මායාරංජන්ගේ ගද්‍ය රීතිය | සිළුමිණ

මායාරංජන්ගේ ගද්‍ය රීතිය

මායාරංජන් ප්‍රකටව ඇත්තේ වන කතා සාහිත්‍යයේ පුරෝගාමියා හැටියට ය. ඔහු ලියූ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතිය ඊට මුල් විය. මායාරංජන් යනු මහානාම රාජපක්ෂගේ අන්වර්ථ නාමය යි. සැබෑ නම සහ අන්වර්ථ නාමය පිළිබඳ කවුරුන් කොහොම පැහැදිලි කළත් ‘මායාරංජන්’ නම පාඨක හදවත්වලින් මැකී නො යයි. මහානාම රාජපක්ෂ නම ඊට යට වෙයි.

යථාර්ථයෙන් ඔබ්බට ගිය රසවත් දේ ‘මායාරංජන්’ නාමය ඔස්සේ ධ්වනිත වෙතැයි සිතමි. මායාරංජන්ගේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ ඇතුළු ඔහුගේ ගද්‍ය ලේඛක රසවත් ලියැවිලි හැටියට පාඨක හද-මනස බැඳගනී. එසේ වුව ද මේ සියලු ලියැවිලි පදනම් වන්නේ යථාර්ථය මත ය. මායාරංජන් සතු ධ්වනිප‍ූර්ණ බස යථාර්ථය සහ මායාව අතර ‍සොඳුරු නිම්නයකට පාඨකයා ගෙන යයි. එක්දහස් නවසිය හතළිහ, පණහ දශකවල දිගාමඬුල්ල හෙවත් වැව්ගම් පත්තුව ගිලගෙන තිබුණේ ලෙඩ දුක්, අතුරු ආන්තරා, මිථ්‍යා විශ්වාස, සතා-සීපාවන්ගේ හිරිහැර බලපුළුවන්කාරකම් හා නැතිබැරිකම්වලිනි. මෙය බැලූබැල්මට කටුක පරිසරයකි. 1948 දී ගුරු වෘත්තියට පිවිසි තරුණයකු හැටියට මායාරංජන්ට එම පරිසරය සුරවිමනක් සේ දැනිණි. ඔහු ද ගුරුවරයකු හැටියට හා ගම්වැසියකු හැටියට ඒ පරිසරයේ කටුකත්වය අනුභව කරමින් උපේක්ෂා ගුණයෙන් යුතුව එම දිවියෙහි සුන්දරත්වය උකහා ගත්තේ ය; එය අපූරු වියමනක් බවට පත් කළේ ය. මෙහිදී ඔහු තම දැනුම හා දැකුම බරක් බවට පත් කර නො ගත්තේ ය. එය බිමින් තබා එක් අතකින් උන්ගේ ම එකකු වන්නට නම්‍යශීලී විය. අනෙක් අතින් උන්ගේ ජීවිතයෙහි කටුකත්වය හා රස මිහිර තමාගේ ම ජීවිතය බවට ද පත් කර ගත්තේ ය. ඔහු කදිම සංචාරකයෙකි. ගුරුවෘත්තිය, ඔහුට සංචාරක ජීවිතයට පාර කැපී ය. අනෙක් අතට විදුහලෙන් විදුහලට යන ගමනට වඩා ගමන් වාර ගණනක්, කැලේ ඇවිදීමට ද හේනේ කුඹුරේ ගත කිරීමට ද කැප කළේ ය.

ඔහුගේ ලේඛනය වන කතා සාහිත්‍යයට සීමා කර අර්ථ දැක්වීම ඔහුට කරන මදිපුංචිකමකැයි සිතමි. ඊට හේතුව, සමාජ හා මානව විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුතු නිරීක්ෂණ ගණනාවක් ඔහුගේ සුන්දර ගද්‍ය රීතිය ඔස්සේ ඉදිරිපත් කරන බැවිනි. ඔහුගේ ලියැවිල්ල වත්මනෙහි වන කතා සාහිත්‍යය පෝෂණය කරන හා ජනශ්‍රැති අධ්‍යයනය විෂයයක් බවට පත් කර ගෙන සිටින ගවේෂකයන් කිහිප දෙනා හට කදිම අධ්‍යයන මූලාශ්‍රයක් යැයි මම සිතමි.

මායාරංජන්ගේ පද්‍ය රීතියෙහි හා භාෂා භාවිතයෙහි ඇති සුන්දරත්වය කෙරෙහි පමණක් ආකර්ෂණය වන අයකු හට එම ලේඛනයෙහි ඇති සමාජ හා මානව විද්‍යාත්මක වටිනාකම නොපෙනී යා හැකි ය. සත්‍ය වශයෙන් ම ඔහුගේ බස නිරවුල් ය; විචිත්‍ර ය; මනහර ය; ධ්වනිපූර්ණ ය. ‘දිගාමඬුල්ල ආශ්චර්යය’ කෘතියෙන් උද්ධෘත කිහිපයක් දක්වමි.

“වැසි කලට නිබඳ දියෙන් පිරී ගත් කල කලපුවෙක සිරි ගන්නේ ය. ඊසාන මෝසම් වැස්ස අඩු වෙද්දී, පලාවන් ගොයමින් වැසී, හරිත වර්ණ සමුදායෙක ශෝභාව පාන්නේ ය. ගොයම ව‍ැඩෙද්දී දෙමළ මරක්කල ගොවීන්ගේ පැල් පැන නැ‍ඟෙයි. කුඹුරු පැසෙද්දී, ඈත වන තීරයෙන් එළි බැස එන ඌරන්ගෙන්, අලින්ගෙන්, ගෝණ-මුවන්ගෙන් රැකෙන මුරකාවල් දැඩි වෙද්දී, පසුව ලැබෙන වී වෙනුවට ණයට බඩු දෙන වැඩිපුර ම බුලත් කළමනා බීඩි, සිගරැට්, සුරුට්ටුත් වියළි බනිස්, විස්කිරිඤ්ඤා සහ කංසා කෝපිත් සැපයෙන කඩ ද පහළ වෙයි. නැවත අස්වනු අස් කොට ගත් පසු මේ රම්‍ය භූමිය, එළ-මී ගවයන් සිය ගණනින් සැදී රංචු සිය ගණන් නිසා සුන්දර දර්ශනයක් වෙයි. එහෙත් වියළි සෘතුවේ දීප්ත සූර්ය රශ්මියෙන් පොළොව දා-ගිය කල, බෙහෙතට තණ පතක්, සතකුට වතුර උගුරක් නැති, කර්කශ වේගවත් මාරුතයෙන් උඩ නැඟී කැරකෙන දූවිල්ලේ වැසී යන කාන්තාරයක් බවට පෙරළෙයි.”

(දිගාමඬුල්ලේ ආශ්චර්යය, 15–16 පිටු)

වැව් ගම් පත්තුවේ ගම්මුන්ට විටෙක සොබාදහම ආශීර්වාද සෙමෙර සලන අයුරුත්, විටෙක ශාපයක් වන අයුරුත් දකින රචකයා අකම්පිත සන්සුන් හදකින්, මැදහත් සිතින් එය තම ගද්‍යයට හසු කර ගනියි. මෙහිදී ඔහුගේ බස් වහරට සමාන වහරක් හිමි රචකයන් දෙදෙනකු සිහිපත් වේ. බසෙහි ගීතවත් බව අතින් ඔහුට සමාන අනෙක් ලේඛකයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යි. දෙදෙන ම බහුභාෂික උගත්තු වෙති; ‘ඇවිද්ද පය දහස් වටී’ බව දත්තෝ වෙති‍. මානවසිංහ ජීවිතයේ සෞන්දර්ය පක්ෂය ගීතවත් බසකට නඟයි. ඔහු ලියූ ‘ගීයේ උපත’ මායාරංජන්ගේ ලියැවිල්ලට එක් අතකින් සමාන වෙයි. එසේ වතුදු ඒ සෞන්දර්යය අතින් පමණි. ජීවිතයේ කටුක බව මැදහත් සිතින් සුලලිත බසකට නැගීම අතින් මායාරංජන්ගේ රීතිය, විමලරත්න කුමාරගමගේ පද්‍ය රීතියට ළං වෙයි. මායාරංජන්ගේ රීතිය ඒ අතින් කුමාරගම පද්‍යයෙන් කියන දේ ගද්‍යයෙන් කීමක් වැන්න. මායාරංජන්ගේ ගද්‍ය රීතිය ධ්වනිපූර්ණ බව අතින් ඉහළ ය; ඇතැම් අවස්ථාවන්හි ශබ්ද ධ්වනිය ද වහරට ගනී.

“පළමු වැනි මයිල තුනේ, පාර යට කී කුඹුරු යාය මැදින් වැටුණු රථ කළුගල් ගෙඩියෙන් වැසුණු දඩි-බිඩි මාවතෙකි. ඉන් ඔබ තැන තැන තණ පිට්ටනියෙන් ද අතරතුර කටු පඳුරින් සහ ඉළුක් තලාවෙන් ද වැසුණු බිම් ය. කුඹුරු, ඉපනැල්ලේ හිස් වන කල මේ බිම් ගොදුරු කර ගන්නා සුන්දර මුහුණු ඇති එළ ගව රංචු නුපුරුදු මෝටර හඬ අසා විස්මයෙන් මෙන් හිස් ඔසවා කන් හරස් කොටගෙන අප දෙස බලති!

(දිගාමඬුල්ලේ ආශ්චර්යය, 16–17 පිටු)

මෙහි ඇති ‘දඩි-බිඩි මාවත’ විශේෂ යෙදුමකි. කළුගල් මතු වී ඇති එම මාවතෙහි කරත්තයක් හෝ මෝටර් රියක් ගමන් කරන විට නඟින්නේ දඩි-බිඩි ‍හඬකි. ලේඛකයා කරන විස්තරයෙන් පාඨකයාට එම හඬ පාඨකයාට ඇසෙනු වැන්න. ජනශ්‍රැති අධ්‍යයනය කරමින් ඒ ගැන ලියන ගවේෂකයන් පොට වරද්දා ගන්නා තැනක් තිබේ. එනම්: ප්‍රාදේශීය වහර හෙවත් උප-භාෂාව ලියන වහරට ඒ සැටියෙන් ම ගැනීමෙන් අර්ථ විවරණ ඉදිරිපත් කළ හැකි බව ය‍ි. වත්මනෙහි ජනශ්‍රැති අධ්‍යයනය සහ ගවේෂණය සම්බන්ධයෙන් ප්‍රකටව සිටින දක්ෂ ලේඛකයන් දෙදෙනකු වන ගුණසේකර ගුණසෝම සහ මහින්ද කුමාර දළුපොත ද මුලදී ඒ වැරදි මතයෙහි පිහිටා කටයුතු කළ බව පෙනේ (දැන් ඔවුන් ඒ අතින් හරි මඟට වැටෙනු දැකීම සතුටට කරුණකි). ඒ නිසා සමකාලීන ගැදි වහර වෙනුවට උප-භාෂාව ලේඛනයෙහිදී භාවිත කෙරිණි. මෙයින් ලේඛකයාගේ අරමුණ ඉටු නො වේ; පාඨකයාට කියවීම දුරවබෝධ වෙයි; බාධා පැමිණෙයි.

උප-භාෂාව කෙරෙහි ආකර්ෂණය වීම පෘථග්ජනයන් හැටියට ලේඛකයන්ගේ ද ගති සොබාවකි. එසේ වුව ද පර්යේෂණ කාරියෙහිදී උප-භාෂාව ද අතවැසි කර ගත යුතු ය. තමා ජනශ්‍රැති අධ්‍යයනයෙහි යෙදෙන්නෙකැයි නොකී මායාරංජන් තම ලේඛනයෙහිදී උප-භාෂාව මනරම් අයුරින් අතවැසි කර ගනිමින් සමකාලීන වහර භාවිතයට ගත්තේ ය. උද්ධෘත කිහිපයක් දක්වමි:

“කරත්තය දක්කමින් ඉහි ඉරිපඩම මත බුද්දම සිටියේ ය. මම ඔහු ළඟම පිටිපස හිඳිමින් විදුලි පන්දම එළිය කොරමින් ද, දෙපස වන සතුන් ඇස් දෙත් දැයි කුහුලින් විමසමින් ගමනේ යෙදුණෙමි.”

මෙහි ඇතුළත් ඉරිපඩම සහ බුද්දම උප-භාෂාවට අයත් ය. ඒවාට වෙන ම අරුත් දැක්වෙයි. සෙසු වදන් සමකාලීන වහරට අයත් ය.

“මම ලිවීම නවතා නැඟිට්ටෙමි. හඳ එළිය හොඳ හැටි තිබුණ නමුත් විදුලි පන්දමක් අරගෙන පාර දිගේ පෝඩි ගෙදර අතට ගියෙමි.”

(දිගාමඬුල්ලේ ආශ්චර්යය, 57 පිටුව)

මෙහි පෝඩි ගෙදර යනු උප-භාෂා වචනයකි‍.

“මැස්සෙන් පහළ බිම ගිනි මැලය පත්තු කර ගොවියා උඩ මැස්සේ කුදහයි.”

මෙහි ‘කුදහයි’ යනු උප-භාෂා වචනයකි. හේන ගැන කියද්දී ඔහුට උප-භාෂාව ඕනෑ වූයේ අවශ්‍ය ම තන්හිදී පමණි. දිගාමඬුල්ලේ ආශ්චර්යය කෘතියෙහි හේන පිළිබඳ ඇතුළත් තොරතුරු නිර්ව්‍යාජ ය. තොරතුරු විකෘති කිරීමක් නැත. මන්ද යත්: මායාරංජන් හේන් දිවියෙහි ද කොටස්කරු‍වකු වී ඇති බැවිනි. මායාරංජන්ගේ ඇසුර හා සෙවණ ලැබූ විශිෂ්ට ගුරුවරයකු, ලේඛකයකු වන පියසේන කහඳගමගේ ‘හේන’ මැයෙන් කුඩා පොතක් පසු කලෙක ලිවී ය. එහි කොටස් පෙළපොතකට ද ඇතුළත්ව තිබෙනු දිටිමි.‍ එය අප කවුරුත් හේන පිළිබඳ දන්නා තොරතුරුවලින් ඔබ්බට නො යයි. ඒ අතින් මායාරංජන්ගේ ලේඛන තවමත් බැබළෙයි.

මායාරංජන්ගේ ලේඛනයෙහි වැව් ගම් පත්තුවේ ජනයාගේ මිථ්‍යා ඇදහිලි පිළිබඳ කදිම විවරණ ද ඇතුළත් වෙයි. ඔහු යටිහිතෙන් ඒවාට සිනා සෙයි. මතු පිටින් ඒ ගම්මුන්ට ආදරය කරයි; අනුකම්පාසහගත වෙයි. එහිදී ඔහු නියම සමාජ හා මානව ගවේෂකයකුගේ කාරිය ද ඉටු කරයි. ඒ පිළිබඳ කරුණු දැක්විය යුත්තේ මීට වඩා විස්තීර්ණ ලියැවිල්ලක ය.

අදහස්