සංහිඳියාවට සොඳුරු නිදසුනක් වූ නාගවිහාරයේ කඨින පින්කම | සිළුමිණ

සංහිඳියාවට සොඳුරු නිදසුනක් වූ නාගවිහාරයේ කඨින පින්කම

 කඨින පින්කමක් කියන්නේ අට මහ කුසලයන්ගෙන් එකක් බවයි බුදු දහමේ දැක්වෙන්නේ. ඒ කුසල කර්මය සඳහා අනෙක් අයත් සහභාගි කරවා ගන්නේ නම් එය ඊටත් වඩා මහත්ම වූ පුණ්‍යකර්මයක් වනවා. කඨින පින්කම් පසුගිය දිනවල අපේ රටේ විතරක් නෙමෙයි, අනෙක් බෞද්ධ රටවලත් පැවැත්වුණා. අපේ රටේ අවුරුදු ගණනාවක් උතුරේ විහාරස්ථානවල කඨින පින්කම් කරන්න බැරි වුණා. ඒ රටේ තිබුණු යුද්ධය නිසා. මේ යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 8ක් ගෙවිලා ගිහින්. මේ වෙන කොට උතුරේ විහාරස්ථාන පිබිදෙමින් තිබෙන්නේ. ඒත් බෞද්ධයන් නොමැති වීම ඒ ප්‍රදේශවල විහාරස්ථානයන්ගේ පින්කම් පවත්වන්න ලොකුම බාධාවක් වෙලා තියෙන්නෙ. මේ බාධා මධ්‍යයේ වුණත් කඨින පින්කම් පවත්වන්න උතුරේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ තීරණය කළා. ඒ සඳහා ආරක්ෂක අංශවල සහයෝගයත් ලැබුණා. ආරක්ෂක අංශ විතරක් නෙමෙයි, මේ සඳහා දෙමළ ජාතික පුද්ගලයන්ද දැක්වූයේ පුදුමාකාර සහයෝගයක්. විශේෂයෙන්ම යාපනය නගර මධ්‍යයේම තියෙන නාගවිහාරයේ කඨින පින්කම් පසුගිය 28 ‍සහ ‍29 දෙදින පැවැත්වුණේ සිංහල දෙමළ ජාතීන් අතර සහයෝගීතාව ඉස්මත් කරමින්.

ඒක නිසා ඒ ගැන ටිකක් විස්තර කළ යුතුයි කියලා අපට හිතුණා. නාග විහාරයේ භික්ෂූන් වහන්සේට වස් ආරාධනා කරල තිබුණෙ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතායි. ඒ, ඇසළ පුන් පොහෝ දිනයේදී. නාගවිහාරාධිපති මීගහජඳුරේ ඤාණරතන හිමියන් නාග විහාරාධිකාරී මීගහජඳුරේ සිරිවිමල, නාගවිහාරවාසී කෝංගල ධම්ම හිමිවරුන් මේ විහාරස්ථානයේ වස් ආරාධනාවෙන් වස් වාසය කරමින් වැඩ සිටියා. වස් අවසානයේ කඨින පෙරහර පවත්වන්නට යෙදුණේ යාපනය ආඥාපතිවරයා මෙන්ම 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා සහ 512 බළ සේනාධිපති බ්‍රිගේඩියර් සරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. ඊට අමතරව සියලු නිලධාරීන් හා සෙසු නිලයන්ද මේ කඨින පින්කම් සඳහා උපරිම දායකත්වයක් සැපයූවා. ඒ වගේම පොලීසිය සහ අනෙකුත් රජයේ ආයතනත් මෙහිදී විශාල සහායක් දුන්නා. මෙහි විශේෂතම සිදුවීම වන්නේ යාපනය ප්‍රදේශයේ දෙමළ සංවිධාන සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දින ගණනක් තිස්සේ මාර්ගය අලංකාර කරමින් පෙරහර සඳහා සහාය දැක්වීමයි. එමෙන්ම මේ කඨින පූජෝත්සවයට හා පෙරහරට සම්බන්ධ වෙන්න දෙමළ ජාතික විශාල පිරිසක් රැස්ව සිටියා. අලුයම පවත්වපු කඨින පෙරහර නරඹන්න පෙරදින රාත්‍රියේ සිටම දෙමළ ජනතාව දැඩි උනන්දුවක් දැක්වූවා. රාත්‍රිය පුරා තම නිවෙස්වල හා පෙරහර ගමන් ගත් මාවතේ විදුලි ආලෝකය දල්වමින් මේ පිරිස් නොමඳ සහායක් ලබා දුන්නා. පෙරහරේ දෙමළ ජාතික භාෂාවෙන් විස්තර ප්‍රචාරයක් ආරම්භයේ සිට සිට අවසානය දක්වාම සිදු කරන්නට යාපනය 'යාල් එෆ්එම්' ගුවන්විදුලි සේවයේ නිවේදිකා සශෝදරා බාලසිංහම් මහත්මිය කටයුතු කිරීමද මෙහි කැපීපෙනුණා. කලක් නාගවිහාරයේ වැඩ-වාසය කළ දැනට කෝට්ටේ බැද්දගාන පාරේ උත්තර ශ්‍රී නන්දාරාම ලංකා විහාරාධිපති කඩවැද්දුව මංගලසිරි හිමියන් විසින් කඨින පෙරහර සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් විස්තර ප්‍රචාරය කළා. මේ මහා පින්කම කරන්න පෙර දින රාත්‍රියේ එනම් 28 වැනිදා රාත්‍රියේ පවත්වපු බෝධි පූජාවටත් ජාති ආගම් භේද නැතිව කවුරුත් සහභාගි වීම මෙහිදී කැපීපෙනුණා.

දකුණේ කඨින පෙරහරක පරිදි කසකරුවන් වෙස් කැටුම් කණ්ඩායම් වගේම තවත් අලංකාර නර්තනයන් රැසකින් මේ පෙරහර සමන්විත වුණා. දෙමළ ජනතාව විසින් මේ සඳහා දක්වපු සහාය මහත් සේ අගය කරන්නට භික්ෂූන් වහන්සේ විසින් කටයුතු කළේ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ තිබුණු යුද්ධය නිසා භේද-භින්න වී සිටි පිරිස් අනෙක් ජාතිය අදහන ආගම දහමට ගරු කරමින් කටයුතු කරපු නිසයි.

පින්කම්වලට ජාති ආගම් කිසිම භේදයක් තියෙන්න බැහැ. බුද්ධ දේශනාව අනුව වනවා නම් ඒ ආකාරයෙන්ම විය යුතුයි‍. මේ කාර්යයට කොළඹ සිටම වැඩම කළ කෝට්ටේ බැද්දගාන පාරේ උත්තර ශ්‍රී නන්දාරාම ලංකා විහාරාධිපති කඩවැද්දුව මංගලසිරි හිමියන් අපට පැවසුවේ තමන් වහන්සේ කාලයක් යාපනය නාගවිහාරයේ වැඩ-වාසය කළ අතර, දැන් කොළඹ වැඩ-වාසය කළත් තමන් වහන්සේ උතුරේ ආගමික සහජීවනය උදෙසා සැම විටම කටයුතු කරන බව හා නාග විහාරයේ කඨින පින්කමකට දෙමළ ජාතික පිරිස් දක්වන උනන්දුව නිසාම කඨින පින්කමට සහභාගි වූ බවත්ය. ආරක්ෂක අංශ මඟින් සියලු පහසුකම් සැලසුවත් පෙරහරක අලංකාරත්වය පවතින්නේ එය නරඹන පිරිස් වැඩි වූ විට බවත්, විශේෂයෙන්ම අලුයම් කාලයේ පවත්වන ලද මේ පෙරහරට යාපනයේ වැසියන් දහස් ගණනින් සහභාගි වීම සහෝදරත්වය නංවන්නක් බවත් ඒ හිමියන් පැවසුවා.

මේ කඨින පින්කම සඳහා විශේෂයෙන්ම සහයෝගය දක්වපු ඕස්ට්‍රේලියාවේ මෙත් සෙවණ විහාරාධිපති සහ ඉබ්බාගමුව සදහම් සෙවණ විහාරාධිපති අලදෙණියේ විමලවංස හිමි, මාතර අපරැක්ක සිරි සුමනාරාමාධිපති හක්මණ පනන්වල පරිවේණාධිපති වේපතඉර ගුණරතන, ශාස්ත්‍රවේදී ඕවිටිගම නන්ද, කොළඹ සුභද්‍රාරාම පරිවේණාපති හෝකන්දර ශ්‍රී ඝෝෂිතාරාමාධිපති හිමියන් මෙන්ම අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේ මෙන්ම නාවක්කුලි සමුද්ධි සුමන විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේ විසින් කරන ලද්දේ ජාතික මෙහෙවරකි.‍

මේ පින්කමේ වඩාත් වැදගත්ම අංගය වූයේ සිංහල දෙමළ සියලු දෙනා එක්ව පෙරහර පැවැත්වීමට උදෙසා දායකත්වය ලබා දීම වන අතර, එය මෙරට සාමයේ පණිවිඩය ලොවටම ගෙන යන්නට සියලු දෙනා එක්ව දුන් විශාල දායකත්වයක් බව පෙන්වා දිය යුතුයි.

තාරක වික්‍රමසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.