බෞද්ධ කලාවේ නොමැ­කෙන ලකුණ | සිළුමිණ

බෞද්ධ කලාවේ නොමැ­කෙන ලකුණ

පෙරැළි කරන හෙවත් විප්ලවකාරී භික්ෂූහු දැන් සමාජයේ බොහෝ සෙයින් සිටිති. එහෙත් දැනට දශක හයකට හතකට පමණ පෙර එ බඳු භික්ෂූහු සමාජයේ ඉතා විරල වූ හ. මාපලගම විපුලසාර භික්ෂු චරිතය එ කල ඉතා විශේෂ, සමාජයේ කැපී පෙනෙන්නක් වූයේ එ බැවිනි.

විපුලසාර හිමියන් ගේ භූමිකාව ප්‍රවේශ කිහිපයක් ඔස්සේ අගය කළ හැකි ය. ප්‍රධාන වශයෙන් උන් වහන්සේ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති ධුරය දැරූ, සිය නිකායේ ලේඛකාධිකාරි ධුරය දැරූ, සාම්ප්‍රදායික භික්ෂුවක විසින් කළ යුතු යුතුකම් ඉටු කොට ස්වකීය විහාරස්ථානය අන්තර්ජාතික මට්ටමට ගෙනගිය භික්ෂු නමකි. අනෙක් අතින්, එකල භික්ෂූන් ඉතා විරල වශයෙන් යෙදුණු අන්තර්ජාතික ධර්ම දූත සේවාවේ යෙදෙමින් බෞද්ධ ලෝකයේ මුඳුනට නැඟ ලෝක තථාගත අනුගාමිකයන් ගේ සංවිධානය, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය, ඉන්දියාවේ මහාබෝධි සංගමය ආදියේ ඉහළ ම තනතුරු හොබවමින්, උතුරු දකුණු බුදු දහම් යා කිරීමේ පාලම ලෙස ජගත් කීර්තියට පත් එක ම ශ්‍රී ලාංකේය භික්ෂුව යි.

විපුලසාර හිමි පාණන් ගෙන් වූ අනෙක් විශිෂ්ට ම සේවාව නම් බෞද්ධ කලාව දේශීය කලාවට පුනර්ජීවනයක් ලබා දී එය නඟා සිටුවීම යි. කොටින් කිව හොත් උන් වහන්සේ විසි වන සියවසේ මෙ රට සිටි මහා බෞද්ධ කලාකරුවා වූ හ.

විපුලසාර හිමියන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ සැටි ද රසවත් කථාවකි. සිය ගුරු හිමියන් වූ වලානේ සට්ඨිස්සර මැද චිත්‍ර කලාවට, ප්‍රතිමා ශිල්පයට ප්‍රවිෂ්ට වූයේ විප්ලවකාරී චරිතයක් ලෙසිනි. භික්ෂුවක කලාවේ යෙදීම එ කල සමාජයට නොගැළැපෙන්නක් වූ හෙයින් ‘භික්ෂු චිත්‍ර කර්ම වාදය’ නමින් වාදයක් ද පුවත් පත් මඟින් ඇති වූ බව කියැවේ.

සිය විහාරස්ථානයෙන් වෙන් වී මරදානේ ආවාසයක වෙසෙමින් හේවුඩ් ආයතනයේ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ගෙන් චිත්‍ර ශිල්පය පිළිබඳ ව වැඩි දුරටත් හැදෑරූ විපුලසාර හිමියනට දේශීය කලාව, විශේෂයෙන් චිත්‍ර කලාව හා ගොක්කොළ සැරැසිලි ආදි ජන කලා බෙහෙවින් පිරිහී ඇති බව දක්නට ලැබිණ. ඉතා තරුණ භික්ෂුවක වශයෙන් ‘931 දී ‘ජාතික කලා පෙරමුණ’ පිහිටුවන ලද්දේ දේශීය කලාව හා කලාකාරයන් නඟා සිටුවීමේ පරම චේතනාවෙනි. හෙන්රි ධර්මසේන, ආරියවංශ වීරක්කොඩි ආදි කලාකාරයන් පිරිසක් ද එහි දී විපුලසාර හිමියනට සහාය දුන් හ.

ජාතික කලා පෙරමුණ පිහිටුවීමට තුඩු දුන් ආසන්න සිද්ධිය ද වැදගත් ය. එ වක පැවැති ලංකා කලා සංගමයේ චිත්‍ර තරගයකට විපුලසාර හිමියන් විසින් දේශීය ක්‍රමයට රේඛා චිත්‍රයක් (බුදු රුවක්) ඇඳ ඉදිරිපත් කරන ලදි. එ වක ලංකා කලා සංගමයේ ප්‍රබලයකු වූ මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර මහතා විසින් එය ඉවත් කරන ලද්දේ ‘දිස් ඉස් හොට් ආට්’ කියමිනි. අමරසේකර මහතා වැනි බටහිර තාත්ත්වික ශෛලිය ප්‍රගුණ කළමුත් දේශීය චිත්‍ර කලාව හෙළා දක්නා අයුරින් කම්පිත වූ හදැති විපුලසාර හිමියන් විසින් යට කියන ලද පරිදි ජාතික කලා පෙරමුණ අරඹන ලදි. එයින් දේශීය කලාවේ උන්නතියට වූ සේවාව අති විශිෂ්ටය. ජපානයේ ඔටුන්න හිමි කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ රත්මලානේ ගුවන් තොටුපළේ සිට රජ ගෙදර තෙක් ගොක්කොළ, හබරල කොළ ආදියෙන් දේශීය ක්‍රමයට සැරැසිලි කිරීමට විපුලසාර හිමියනට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මාපලගම විපුලසාර හිමියන් ගෙන් උත්කෘෂ්ටතම සේවාවක් වූයේ ප්‍රතිමා කලාවට යි. විශේෂයෙන් බුදු පිළිම නිර්මාණයට උන් වහන්සේ තරම් සමතකු අනුරාධපුර යුගයෙන් පසු මෙතෙක් බිහි වී නැතැ යි කීම අතිශයෝක්තියක් නො වේ. ‘පිළිම බාස්ලා’ අතෙහි පැවැති කර්මාන්තයක් වූ බුදු පිළිම නිර්මාණය සියුම් කලාවක් ලෙස සමාජගත වූයේ උන් වහන්සේ ගේ මෙහෙවර නිසා ය. කොළඹ ආනන්ද විදුහල, කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය, විහාරමහාදේවි උද්‍යානය ආදි තන්හි සුවිසල් බුදු පිළිම උන් වහන්සේ ගේ නිර්මාණ හැකියාවට මනා සාධක යි. එ මතු නොව, ලෝකයේ බොහෝ රටවල උන්වහන්සේ අතින් නිමැවුණු බුදු පිළිම ලංකා කලාවේ මහිමය කියා පාමින් වැඩ සිටියි.

විපුලසාර හිමියන් ගේ අපූර්ව නිර්මාණ කෞශල්‍යයෙන් ප්‍රභාවිත වූයේ බුදු පිළිම කලාව පමණක් නො වේ. වෙනත් පුද්ගල ප්‍රතිමා රාශියක් ද උන් වහන්සේ අතින් නිමැවිණ. විද්‍යෝදය පිරිවෙනේ ඇති හික්කඩුවේ සුමංගල පිළිමය ද වියට්නාමයේ නිර්මාතෘ හෝචිමින් ගේ පිළිරුව ද ඒ අතරින් ඉතා විශේෂ ය. හෝචිමින් ගේ පිළිරුව වියට්නාමයේ හෝචිමින් කෞතුකාගාරයේ තැන්පත් ‍‍කොට ඇත.

කලාකරුවකු වශයෙන් විපුලසාර හිමියන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා හදිසියේ ලද ආරාධනාවක් අනුව ඉක්මනින් වුව ද ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි. ඉතා කනගාටුවට කරුණ නම් වෙනත් කෙනකු එහි නිර්මාණ අයිතියට හිමිකම් කීමට දරන නින්දනීය උත්සාහය යි. ජනරජ ලාංඡන නිර්මාණ තට්ටුවේ ලේකම් ව සිටි හිටපු දියවඩන නිලමේ සහ අධිකරණ අමාත්‍ය නිශ්ශංක වි‍ෙජ්රත්න මහතා ජන රජ ලාංඡනය විපුලසාර හිමියන් ගේ නිර්මාණයක් බව පැහැදිලි ව කියා තිබියදීත් එහි අයිතිය උදුරාගැන්මට තැත් කිරීම ශෝචනීය යි. එහෙයින් රජය විසින් කමිටුවක් පත් කොට හෝ ජනරජ ලාංඡනයේ නිර්මාණාත්මක අයිතිය නිරවුල් කොට විපුලසාර හිමියනට ලැබිය යුතු ගෞරවය ලබාදීම වහා කළ යුතු කාර්යයකි.

මාපලගම විපුලසාර හිමියන් අපවත් වී දැනට දාහත් වසක් ගෙවී ඇත. එහෙත් උන් වහන්සේ ගේ අද්විතීය, අතුල්‍ය ජාතික ශාසනික සේවාව හෝ බෞද්ධ කලාවට කළ සේවාව හෝ කිසි දු ලෙසකින් ඇගයීමට ලක් ව නැත. සමරු උලෙළක් හෝ උන්වහන්සේ වෙනුවනේ නො පැවැත්වෙයි. රටක රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළ කලාකරුවාට මෙ බඳු සැලකීමක් ලැබීම ශෝක ජනක ය.

විපුලසාර හිමියෝ වනාහි මෙරට පහළ වූ අපූර්ව භික්ෂු චරිතයකි. එහෙයින් උන්වහන්සේ ගේ සම්පූර්ණ සවිස්තර චරිත කථාව ලිා පළ කිරීම වර්තමානයේ ‘දේශපාලන විප්ලව’ කරන භික්ෂූනට මනා ආදර්ශයක් වනු ඇත. ක්‍රියාකාරී දේශපාලනයේ නො යෙදුණ ද සමාජවාදී අදහස් දැරූ උන් වහන්සේ ලෙනින් සාම ත්‍යාගය ලැබීමට පවා යෝජනා කරන ලද හ.

යට දක්වන ලද පරිදි, මාපලගම විපුලසාර හිමියෝ වනාහි මේ යුගයේ පහළ වූ මහා කලාකරුවෙකි. එ හෙයින් උන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා කලාගාරයක්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශාලාවක් උන් වහන්සේ නමින් නම් කිරීම ඉතා උචිත ය.

Comments