර් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙ කර්මාන්තයක් රෙජිස්ටර් කරගන්නවා කියන්නෙ විශාල ජයග්‍රහණයක්. අපි ඒක කළා.

‘සාර්ථකත්වය කරා ගිය මිනිසුන් ජීවිතයේ කෙදිනක හෝ ප්‍රතික්ෂේප වී තිබෙනවා....’ මේ කතාව ඔබටත් අදාළද...

ඒ කාලේ ලෙන්සස් කපන බ්ලෑන්ක් ෂීට් මුළු ලංකාවට ම ගෙනාවෙ ඉන්දියාවෙ පටෙල් සමාගමෙන්. මං ඒවා ලංකාවෙ හදන්න හුඟක් කල් පරීක්ෂණ කළා. බ්ලෑන්ක්ෂීට් වලින් ලෙන්සස් කැපීම, ලෙන්ස් එකේ පවර් එක හැදීම ඒ කාලෙ ලේසි වුණේ නැහැ. දවසක් පටෙල් සමාගමෙන් එවපු බඩු පෙට්ටියක, ‘මේඩ් බයි චාල්ස් පිල් ක්ලින්ටන් - යූ.කේ’ කියලා ඇඩ්‍රස් එක ගහලා තිබුණා. මං ඒ සමාගමට ලියමනක් ලියුවා, සාම්පල් ටිකක් ඉල්ලලා. සුමාන දෙක තුනකට පස්සෙ මට ඒ සමාගම බ්ලෑන්ක්ෂීට් සාම්පල් එවලා තිබුණා. මං ඒක අධ්‍යයනය කළා. ලෙන්ස් එකේ නැමි, අයින් කපන හැටි කල්පනාකළා. ඒවා කප කපා අත්හදා බැලුවා. ග‍ෙඩාලින් පෝරණුවක් හදලා ඒකෙ දමලා පවර් එක හරියන කල් ම උණු කර කර පිච්චුවා. සියුම්ව කැපුවා. සමහර ඒවා පිපිරුවා. ටික ටික හරි ගියා. නමුත් අන්තිමේ මගේ උත්සාහය හරිගියා. මං ලංකාවෙ බ්ලෑන්ක්ෂීට් හදන්න ගත්තා.

එතකොට ප්‍රතික්ෂේප වුණේ...

මේක දැනගෙන කර්මාන්ත දෙපාර්තමේන්තුවට අපේ ක්ෂේත්‍රයේ ම අය 1973 දි මට පෙත්සම් ගැහුවා. ‘මේවා මෙහෙ හැදුවොත් මිනිස්සුන්ගෙ ඇස් පොට්ට වෙයි...’ කියලා. දෘෂ්ටි විශේෂඥයන්ගේ සංගමයේ ලෙටර් හෙඩ් එකකින් ම ලියුමකුත් දුන්නා, මට ඒ අවස්ථාව දෙන්න එපා කියලා. නමුත් කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ අතිරේක ලේකම් තුමා අපිට අවස්ථාව දෙන්න කැමැති වුණා.

ගඩොල් පෝරණුවකින් උණුකරලා පුළුවන් වුණාද ඒ තරම් වීදුරු ෂීට්ස් හදන්න...

යුනියන් පෙදෙසෙ, විද්‍යාගාර උපකරණ ගෙන්වන කලම්බු ට්‍රේඩර්ස් එක ළඟ විකුණන්න තිබුණා කැඩුණු පරණ වීදුරු උණුකරන උදුනක්. රුපියල් 650 කට මං ඒක ගත්තා. මගේ අයියා ඒක හදලා දුන්නා. එයා ඉංජිනේරුවා නිසා හැම වෙලාවෙ ම අපිට උදව් කළා. අදටත් මගේ ෆැක්ටරියේ ඒ උදුන තිබෙනවා. හොඳින් වැඩ කරනවා. ජෝඩු 13 ක් එකවර හදන්න පුළුවන්. මිස්ට පටෙල්ගෙ වීදුරු ෂීට්ස් වගේ ම හැදුණා. පස්සෙ මං ඉන්දියාවට ගියා. කෙනෙක් යාළු කරගෙන ෆැක්ටරියක් ඇතුළට ගිහින් බැලුවා. මට ම පුදුමයි. මං කරන ක්‍රමය හරි. හැමදේ ම හොඳින් බලාගෙන ඇවිත්, අවශ්‍ය මැෂින් ගත්තා. අපේ ‍රටේදිම ‘ක්රිප්ටොක් බයිෆෝකල් ග්ලාස්’ හදන්න ගත්තා.

පෙත්සම ඔබේ ජීවිතයට හරහට හිටියෙ නැද්ද....

මං තවම හිතන්නෙ හොඳක් වුණා කියලා. කර්මාන්ත දෙපාර්තමේන්තුවෙදි තමයි පෙත්සම විභාග කළේ. ඒ වෙලාවෙ ලංකාවේ දෘෂ්ටි විශේෂඥ සංගමයෙනුත් පණහක් විතර මට විරුද්ධව ඇවිත් හිටියා. ඒ අය කිව්වා ‘සර් ලෝකෙ ම මේ ලෙන්සස් හදන ෆැක්ටරීස් තුනයි තියෙන්නේ. එංගලන්තයේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ. ලංකාව වගේ පොඩි රටකට මොකටද මේ වගේ කර්මාන්තයක්...’ කියලා. පෙත්සම විභාග කරපු නිලධාරියා ටිකක් කල්පනා කළා. ‘හරි ඕ‍ගොල්ලො විරුද්ධ නම් මේ ලෙන්සස් ලංකාවෙ හදනවට, මේවා ඔක්කොම ජෝර්ජ් ගුණරත්න කොම්පැනිය ම විකුණගත්තු දෙන්. ඕගොල්ලො කවුරුවත් මෙයාගෙන් ගන්න එපා කියලා එයා අනුමැතිය දුන්නා. පස්සෙ මං හැමෝටම මං හදපු සාම්පල් යැවුවා. ටික දවසකින් හැමෝ ම මගෙන් ගන්න ගත්තා. කොලිටිය ඉහළයි. ගණන් සාධාරණයි.

ඒ තමයි ඔබ අමාරු ම කාලෙකින් ගොඩ ආ හැටි...

ඇල්බට් එදිරිසිංහටයි එරික් රාජපක්ෂටයි විතරයි ඒ වෙලාවෙ ලොකු ලයිසන් එකක් තිබුණෙ. අපිත් ඇතුළුව අනිත් හැමෝටම තිබුණෙ පොඩි පොඩි කෝටා. ඒ හැමෝම මගෙන් ලෙන්සස් ගන්න ගත්තා. ටෙලිග්‍රෑම් ගහලා ඕඩර්ස් දෙන තැනට, ලංකාවෙ හතර කොනින් ම ඕඩර්ස් ගලා ගෙන ආවා.

ජෝර්ජ් ගුණරත්න නමින්ම ද ඒ ලෙන්සස් බෙදා හැරියේ...

නැහැ. 1973 හයිරේ ඔප්ටිකල් ඉන්ඩස්ට්‍රීස් නමින් මං මගේ ම ලෙන්සස් හැදුවා. මං කාච කුට්ටමක් විකිණු‍ුවෙ දහතුනයි පණහට. රුපියල් පහක් මට ශුද්ධ ලාභය. සත පහක ලෝන් එකක් ගන්නැතුව. මං තට්ටු දෙකේ ගෙයක් හැදුවා. බෙන්ස් කාර් එකක් ගත්තා. හිතාගන්න පුළුවන්ද මගේ බ්ලෑන්ක්ස්වලට කොහොම අලෙවියක් තිබුණද කියලා. අලුතින් එන කණ්ණාඩි සාප්පු ලෙන්සස් හදන බ්ලෑන්ක්ස් ගන්න මාව හොයාගෙන ආවා. අදටත් ඒ ඉල්ලුම එලෙසමයි.

ඔබ ඉදිරියට ආවේ හැම වෙලාවෙම, පවතින තත්වයේ හිඩැස තේරුම් ගැනීමෙන්. එකඟද ඒ කතාවට...

නැහැ. ඒක එකක් විතරයි. සමහරවිට අපිව වට්ටන්න මිනිසුන් සපයන උත්තේජනය ඊට වඩා ප්‍රබලයි. කරන්න අමාරුයි කියලා හිතෙන හුඟක් දේ කරන්න ඒ උත්තේජනය ම ලොකු තල්ලුවක් වෙනවා.

මොකක්ද ඒ කියන්නේ...

බ්ලෑන්ක් ෂීට් හදපු මම ෆිනිෂ් ලෙන්සස් හදන්න ගත්තට පස්සෙ, එක දවසක් මැලිබන් වීදියේ ඇවිදගෙන යනවා. කණ්ණාඩි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක්ගෙ සාප්පුවක් පහුකරගෙන යනකොට එයා මට අත්පුඩි ගහලා කතා කළා. ‘ආ! ජයන්ත, දැන් ලෙන්සසුත් හදනවලු නේද’ ඔව්. මං කිව්වා. ‘ඔයා පාඩුවටලු දෙන්නෙ නේද...’ මං ආයෙත් ඔව් කිව්වා. ‘හොඳට මතක තියා ගන්න, මට පොල්වතු තියෙනවා. ඒකෙ ලෙලි විකුන්නත් මට ජීවත් වෙන්න පුළුවන්. බිස්නස් එක වැහුවොත් ඔයාට මොකද වෙන්නේ...’ කිව්වා. හිතට ආපු දුක ඉවසාගෙන, මිස්ට... මේක වැහුවොත් මං හිඟා කන්නෑ.

තව දෙයක් කරනවා කිව්වා. ඇස්වලට කඳුළුත් ආවා. ඒත් මං යන ගමන් හිතුවා කවද හරි මං පිටකොටුවට එනවාමයි කියලා. මං කුලියට තැනක් හෙව්වා. මට තැනක් ලැබුණා. සාප්පුව විවෘත කරන දවසෙ අර දැවැන්තයටත් මං ආරාධනා පතක් යැව්වා. මොකද හිත රිදුණත් එයා තමයි මට උත්තේජනයක් දෙන වචනෙ කිව්වෙ. අද මට මේ පි‍ටකොටුවෙ තට්ටු හතරක මගේ ම ස්ථිර ගොඩනැඟිල්ලක් තියෙනවා.

මොනවද ඔබ අපේ රටට හඳුන්වා දුන් අලුත් දේ...

ප්ලාස්ටික් ලෙන්සස් හදන බ්ලැන්ක් ෂීට් පළමු වරට ලංකාවේ හැදුවෙ මම. අද මං ගේන්නෙ කෙමිකල් විතරයි. ඒවා තමයි අවසානයේ ප්ලාස්ටික් ලෙන්ස් බවට පත් කරන්නේ. කණ්ණාඩි ෆ්‍රේම් එකේ, කේස් එකේ, පටන් අවශ්‍ය හැම දේම හදන්නෙ අපේ කර්මාන්තශාලාවේ. අව්වෙදි කළු පැහැ වෙන විශේෂ ලෙන්සස් වර්ගය පළමු වතාවට ලංකාවෙ හැදුවෙත් මම.

ඔබ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කරනවා...

ඔව්. හදන්න පුළුවන් හැම දේම මේ රටේ ම හදනවා. අපේ බහුතර සේවක පිරිස ගැහැනු ළමයි. සියයට අනූනවයක් ම ගමේ අය. මගේ ළඟ පිරිමින්ට ඕනෙ තරම් ඇබෑර්තු තිබෙනවා. නමුත් පිරිමි නැහැ. ත්‍රීවිල් එළවන්න ගිහින්. මේක කර්මාන්තයක්. කවුරු වුණත් ඇවිත් ඉගෙන ගෙන වැඩ කරනවා නම් මං අවස්ථාව දෙනවා.

මේ තරම් වැඩ කළත් වැඩි සද්දයක් නැත්තෙ ඇයි...

මං කර්මාන්තයට නිහඬව වැඩකරන ජ්‍යෙෂ්ඨයෙක්. FMO හෙවත් එංගලන්තයේ, නිෂ්පාදකයන්ගේ සංගමයේ පළමු විදේශික සාමාජිකයා (Overceas member) මං. ඔවුන් මට ඒ සාමාජිකත්වය පිරිනැමුවේ ගරු ගාම්භීරව. ලංකාවට ඇවිත් මේ රටට මං කරපු දේ පිළිබඳ හොයලා බලලා වාර්තාවක් හැදුවට පස්සෙයි.

ඔබ හදහපු ලේසර්, ලෙන්ස් එක ගැනත් කියන්න...

ඒක ලේසර් කිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එකක්. මේක 2015 හඳුන්වා දුන් ජපන් තාක්ෂණයක්. ජපානයෙන් පස්සෙ කොරියාවට සහ චීනයට දීපු ඒ තාක්ෂණය, ජපානය හතර වැනියට දුන්නෙ මට. Uv කිරණවලින් ආරක්ෂා කරන අධි තාක්ෂණික සියුම් ලෙන්ස් එකක් මේක. කිසි ම කිරණයක් මේ ලෙන්ස් එක හරහා ගමන් කරන්නෑ. ඒ නිසා ඇහැ ආරක්ෂිතයි. මගේ ඇ‍ෙඟ් ‘උණට’ කරනවා මිසක් අපේ රටේ මිනිස්සු මේවා කර්මාන්ත විදියට කරන්න කැමැතිත් නැහැ. හිතලවත් නැහැ.

ඇයි ඔබ මේ දේවල් දේශීය කර්මාන්තයක් විදියට පුළුල් නොකරන්නේ....

තැරැව්කරුවන් හරහා පිටරටින් බී. ග්‍රේඩ් ලෙන්සස් කිලෝ ගාණට ගේනවා. මගේ ෆැක්ටරියේ දවසට ලෙන්සස් තුන්දාහක් හදන්න පුළුවන්. නමුත් මං හදන්නෙ දාහයි. පිටරටින් හොරාට ගේන බඩු එක්ක තරග කරන එකයි ලොකු ම ගැටලුව. මේ බාධාව නෙවෙයි නම්, අපේ රටේ දේශීය කර්මාන්තයක් විදියට, කණ්ණාඩි කර්මාන්තයට බොහෝ දුරක් යා හැකියි. හැබැයි මං එතකල් බලා ඉන්නෙත් නැහැ. පුළුවන් උපරිම ලෙස මං පිටරටටත් යවනවා. මං මගේ ශිල්පයේ නිතර අප්ඩේට් වෙන කෙනෙක්. කලෙක මං, එංගලන්තයේ ලෙදර් හෙඩ් සහ සරේවල ලෙන්ස් හදන කර්මාන්තශාලාවල ලොකු ම ලැබ් දෙකකත් වැඩ කළා. රට රටවලට ගිහින් දැනුම ලැබුවා. මේ දැනුම සහ අත්දැකීම් තියාගෙන නිකම් ඉන්න කෙනෙක් නෙවෙයි මං.

කණ්ණාඩි කර්මාන්ත‍යත් අද මේ රටේ මාෆියාවක් වෙලා. පිළිගන්නවාද ඒ කතාව...

පෙනීම අඩු මනුෂ්‍යයකුට පෙනීම දෙන මහා පුණ්‍යවන්ත රස්සාවක් මේක. නමුත් දැන් මේ කර්මාන්තයෙත් මාෆියාවක් තිබෙන බව මාත් පිළිගන්නවා. ඇස්කණ්ණාඩි දෙකෙන් ඕනෑවට ගසා කන ක්‍රමයට මම විරුද්ධයි. සමහර වෛද්‍යවරු දුප්පත් රෝගීන්ට පවා ලියලා දෙන්නෙ අහවල් තැනින් ම ගන්න කියලා. ඉතින් ඒ ලෙඩා බයේ ඒ තැනට ම යනවා. ඊට පස්සේ වෙන දේවල් කියන්න බැහැ. නමුත් එහෙම විය යුතු නැහැ. ඇවිදලා බලලා අඩු තැනකින් ගන්න රෝගියාට අයිතියක් තිබෙනවා. කිසි ම ලාභයක් තියා නොගත්තොත් ඕන කණ්ණාඩි ව්‍යාපාරිකයෙකුට පුළුවන් දුප්පත් මිනිහෙකුට රුපියල් දාහකට හොඳ කණ්ණාඩි දෙකක් හදලා දෙන්න. ලංකාවේ නිෂ්පාදකයෙක් හැටියට මට කොහොමත් පුළුවන්. නමුත් අනෙක් අයට බල කරන්න මට බැහැ.

ඔබ වැඩ කරන්න අරන් අවුරුදු 50ක්. ජීවිතේ වෙහෙස දැනෙනවද...

මට දැන් 71 ක්. වැඩ කිරීම මට මහන්සියක් නෙවෙයි. ලැබෙන පොඩි විවේකයකදි වුණත් මං කැමැති කැලේ යන්න. ෆොටෝග්‍රැ‍ෆි සහ වයිල්ඩ් ලයිෆ්වලදි මට මගේ වයසත් අමතකයි.

එතකොට ආගමත් එක්ක තිබෙන බැඳීම...

පන්සල් බෞද්ධයෙක් නම් නෙවෙයි. ධර්මයේ හැසිරීම පමණයි මට වැදගත්. කොටගම වාචිස්සර හාමුදුරුවන්ගෙ ගෝලයෙක් මම. උන්වහන්සේ අපිට බුදු දහම ඉගැන්වුවෙ තර්කානුකූලව - විද්‍යානුකූලව හිතන්න පුරුදු කිරීමෙන්. ඒ නිසා බදා වැලඳගත් අන්ධ භක්තියක් මා තුළ නැහැ.

ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද...

මං විශ්වාස කරන්නෙ කර්මය. අවුරුදු ගණනාවකට උඩදි මැණික් ග‍ඟේ පීනද්දි මාව කිඹුලෙක් ඇල්ලුවා. බේරෙන්න දඟලද්දි ඌ මාව වතුර යටට ඇදගෙන ගියා. දැන් මගේ පපුව තනිකර ම කිඹුල් දත් වල හිරවෙලා. වේදනාව දරාගෙන අමාරුවෙන් එක අතක් හොලවලා මං කිඹුලගෙ උඩු තල්ල මිරිකුවා. ඒ එක්ක ම මාවත් අරන් ඌ උඩට ආවා. විනාඩි එකහමාරකට පස්සෙ මට හුස්ම ගන්න පුළුවන් වුණා. මං කෑගැහුවා. ඌට මාව අතැරුණා. මං ගොඩට පැන්නා. මගේ ඇ‍ඟේ මස් එල්ලෙනවා. මට මරණය දැනුණා. කිඹුල් කටට ගිහිනුත්, මං ආපහු ජීවත් වුණා. ඒ තමයි කර්මය.

ඔබේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න.

අනුන්ගෙ ටැප් එකක් හරි නිකම් ඇරිලා නම් මං ඒක වහලා දානවා. ඒක මදිකමක් නෙවෙයි. කන්න බැරි තරම් බෙදාගෙන මං කෑම අහක දාන කෙනකුත් නෙවෙයි. අදටත් මං පිඟාන බත් ඇටයක් ඉතුරු කරන්නෑ. මේ ලෝකෙ කන්න නැතිව කී දාහක් ඉන්නවද. ස්ටයිල් එකට කෑම විසි කරන එක පාපයක්. අරපිරිමැස්ම හැර නාස්තිය මගේ ජීවිතේ නැහැ. ඔබට ව්‍යාපාරයක් කරන්න වුවමනා නම් මුලින් ම ඒ ශිල්පයේ වැඩකරල ම ඉගෙන ගන්න. අධිෂ්ඨානයක් ඇතිකරගන්න. ඒවා හඹා යන්න. එහෙම මිනිස්සුයි දවසක දිනන්නේ

ඉනෝකා පෙරේරා බණ්ඩාර
[email protected]

ඡායාරූප - සිරිපාල හල්වල

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.