හරි වහර | සිළුමිණ

හරි වහර

මඳ කලෙක සිට හරි වහරෙහි ලා දිගට ම විමැසුණේ තත්සම වචන යි. එ ද, විශේෂයෙන් ම සංස්කෘත තත්සම යි. දැනුදු එ මඟ ම ගෙන සංස්කෘත පාලි තත්සම කිහිපයෙක හරි වහර විමසා බලමු.

1. ච්‍යුති / චුති - මේ දෙක ම නිවැරැදි වදන් වෙයි. සංස්කෘතයෙහි ච්‍යුත යන අතීත කෘදන්තයට ‘ඉ’ ප්‍රත්‍යයය එක් වීමෙ ච්‍යුති යන්න නිපැදේ. පාලියෙහි ඒ යෙදෙනුයේ චුති යනුවෙනි. ච්‍යුත යනුදු පාලියෙහි චුත යැ යි යෙදේ. එ හෙයින් පාලි වදනක් හා (සමාස කොට) යොදන කල්හි ‘චුති’ යනුදු සංස්කෘත සමාසයෙක දී ‘ච්‍යුති’ යනුදු යෙදීම ව්‍යක්ත සම්ප්‍රදායය වෙයි. ඒ අනුව, චුති ප්‍රතිසන්ධි යන්නට වඩා ව්‍යක්ත වනුයේ ච්‍යුති ප්‍රතිසන්ධි යනු යි. මෙහි ප්‍රතිසන්ධි යනු සංස්කෘතයට අයත් වන බැවිනි. එ වුව ද චුති චිත්තය වැනි යෙදුම් අව්‍යක්ත නොවනුයේ ‘චිත්ත’ යනු පාලි - සංස්කෘත දෙක්හි ම එක සේ යෙදෙන හෙයිනි.

2. ඡට්ඨ - මේ පාල‍ියෙහි එන වදනෙකි. මෙහි මුල (මහාප්‍රාණ) ‘ඡ’ යෙදෙන සැටිත් අග (මහාප්‍රාණ) ‘ඨ’ යෙදෙන සැටිත් කෙරෙහි වෙසෙසින් සැලැකිල්ල යොමු කිරීම මැනැවි. මේ දෙ තැනෙහි ම (අල්පප්‍රාණ) ‘ච’ හෝ ‘ට’ හෝ යෙදීම වරද සේ හැ‍ඟේ. සංස්කෘතයෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘ෂෂ්ට’ යනු යි. අරුත නම් ස වන යනු යි.

3. ඡන්ද - මේ පාලි - සංස්කෘත දෙක්හි ම සම වැ යෙදෙන්නෙකි. මෙහි මුල (මහාප්‍රාණ) ‘ඡ’ හා අග ‘අල්පප්‍රාණ’ ‘ද’ යෙදෙන අයුරු කෙරෙහි වෙසෙසින් සැලැකිල්ල යොමු කළ මනා ය.

ඡන්ද යන්නෙන් අද වහරෙහි දී මන්ත්‍රීන් තෝරා ගැනීමේ කාර්යය වෙසෙසින් ගැනෙන නමුදු කැමැත්ත, ඡන්දස වැනි අරුත් කිහිපයක් එයින් ගැනේ.

4. ඡන්න - මෙ ද පාලි - සංස්කෘත දෙක්හි ම එක සේ යෙදෙන්නෙකි. මෙහි දී සැලැකිය යුත්තේ මුල යෙදෙන (මහාප්‍රාණ) ‘ඡ’ පිළිබඳව ය. ඉක්බිති ව යෙදෙනුයේ (දන්තජ) ‘න’ කාර දෙකෙකි.

‘ඡන්න’ යන්නෙහි අරුත ‘වැසුණු’ යනු යි. පුද්ගල නාමයක් ලෙස ද පුරාතනයේ පටන් යෙදී ඇත.

5. ඡද්දන්ත - පාලි තත්සමයෙකි. මුල (මහාප්‍රාණ) ‘ඡ’ ද ඉක්බිති (අල්පප්‍රාණ) ‘ද්ද’ යනු ද යෙදෙන බව සැලැකිය යුතු ය. ඇතැමුන් ‘ද්’ යන්නට පසු වැ (මහාප්‍රාණ) ‘ධ’ යොදන නමුදු ඒ ඉඳුරා වරදෙකි.

ඡද්දන්ත යනු සංස්කෘතයෙහි ‘ෂඩ්දන්ත’ යන රූපයෙන් සිටී. අරුත නම් දත් හෙවත් දළ සයක් ඇති යනු යි. දළ සයක් ඇති අතිවිශාල හස්ති වර්ගයක් හඳුන්වනුව පුරාතන සාහිත්‍යයේ - ජාතක කථාවල - යෙදුණු වදනෙකි. එයින් වූ අර්ධ තද්භවයක් වන ‘සද්දන්ත’ යන වදන සිංහලයෙහි යෙදෙනුයේ අතිවිශාල යන අරුත දෙනු පිණිස යි. එහෙයින් වහරෙහි සද්දන්ත ඇතකු ලෙස හැඳින්වනුයේ දළ සයක් ඇත්තකු නො ව සුවිසල් ඇතෙකි.

6. ඡත්‍ර - සංස්කෘත තත්සමයෙකි. (මහාප්‍රාණ) ‘ඡ’ යන්නට පසු වැ ර කාරාංශය සහිත ත (ත්‍ර) යෙදේ. ඡත්‍ර නම් කුඩය යි. පාලියෙහි ‘ඡත්ත’ යනුදු සිංහලයෙහි ‘සත්’ යනුදු ඒ හා අනුරූප වැ යෙදේ.

අදහස්