විෂය මාලාවේ සෙවණැලි අතුරින් මනුෂ්‍යත්වය සොයා යෑම | සිළුමිණ

විෂය මාලාවේ සෙවණැලි අතුරින් මනුෂ්‍යත්වය සොයා යෑම

මෑත අවදියෙහි අතිශයින් ජනප්‍රිය වූ මේ ගීය ඇතුළත් වනුයේ හෝ ගානා පොකුණ චිත්‍රපටියේ ය. මෙහි ජනප්‍රියත්වය කොතෙක් ද යත් එළිමහන් සන්දර්ශන වේදිකාවල වැඩිහිටි ගායකයන් විසින් ද මෙය ගායනා කරනු ලැබීය. පසුගියදා මේ ගීය පිළිබඳ අලුත් කතා බහක් ඇති විය. ස්ථානය බලපිටිය ගුරු විදුහලයි. ඔක්. 12 දා බ්‍රහස්පතින්දා එහි පැවති හෙළ කලා හරසර උලෙළෙ ප්‍රාසංගික අංශයට මෙය ඇතුළත් වී තිබිණි. වැඩිහිටි හා තරුණ ගුරුවරු ගුරුවරියෝ ළමුන්ගේ වෙස් ගෙන ගීතයට නර්තනය ඉදිරිපත් කළ හ. මේ ගීය හා චිත්‍රපටය ගුරු විදුහලේ විද්‍යාර්ථීන් අතර කතිකාවතක් ගොස් නඟා ඇති බව පෙනිණ.

“හෝ ගානා පොකුණ යනු ගැමි වහරේ මුහුද හැඳින්වීමට යෙදෙන වදනකි‍. මහ මුහුද පිළිබඳ සංකල්පය ඔවුන්ගේ මනසේ රැ‍ඳෙන්නේ දෑස නොපෙනෙන දැරියකගේ කතාවෙනි. ගුරුවරිය ද ඒ පිළිබඳ වැඩිමනත් තොරතුරු පැවසීම දරුවන්ගේ කුතූහලය තවත් වැඩි වීමට හේතුවක් විය‍. ගමේ කිරි අත්තා කෙනෙකු වැව අසලට දරුවන් කැඳවා දෙනෙත් පියාගෙන වැව ඇසු­ෙරන් මනසින් මුහුද දැකීමට යොමු කිරීමෙන් ඔවුන්ට යම් සහනයක් ලැබුණත් හිතේ තෙරපෙන ආසාව කුතූහලය සන්සිඳුවා ගැනීමට නම් මුහුද ළඟට ගොස් මුහුද පිළිබඳ අත්දැකිම් ලැබීම නොකරම බැරි දෙයක් විය. ගුරුතුමියගේ පෙලඹවීමේ උපාය මාර්ගය නිසා දරුවන්, දෙමවුපියන්, ගුරුවරුන් යන මේ සියලු දෙනාගේ ම දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස යන ගමන අතිශය චමත්කාරජනක ය.”

එම ‍උපුටනය සාහිත උලෙළේ සමරු කලාපය සඳහා බලපිටිය ගුරු විදුහලේ විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති එම්. ජී. උපසේන මහතා ලියූ ලිපියෙනි.

ගුරු පුහුණුවෙන් පසුව විවිධ පළාත්වල සේවයට යන ගුරුවර ගුරුවරියන් හට හෝ ගාන පොකුණ අභ්‍යාසයක් බවට පත් කිරීම විශිෂ්ට කටයුත්තක් ලෙස මම දකිමි.

හෝ ගාන පොකුණ ප්‍රතිනිර්මාණය කරමින් ගුරුවරුන් ඉදිරිපත් කළ රැඟුම මනහර ය. හෘදයංගම ය. ජීවන දහම දල්වනසුලු ය. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන පනත අනුව එතෙක් වරප්‍රසාදලත් පන්තියට පමණක් සීමා වී තිබ‍ු අධ්‍යාපන වරම මහජනයාට ද විවර විය. නගරයෙන් පටන් ගෙන දුර ඈත ගම්මාන දක්වා පාසල් බිහි විය. කැලේ කොළේ අන්ධකාරයෙන් හා මිථ්‍යාවෙන් ද, මන්ද පෝෂණයෙන් ද ලෙඩ දුක්වලින් ද පරිපීඩිත වී සිටි දුගී දරුවන්ට නිදහස් අධ්‍යාපනය ඔස්සේ නිදහස් ලොවක අරුණලු පහස ලැබිණ. දැනුමෙන් දැකුමෙන් සුපසන් පරපුරක් බිහි විය.

දැනුම සහ මනුෂ්‍යත්වය එම අධ්‍යාපනයේ පදනම විය‍.

එහෙත් 70, 80 දශකවලින් පසු ව දැනුම ඉතිරි වී මනුෂ්‍යත්වය අතුරුදන් විය. ඊට හේතුව විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය යි. ඇතැම් ගුරුවරු ආචාර ධර්ම කඩකරගත් ටියුෂන් කඩකාරයන් බවට පත් වූහ. ගමේ ගොඩේ පාසල්වල ගුරුවරුන්ගේ අතට වේවැල පැමිණියේ දරුවන් මෙහෙයවීමට නොව ඔවුන්ට තැළීමට ය. දරුවන් කම්කරුවන් ලෙස යොදවා පාසල්වත්ත වගා කර මඩි තර කර ගැනීමට ද ඇතැම් විදුහල්පතිවරු පෙලඹුණහ. දරුවන්ට ලැබිය යුතු දැනුම, දයාව, කරුණාව හා මුදු ගුණය වෙනුවට ලැබුණේ හිංසාව, ක්‍රෑරත්වය සහ අවිද්‍යාව ය. හෝ ගාන පොකුණට විෂය ව‍ූයේ එබඳු විදුහලකි. එසේ වුව ද නගරයෙහි හැදී වැඩී නවීන ජීවිතයක් ගත කළ යුවතියක් ගුරු පත්වීම් ලැබ එම විදුහලට ස්වකැමැත්තෙන් යෑම එම කටුක යථාර්ථය වෙනස් කිරීමේ මගක් බවට පත් විය.

ආධුනික ගුරුවරියගෙන් කරුණා ගුණය හඳුනාගත් විදුහල්පතිවරයා ද කෙමෙන් ක්‍රෑරත්වය අත් හරින තැනට පත් විය. කිසිදා නොදුටු හෝ ගාන පොකුණ දැකීමේ සිහිනය දරුවන් ජයගන්නේ ඇගේ මැදිහත්වීමෙනි.

මේ චිත්‍රපටයෙහි විශිෂ්ටත්වය කෙරෙහි එහි තිරපිටපතෙහි සාහිත්‍යමය අගය මූලික වශයෙන් ම බලපෑවේ ය. මේ ලියුම්කරු ද ඇතුළු ව බොහෝ දෙනෙක් චිත්‍රපටය පිළිබඳ විචාර ලියූ හ. බලපිටිය ගුරු විදුහලේ හෝ ගාන පොකුණ ප්‍රතිනිර්මාණයෙන් පෙනී ගියේ මේ කලා කෘතියෙහි ඇති සර්වකාලීන බව යි. මෙය සෑම ගුරු වෘත්තිකයකු විසින් ම නැරඹිය යුතු චිත්‍රපටයකි.

“අපේ රටේ හැම ගුරුවරයෙක් ම ගුරුවරියක් ම හෝ ගාන පොකුණේ ගුරුවරිය වගේ හිතනව නම් පාසල් දරුවන්ගේ ලෝකය කොච්චර ලස්සන වෙයි ද?”

මේ පැනය මා ඇසුවේ පස්දුන් රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රමුඛාචාර්ය ආචාර්ය ඩබ්.කේ.ඩී. කීර්තිරත්න මහතාගෙනි.‍ ඔහු තම දෙසුමෙහි දී මෙසේ සඳහන් කළේ ය.

“පාසල් ගුරුවරුන් වගේ ම ගුරු විදුහල්වල සමහර ගුරුවරුනුත් තමන්ගෙන් ඉගෙනුම ලබන සිසුන්ට සැරෙන් කතා කරන්නේ. ආදරෙන් කතා කරන්න දන්නෙ නෑ. ඒ නිසා සිසුන් තම ගැටලු ගුරුවරුන්ට කියන්න බයයි. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ගුරු විදුහල්වලින් ගුරුවරුන්ට අවශ්‍ය ශික්ෂණය ලබා දුන්නත් ඔවුන් විදුහල්වලට ගිහින් වැඩ කරද්දී ඒ ශික්ෂණය නැති වෙනවා. දරුවන්ට මුදු මොළොක් විදියට අමතන්නෙ නෑ. හිංසනයට තමයි බර වෙන්නේ. එය එසේ නොවිය යුතුයි.”

ආචාර්ය කීර්තිරත්න ගේ මතය නිවැරැදි ය.‍

පාසල් විෂය මාලාවේ සෙවණැලි විෂය මනුෂ්‍යත්වය යි. එය මතු කර ගත හැක්කේ සාහිත්‍ය කලා ශික්ෂණයෙනි. විෂය මාලාවට ද එය ඇතුළත් ය.

එසේ වුව ද සාහිත්‍ය කලා පිළිබඳ දැනුම පිරික්සා බැලීමට අවශ්‍ය කරුණු ඉගැන්වීම මිස, ඒවා වින්දනය කිරීමේ ශික්ෂණය ඔස්සේ මනුෂ්‍යත්වය මතු කිරීමේ කලාව ගුරුවරු ප්‍රගුණ නොකරති. නිදහස් අධ්‍යාපනය ඔලුවෙන් සිටුවිය යුතු කාලය එළඹ ඇත්තේ ය. නැතිනම් මුළුමහත් සමාජයම ඇදී යන්නේ බිය ජනක අඳුරක් වෙත ය. අපි හෝ ගාන පොකු‍ණෙන් පටන් ගනිමු.

අදහස්