දෛවයේ සරදමට තනි පයෙන් පිළිතුරක් | සිළුමිණ

දෛවයේ සරදමට තනි පයෙන් පිළිතුරක්

මෙලොව ඉපදෙන සියල්ලෝම සර්ව සම්පුර්ණ අය නොවෙති. දෛවය විසින් එක් දෙයක් ලබා දෙද්දී තවත් දෙයක් අහිමි කරයි. එය මේ ලෝකයේ පවත්නා ධර්මතාවය වේ. ඒ කෙසේ වුවත් තමන්ට හිමි වී ඇති දෙයින් තෘප්තිමත් වී ජීවිතය සුන්දර කර ගැනීම වඩාත් වැදගත් ය. සමහර අවස්ථාවන් වලදී සියල්ල සර්ව සම්පුර්ණයෙන් තිබෙන පුද්ගලයින්ට වඩා අඩුපාඩුකම් බොහොමයක් පවතින පුද්ගලයින් ලෝකය දිනන්නට උත්සාහ ගන්නේ හරි අපුරු ආකාරයට ය. ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයේ උපත ලද සුබ්රීට් කෞර් ගුම්මාන්ගේ අනාගත බලාපොරොත්තුව වුයේ කවදා හෝ දිනක හෙදියක් වීමය. එය ඉටු කර ගැනීම සඳහා ඇය තම වෘත්තීය සුදුසුකම් සම්පුර්ණ කර ගැනීමට වෙහෙසුණා. ඇයගේ විනෝදාංශය නර්තනය වුවත් කිසි විටකවත් තම අධ්‍යාපන කටයුතු සහ විනෝදාංශය පටලවා ගත්තේ නැත. සුබ්රීට් නිරන්තරයෙන් ම තමන්ට අනන්‍ය වු නර්තන වින්‍යාසයන්ට අනුගතව නර්තනයන් සිදු කළා ය. සැබවින් ම ඇය කුඩා කළ පටන් ම අන් අයට වඩා වෙනස් නර්තනයන් සිදු කිරීමට උපන් හපන්කම් දැක්වුවා ය.

ඇයගේ ජීවිතය අභාග්‍යසම්පන්න කරමින් 2009 වසරේ ඇය දරුණු යතුරුපැදි අනතුරකට ලක් විය. ඉන් අනතුරුව එක් පාදයක අස්ථි බිඳීමක් සිදු වීම නිසා ඇයට ශල්‍යකර්ම හතක් සිදු කරන්නට විය. හැකි සෑම ප්‍රතිකාර ක්‍රමයන් ම සිදු කළද අවසානයේ දී ඇයට එක් පාදයක් අහිමි විය. අවුරුද්දක පමණ කාලයක් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වීම නිසා හෙදියක වීමේ ඇයගේ අනාගත බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි විය.රෝහලේ වෛද්‍යවරු ඇයට එක් පාදයකින් එදිනෙදා වැඩ රාජකාරී සිදු කර ගැනීම සඳහා යෝග්‍ය වන ව්‍යායාම පුහුණු කළහ. එමෙන් ම සුබ්රීට් තමන්ට අවශ්‍ය ව්‍යායාමන් සඳහා පංජාබයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට යෑමට ද පුරුදු විය.අවුරුදු 27 දී ඇයට තමන්ගේ අනාගත සහකරුවා මුණ ගැසුණේ ය.ව්‍යායාම උපදේශකවරයෙකු වන යෂ් මක්කරා සුබ්රීට්ගේ නර්තන දක්ෂතා පිළිබඳව පෙර සිටදීම පැහැදී සිටියේ ය. එමෙන්ම ඇයගේ ආබාධිත තත්ත්වය පිළිබඳව ද දැන සිටියේ ය.අබාධිත තත්ත්වය ගැටලුවක් නොකර ගත් යෂ් එක්තරා අවස්ථාවකදී ඇයට තමන් සමඟ විවාහ වීමට යෝජනා කළේ ය.

"ඇත්තටම මම හිතාගෙන හිටියේ මෙම ආබාධිත තත්ත්වය මත මට කවමදාකවත් විවාහ විමට බැරි වෙයි කියලයි. ඔහු විවාහ යෝජනා කළ විට මට පුදුම හිතුණා. මට සිතුණේ මගේ සිහිනයක් සැබෑ වුණා කියලයි.මම අනතුරකට පත් වෙලා අබාධිත වුණාට පස්සේ මම කිසිවෙකු සමඟ විවාහ වෙන්න හිතුවේ නැහැ. "යනුවෙන් සුබ්රීට් ප්‍රකාශ කළේ දෛවය විසින් ඇයට දුන් ජීවිතයේ වටිනාම තිළිණය පිළිබඳව සතුටු වෙමිනි.ජීවිතයට අප්‍රමාණ දුක් කන්දරාවන් පැමිණිය ද ඇයට වර්තමානයේ දී සතුටු විය හැක්කේ තමන්ට වඩාත් ආලය කරන සැමියෙකු ලැබී තිබීම පිළිබඳව ය.ඇය කායිකව අඩුපාඩුකම්වලින් සමන්විත වුව ද සාමාන්‍ය කාන්තාවක මෙන් ජීවිතයට මුහුණ දෙන්නේ දිරිය කාන්තාවක මෙනි. "මම ඇයට ආලය කළේ ඇගේ බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර ගතිගුණාංග පිළිබඳව හොඳින් අවබෝධ කර ගෙනයි.මම මගේ මව්පියන්ට සුබ්රීට්ව විවාහ වීමට කැමති බව මුලින් ම ප්‍රකාශ කළ විට ඹවුන් කැමති වුණේ නැහැ. ඊට පස්සේ ඔවුන්ම ඇගේ ගති ගුණ පිළිබඳව පැහැදුණා.මා වැනි පුද්ගලයෙක් එක් පාදයක් පමණක් තිබෙන කාන්තාවක විවාහ වීම පිළිබඳව ඔවුන් දුක් වෙන්න ඇති.සැබවින්ම මම ඇගේ නර්තන දක්ෂතාවයන්ට වාගේ ම ආත්ම ශක්තියට ගොඩාක්ම කැමතියි. යනුවෙන් යෂ් මක්කරා ප්‍රකාශ කළේ අවංක සැමියෙකු‍ පරිදි ය. සියලු දෑ වලින් අංගසම්පුර්ණ කාන්තාවන් විවාහ වී දුක් විදිද්දී සුබ්රීට් තම ආබාධිත තත්ත්වය සමඟ විවාහ ජිවිතය සාර්ථකව ගත කරන්නේ මුළු ලෝකයේ ම කාන්තාවන්ට ද ආදර්ශයක් වෙමිනි.

"මට මගේ දියණියගේ අනාගතය පිළිබඳව තිබුණේ දැඩි බියක්. මට රාත්‍රියට නින්දේදීත් මතක් ‍වෙන්නේ මගේ දියණිය මෙවැනි ආබාධිත තත්ත්වයකදී විවාහ කර දෙන්නේ කෙසේ ද කියායි.ඒ වුණත් සුබ්රීට්ට දෛවය විසින් ගෙන දුක් ඛේදනීය තත්ත්වය අවසානයේ දී ඇයට ආශිර්වාදයක් වුණා." යනුවෙන් සුබ්රීට්ගේ මව වන පනස් හත් හැවිරිදි ඡායාපීට් කෞර් ප්‍රකාශ කර සිටියේ තම දියණියගේ ජිවිතය පිළිබඳව ආඩම්බර වෙමිනි.

වර්තමානයේදී සුබ්රීට් කෞර් ඉන්දියාවේ එක් පාදයකින් පමණක් නර්තනයේ යෙ‍දෙන එකම නර්තන ශිල්පිණිය ලෙස ජනප්‍රියත්වයට පත් ව ඇත. එමෙන් ම ඇයට පසුගිය දිනක දී රගිනි මැකාර් හා නයියෝග් නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් නර්තනයේ යෙදී ඩොලර් පවුම් 68,000 ක මුදල් ත්‍යාගයක් ද හිමි කර ගෙන ඇත.ඉන්දියාවට පැමිණෙන ආගන්තුකයින් සුබ්රීට්ව මුණ ගැසී ඇගේ අත්සන ද ලබා ගැනීමට උත්සහ ගන්නේ ඇය සුපිරි තාරකාවක් ලෙස සළකමිනි.

මදාරා  මුදලිගේ

අන්තර්ජාලය ඇසුරිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.