වසර 200කට පසු ඉන්න හිටින්න ගෙයක් | සිළුමිණ

වසර 200කට පසු ඉන්න හිටින්න ගෙයක්

 1840 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙරට කෝපි වගා කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් ජනතාව පසුව තේ හා රබර් කර්මාන්තය ආශ්‍රිත කම්කරුවන් ලෙස දිවි ගෙවන්නට පටන් ගත්හ. ඔවුන්ගේ දරු පවුල් සමඟ පැමිණි අය මෙන්ම මෙරටදී උපත ලද දූ-දරුවෝ පවා ක්‍රමයෙන් වතු දිවියට හුරු වූහ. වතු දිවියේ ඇත්තේ එකම එක දිනචර්යාවක් පමණි. ඒ, උදෑසන අවදි වී තේ දළු නෙළීමට යෑම හා පස්වරුවේ තම නිවහන් වෙත ගමන් කිරීම පමණකි. ඒ හැරෙන්නට විනෝදාස්වාද අවස්ථා හෝ ක්‍රීඩා හෝ ඔවුන්ට හිමි නොවීය. වාසස්ථානය මේ සියල්ලට වඩා කතා කළ යුතු මාතෘකාවයි. අතීතයේ සිට මේ නිවාස හැඳින්වූයේ ‘ලයින් කාමර‘ යන නමින්ය. එක් කාමරයක් සහ කුස්සියක් පමණක් හිමි පේළි නිවාස සිය වාසස්ථාන කරගනිමින් ඉතා දිළිඳු කම්කරු ජීවිතයක් ඔවුහු ගත කළෝය.

මේ ජීවිතයේ වඩාත්ම බලපෑම් සහිත බව ඇති වූයේ එකම කාමරයක් තුළ අඹු-සැමියන් හා දූ-දරුවන් දිවි ගෙවීම නිසාය. විවාහ වූ දූ-දරුවන්ද ඒ කාමරයේම දිවි ගෙවිය යුතු විය. එය බරපතළ සමාජ ප්‍රශ්න ඇති කරන්නක් බව සමාජ විද්‍යාඥයන් විසින්ද පෙන්වා දෙනු ලැබ තිබිණි.

එහෙත් දශක ගණනාවක් ඒ ප්‍රදේශයේ කිසිදු දේශපාලන නායකයකු හෝ වෘත්තීය සමිති නායකයකු හෝ මේ ජනතාවගේ දුක සොයා බැලුවේ නැත. එහෙත් වත්මන් රජය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුවක් අනුව යමින් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් මේ වතුකරයේ ලයින් කාමරවල දුක්ඛිත ජීවිතයක් ගෙවූ ජනතාවට නිවාස ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනුව මේ ජනතාව පදිංචිව සිටි වත්තේම ලයින් කාමරය වෙනුවට පර්චස් 7ක භූමියක සින්නක්කර හිමිකම සහිත ඔප්පු පිරිනමමින් එම භුමියේ වර්ග අඩි 550ක ඉතා මනරම් නිවෙසක් ඉදි කර දෙනු ලැබීය. මේ වැඩසටහන ‘හරිත රන් නිවාස යෝජනා ක්‍රමය‘ හා ‘හරිත රන් ඔප්පු ප්‍රදානය‘ ලෙස නම් කර ක්‍රියාවට නැංවිණි.

විශේෂයෙන්ම ‘අපටම අයිති ඉඩමක් - අපටම අයිති නිවෙසක්‘ යන්න තේමා කරගනිමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියෙන් මේ වන විට වැවිලි ප්‍රජාවට ලබා දී ඇති සහ ඉදිරියේදී ලබා දෙන සියලු නිවාස සඳහා එම පර්චස් 7 ද ඇතුළුව නිරවුල් හිමිකම් ඔප්පු ලබාදීම සිදු කෙරේ.

එහි පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු පිරිනැමීම ජනාධිපතිතුමාගේ සුරතින් පසුගිය පෙබරවාරි 9 වැනිදා සිදු කරන ලදි. දෙවන අදියර ලෙස මාතර හුලන්දාව වතුයායේ ඉදිකළ නිවාස සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු 17 වැනිදා සිදු කෙරිණි.

එහි තෙවන අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවය පසුගිය 29 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වැවිලි ප්‍රජාව වෙනුවෙන්, මේ නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහන බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර වැනි දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වෙන උත්සවවලදී ලබාදීමට නියමිතය.

ලයින් කාමරවල ජීවත් වන පවුල් 172700කට පමණ නව නිවාස ඉදි කර දීම ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී. විශේෂයෙන්ම ගම්මාන සංකල්පය පෙරදැරි කරගෙන මේ නිවාස ඉදි කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව 2016 වසර අවසන් වන විට වර්ග අඩි 550ක ඒකක නිවාස 1890ක් ජනතා අයිතියට පත් කරනු ලැබීය. විශේෂයෙන්ම දැනට සිය නිවස නායයෑමට ලක් වූවන්ට ගිනිගැනීම්වලට ලක්ව උන්හිටි තැන් අහිමි වූ වැවිලි ප්‍රජාවට නිවාස ලබාදීමට මෙහිදී ප්‍රමුඛතාව හිමි විය.

මෙහිදී එම නව ගම්මානයට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද අමාත්‍යාංශය මඟින් සම්පාදනය කරනු ලබයි. එය වැවිලිකරයේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයකි. අවුරුදු 200කට ආසන්න කාලයක් ලයිමේ ජීවත් වූ ඔවුන්ට නව ගම්මානයක ජීවත් වීමට සැලැස්වීම යහපාලන රජයේ මෙන්ම ඇමැති දිගම්බරම් මහතාගේ ඒකායන අරමුණ වී ඇත. 2017 වසරේ නිවාස 2551ක් ඉදි කිරීමට අයවැයෙන් මුදල් වෙන්වූ අතර එම නිවාස මේ වසර අවසන් වන විට ඉදි කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සමඟ ඇමැති පලනි දිගම්බරම්, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් තිලකරාජ්, අරවින්ද කුමාර්, වඩුවෙල් සුරේෂ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව ගම්මානයන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ජල පහසුකම්ද මේ වන විට සපයමින් තිබෙන අතර පොදු පහසුකම් ලෙසින් ක්‍රීඩා උද්‍යාන, ළදරු පාසල්ද මේ වන විට ස්ථාපිත කරමින් පවතී.

එමෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන හා අනෙකුත් පොදු අවශ්‍යතාද සපයමින් සාමාන්‍ය ජන ජීවිතයක් ගෙවීමට හැකි වන පරිදි මේ ජනතා අවශ්‍යතා ඉටු කර දීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඉන්දීය රජයේ ආධාරයෙන් නිවාස 10000ක් ඉදි කිරීමට කටයුතු කෙරේ.මේ නිවාසයන්ගෙන් 4000ක් කඩිනමින් තනා නිම කිරීමට කටයුතු යොදනු ලබන අතර, ඉතිරි නිවාසද අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කඩිනමින් තනා නිම කිරීමට කටයුතු යොදනු ඇත‍. මේ නිවාස ඉදි කිරීමේදී විශේෂත්වයක් ගන්නේ සියලු නිවාස අදාළ වත්තේ ඉදි කිරීමත් ඒ හා සමඟම ඔවුන් ජීවත් වූ ලයින් කාමර කඩා ඉවත් කිරීමත්ය.

එමෙන්ම මේ සියලු නිවාස ඉදි කිරීමට පෙර අදාළ පරිසර අධ්‍යයන වාර්තා ඇතුළු ගොඩනැගිලි සහතික සියල්ල ලබාගැනීමද මෙහිලා කැපීපෙනේ. අනතුරුදායක ලෙස හෝ පරිසර වාර්තා ඉක්මවා යමින් කිසිදු නිවාසයක් ඉදි කිරීමට කටයුතු කර නැත. සින්නක්කර ලබා දෙන ඉඩම් ඔප්පුවලට බැංකු ණය පහසුකම් පවා ලබාගත හැකි අතර අවශ්‍යතා ඇති අයට තම නිවාස සංවර්ධනය කරගැනීමට හැකියාව ඇත.

වසර 200ක කාලයක් ලයින් කාමර තුළ සිරකරුවන් මෙන් දිවි ගෙවූ මේ ජනතාවට අවශ්‍ය වූයේ අත-පය දිගහැර සිටින්නට නිවාසයක් පමණි. අද ඒ අවශ්‍යතාව ඉටු වී ඇත්තේ අනෙතුත් යටිතල පහසුකම්ද හිමි වෙමිනි. එසේම ඒ කටයුතු කඩිනමින් සිදුවිමද මේ ජනතාව ලද ජයග්‍රහණයකි.

ඒ ජනතා ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් වන්නේ සියලු දෙනාම අත්වැල් බැඳගෙන මේ පිරිසගේ හෙට දවස ගැන සොයා බැලුව හොත් පමණි. විශේෂයෙන්ම අධ්‍යාපනය අඩාළව ඇති මේ ජනතාවගේ අනාගකය අඳුරු නොවන්නට නම් ඔවුන් අධ්‍යාපනයට නිසි පරිදි යොමු කළ යුතු අතර, ඉදිරියේදී උසස් පෙළ හදාරන හා විශ්වවිද්‍යාලයන්ට සුදුසුකම් ලබන සිසු-සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක්ද ආරම්භ කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වතුකරයේ මේ ජනතාව ඉදිරියේදීත් මේ රැකියාව සිදු කරන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන හොත් පමණි. එසේ නොවුව හොත් වෙනත් සුදුසු රැකයා කරා යෑමට ඔවුන් පෙලඹෙනු ඇත.

තාරක වික්‍රමසේකර

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.