වනිතා විත්තිය පොරකකා බැලුවේ පිරිමි | සිළුමිණ

වනිතා විත්තිය පොරකකා බැලුවේ පිරිමි

වනිතා විත්ති කර්තෘ චන්ද්‍රා රණසිංහ

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට යැවූ ලිපියට ඔහු මට ස්තූතිය පළ කරමින් ලියුමක් එවා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා වුණත් මා වැනි සංක්‍රමණික පුරවැසියකුට පවා පිළිතුරු එවන්න තරම් ඔහු නිහතමානියි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පුවත්පත ලෙස සැලකෙන ‘වනිතා විත්ති’ පත්‍රයේ ආරම්භක කතු මඩුල්ලට එක් වූ ඇය දෙවනුව එහි කතුවරිය බවට පත් වූවාය. වනිතා විත්ති පත්‍රයේ ආරම්භක කතුවරිය වූ ශ්‍රියා රත්නකාර මහත්මියගේ ඉවත් වීමෙන් පසු කර්තෘ ධුරයට පත්වූ ඇය නමින් චන්ද්‍රා රණසිංහය. ටයිම්ස් ආයතනයේ ප්‍රකාශන වූ ‘දිනපතා ලංකාදීප’ සහ ‘ඉරිදා ලංකාදීප’ යන පුවත්පත් ‍දෙකෙහිම විවිධ තනතුරු හොබවමින් දසක තුනකට අධික කාලයක් පුවත්පත් කලාවට මාහැඟි මෙහෙවරක් ඉටුකළ ඇය ටයිම්ස් ආයතනය වසා දැමීමත් සමඟ මාධ්‍ය ජීවිතයෙන් ද සමුගත්තාය. වර්තමානය වන විට සිය දූදරු මුනුපුරු මිනිපිරියන් සමඟ ඇමෙරිකාවේ හූස්ටන් නුවර පදිංචිව සිටින ඇය කෙටි නිවාඩුවකට සියරට පැමිණි කල “සිළුමිණ” සමඟ සිය අතීත මතකය අවදි කරන්නට එක්වූයේ සතුටිනි.

ළමා කාලෙන්ම කතාව පටන් ගනිමු නේද? ඔබේ උපන් දිනය කවුදාද?

1934 අගෝස්තු 23

උපන්නේ කොහේද?

මාතර

මවුපියන් ගැන කීවොත්?

අම්මා ඩී.එස්. කස්තුරි ආරච්චි. තාත්තා එම්.සී. අමරසිංහ.

ඔවුන් රැකියාවල නිරතව සිටියාද?

ඔව්. දෙදෙනා ම විද්‍යාලාධිපතිවරු.

පවුලේ සහෝදර සහෝදරියන්?

අපි ඔක්කොම හත් දෙනයි. සහෝදරියන් පහයි. මට වැඩිමල් සහෝදරයායි. මම පවුලේ හය වැනියා.

මූලික අධ්‍යාපනය ලැබුවේ?

මගේ අම්මා විදුහල්පතිනිය ලෙස සේවය කළ හොරණ උඩුවේ සිංහල පාසලෙන් මම තුන් වැන්න දක්වා ඉගෙනුම ලැබුවා.

ඉන් පස්සේ?

විදුහල් කිහිපයකටම ගියා. අම්මාත් තාත්තාත් මාරුවීම් ලබා යන යන ප්‍රදේශවල පාසල්වලට අපිත් ගියා. තුනේදි මම මාතර සුජාතා බාලිකාවට ඇතුළත් වුණා. ඉන්පසු හොරණ තක්ෂිලාවට ඇතුළු වුණා. අනතුරුව හොරණ ශ්‍රී පාලි විදුහලට ගියා. හයේ පන්තියේදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වුණා. ඉන්පසුව බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔබ දේවි බාලිකාවේ ආරම්භක ශිෂ්‍යාවන් කණ්ඩායමෙන් කෙනෙක්?

ඔව්. 1953 දි ‘කොළඹ කාසල් වීදියේ කාන්තා විද්‍යාලය නමින් ගැහැනු ළමයින් සඳහා අලුතින් ම පාසලක් ඇරැඹුවා. එහි විදුහල්පතිනිය ලෙස කටයුතු කළේ ආචාර්ය විමලා ද සිල්වා මහත්මිය. මගේ වැඩිමල් සොහොයුරියක වූ ඒඩා අමරසිංහ මෙනෙවිය ඒ පාසලේ ආරම්භක ගුරුවරියන් පස් දෙනාගෙන් කෙනෙක්. ඒ වන විට මම උසස් පෙළ පන්තියට යන්න සූදානමින් සිටියේ. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසලක් වූ එහි උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනීම ආරම්භ කළා. ගණිතය, භූගෝල විද්‍යාව, සිංහල සහ පාලි භාෂාව මම ‍තෝරා ගත්තා. ඒ කාලේ උසස් පෙළ විෂයයන් දෙකක් සමත් වුණාම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒත් මොකක්දෝ හේතුවකට මම උසස් පෙළ විභාගයට ලියපු වසරේ පටන් විශ්ව විද්‍යාලෙට යන්න වරම් ලැබුණේ වැඩ තුනක් සමත් වුණොත් පමණයි. මම සමත් වුණේ වැඩ දෙකයි.

ඔබ විශ්වවිද්‍යාල සිහිනය අතහැරියා?

ඔව්. අම්මා තාත්තා ඇතුළු පවුලේ හැම දෙනා ම කීවේ තවත් වරක් විභාගයට ලියන්න කියලයි. ඒත් මට වුවමනාව තිබුණෙ ම රැකියාවක් කරන්න.

මොකක්ද ඔබ ප්‍රිය කළ රැකියාව?

මට ඕනැ වුණේ පත්තරේක රැකියාවක් කරන්න.

එයට විශේෂ හේතුවක් තිබුණාද?

ඔව්. ඒ වන විට මගේ අක්කා කෙනෙක් වුණු රූපා විවාහ වෙලා හිටියේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ කරුණාසේන ජයලත් මහතා සමඟ. ඔහු ඒ කාලේ හරිම ජනප්‍රියයි, ‘ගොළු හදවත’ නවකතාව නිසා. ඔහු ඒ කාලෙ ලංකාදීපේ සිනමා පිටුවේ සංස්කාරකවරයා ලෙසත් කටයුතු කළා. ඔහුට ‘චිත්‍රපට චක්‍රවර්ති’ කියලා නමකුත් පටබැඳිලා තිබුණා. ඒ කාලෙ මට ඔහු පුංචි පුංචි ඉංග්‍රීසි ලිපි දීලා සිංහලයට පරිවර්තනය කරවා ගත්තා. ඒවා වරින්වර ලංකාදීපේ පළ වුණා.

ඔබේ නමින්ම?

“චන්ද්‍රා” සහ “සොමී” යන නම්වලිනුයි ඒවා පළවුණේ.

පරිවර්තන කාර්යයට ඔබට පුහුණුවක් ලැබුණේ කොහොමද?

පාසලෙන්. අපි ඉගෙනගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහල භාෂාවත් හැදෑරුවා. අම්මා තාත්තා ගුරුවරුන් වීමෙන් පොතපතට, ඉගෙනුමට ළැදි පරිසරයකයි අපි හැදී වැඩුණේ.

ඒ කාලේ කාන්තාවන් පුවත්පත් කලාවට යොමු වුණේ කලාතුරකින්?

ඔව්. පත්තර රස්සාව පිරිමින්ට පමණක් සුදුසු රැකියාවක් ලෙසයි ඒ කාලේ පිළිගැනුණේ. මගේ දෙමවුපියොත් මම ඒ රස්සාව තෝරා ගන්නවට කැමැත්තක් දැක්වූයේ නෑ. ඒත් මගේ කැමැත්තට ඔවුන් ඉඩ දුන්නා.

මුලින්ම රැකියාවට ආපු දිනය මතකද?

ඔව්. ඒ 1957 පෙබරවාරි 28 වැනිදා. ටයිම්ස් ආයතනය අලුතින් ම කාන්තා පත්තරයක් පටන් ගන්න යන බවත්, එහි කර්තෘ මණ්ඩලයට තරුණියන් තුන් දෙනෙකු ගන්නට සූදානම් බවත් මට ආරංචි වුණා. ජයලත් අයියාත් ඉන්න නිසා මමත් කැමති වුණා ඒ සඳහා ඉල්ලුම් කරන්න. සම්මුඛ පරීක්ෂණයට කැඳවූ දා මම ගියේ දේවි බාලිකාවේ නිල ඇඳුමත් ඇඳගෙනයි.

ඔබ සම්මුඛ පරීක්ෂණයට බඳුන් කළේ කවුද?

පියල් වික්‍රමසිංහ මහත්තයා. මා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා.

ඔබ සමඟ තේරුණු අනිත් දෙදෙනා කවුද?

ශ්‍රියා රත්නකාර සහ සීතා සුභසිංහ.

ඔබ තිදෙනාගෙන් කර්තෘ ධුරය හිමි වුණේ කාටද?

ශ්‍රියා රත්නකාර මහත්මියට. මා ඒ වන විටත් පාසල් වියෙහි පසු වූ දැරියක්. සීතාත් ඒ තරම් අත්දැකීම් නොතිබූ යුවතියක්.

“වනිතා විත්ති” යන නම දැම්මේ කව්ද?

ශ්‍රී නිශ්ශංක මහත්මයාත් ධනපාල මහත්තයාත් එකතු වෙලා වනිතා විත්ති කියන නම තෝරා ගත්තා. වනිතා විත්ති ලාංඡනය නාරිගැට මෝස්තරයක් යොදා අලංකාරෙට සකස් කළේ ශ්‍රී නිශ්ශංක මහත්තයා.

පළමුවැනි පත්‍රය නිකුත් වූ දවස මතකද?

1957 අප්‍රේල් 28. හරියට මම ගිහින් මාස දෙකකට පසුව පත්‍රය පිට කළා.

ඔබට භාර වූ කාර්යභාරය මොන වගේද?

අහවල් කාරිය කියලා නියමයක් නෑ. හැම දෙයක් ම කළා. අපි තුන් දෙනාට ලංකාදීප කර්තෘ මණ්ඩලෙන් වගේ ම ඩී.බී. ධනපාල මහත්තයා ඇතුළු හැම දෙනාගෙම සහයෝගය ලැබුණා. වැඩ බෙදාගෙන, පංගු පේරුවට වැඩ කළේ නෑ. අපි උත්සාහ කළේ හොඳ පත්තරයක් නිකුත් කරන්නයි.

ඒ උත්සාහය සාර්ථක වුණාද?

අපොයි ඔව්. හිතුවාටත් වඩා සාර්ථක වුණා. මුල් කලාපයේ පටන්ම පත්‍රය උණු කැවුම් වගේ අලෙවි වුණා. කාන්තාවන්ටත් වඩා පොරකකා පත්තරේ බැලුවෙ පිරිමි.

පත්‍රයේ ආකෘතිය හා තේමාව වුණේ මොකක්ද?

ඒ කා‍ලේ පත්තරේ තමයි මිනිසුන්ට තිබුණු පළමුවැනි සන්නිවේදන මාධ්‍යය. පත්තරේ පළවෙන්නේ “ඇත්ත” කියලා මිනිස්සු විශ්වාස කළා. රට දැය සමය පිළිබඳ හැඟීමකින් කටයුතු කරන්න, අවධියෙන් ජීවත් වෙන්න මිනිසුන් හුරු කරන්නට එදා පත්තර විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ධනපාල මහත්මයා ඒ කාර්යයේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. ඔහුට වුවමනා වුණා අපේ රටේ කාන්තාවන් සමාජ, ආර්ථික හා දේශපාලනික අංශවලින් දැනඋගත්, අවදියෙන් සිටින පිරිසක් බවට පත් කරන්න. කාන්තාවන් දැනුවත් කිරීමෙන් ජාතියම නගා සිටු වන්නට හැකි බව එතුමා විශ්වාස කළා. ඒ නිසා පත්තරය තුළින් කාන්තාවන්ට දැනුම විනෝදය හා තොරතුරු සන්නිවේදනය කිරීමයි අරමුණ වුණේ. ආකෘතිය සකස් වුණේ ඉහත කී අංශ තුනට ගැළපෙන ආකාරයට.

මොනවද තිබුණු විශේෂාංග?

අපි කාන්තාවන්ට අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය වටිනාකමින් යුතු ලිපි රැසක් පළ කළා. ගේ දොර පිළිවෙළට තබා ගන්නා හැටි, ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් පමණක් නොවෙයි හරියට ඇඳුම් පැලඳුම් කරන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? ළමයි හදාවඩා ගන්නේ කොහොමද? විනෝදාංශ, විදෙස් විත්ති, පවුල් හා සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් නීති උපදෙස්, අසරණ සරණ මෙන් ම ළමයින්ට වෙන්වූ ලිපිත් රාශියක් ම තිබුණා.

ඒ කාලේ පත්තර රස්සාව පිරිමින්ට ම වෙන්වූ දෙයක්. පාසලින් පසු කෙළින් ම පත්තර රස්සාවට යොමුවුණු ඔබට එය දැනුණේ කොහොමද?

ඒක වෙනස් ම කලාවක්. ඇත්තෙන් ම එය පිරිමින්ට ම වෙන්වූ ලෝකයක්. ඒත් බොහෝම ගෞරවාන්විත රැකියාවක්. ඒ කාලේ පිරිමින් අපිට බොහෝම ගෞරවයෙන් සහෝදරත්වයෙන් යුතුව සැලකුවා; ඔවදන් දුන්නා; වැඩ කියා දුන්නා. ඒ ව‍ගේ ම රැකියාව හරිම විනෝදජනකයි. වරෙක අභියෝගාත්මකයි.

අභියෝගාත්මකයි කිව්වේ?

පත්තර රස්සාවට ආවා නම් නාරි ලාලිත්‍යය වගේ ම පිරිමියකුට සමාන ආත්ම ශක්තියක් සහ එඩිතර බවකුත් තියෙන්නට ඕනෑ. ගැහැනුකමත් රැකගෙන බාර දෙන ඕනෑ ම අභියෝගාත්මක පැවැරුමක් රාජකාරියක් නිවැරැදිව ඉෂ්ට කරන්නට ඕනෑ. අතපසුවීම් කල් දැමීම්වලට මේ රස්සාවෙදි ඉඩ නෑ. දරුවො, පවුල, රැකියාව මේ හැම දේම අවුල් කරගන්නේ නැතිව හොඳින් කළමනාකරණය කරගන්නට ඕනැ. ඇත්තෙන් ම කාන්තාවකට එය අභියෝගයක්.

ඔබ ඒ අභියෝගය ජයගත්තා?

ඔව්. මම එය සාර්ථකව ජයගත්තා කියලා හිතනවා.

ඔබ විවාහ දිවියට ඇතුළත් වුණේ?

1960 දි. ඔහු නීතිඥවරයකු වූ ඩොනල්ඩ් රණසිංහ.

ඔබේ රැකියාවට සැමියාගෙන් ලැබුණු සහයෝගය කෙබඳුද?

විවාහ වෙන්න පෙරත් පසුවත් හැමදාම ඔහු මට කීවේ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර ඉඳන් දරුවන් බලාගන්න කියලයි.

ඒත් ඔබ ඉවත් වුණේ නෑ.

ඔව්. මම මේ රැකියාවට හරිම කැමැතියි. එදත් එහෙමයි. අදත් එහෙමයි.

දරුවන්ගේ කටයුතු අතපසු වුණා යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

ඇතැම්විට. දරුවන් පුංචි කාලේ ඔවුන් සමඟ මා ගත කළ කාලය මදි වුණා යැයි මට සිතෙනවා. මගේ නැන්දම්මා සහ ඥාතීන් මට දරුවන් රැක බලාගන්නට උදව් කළා.

රැකියාව කළ කාලයේදී ඔබට මුහුණපාන්න සිදු වූ විශේෂ සිද්ධි මතකයේ තැන්පත්ව ඇති?

මට හොඳට ම මතක 1983 කළු ජූලියයි. කොටුවේ ටයිම්ස් ගොඩනැඟිල්ලේ ලංකාදීප කාර්යාලය පිහිටා තිබුණා. අපි රැකියාවට ගියේ ගිනි ගොඩවල් මැදින්. බොහෝම අමාරුවෙන්. වටපිට දෙමළ ජනතාව සිටි ගෙවල් දොරවල් කඩසාප්පු ගිනි තියනවා මම දෑසින් ම දැක්කා. කන්තෝරු කාමරේ කවුළුවකින් එළිය බැලුවා ම පාර පුරා මිනිසුන් කලබල කරනවා. මිනිසුන්ට ගහනවා. මේවා බලා ඉන්න බැරුව මම කඳුළු බේර බේරා ඇඬුවා. ඇත්තෙන් ම ඒ සිදුවීම් සිහිවන විට මට තවමත් වේදනාකාරීයි.

ඔබ සතුටු වූ විශේෂ අවස්ථාත් බොහොමයක් ඇති?

ඔව්. ලංකාවට මාර්ෂල් ටිටෝ මහතාගේ බිරිඳ පැමිණි අවස්ථාවේදී ඇයත්, සිරිමාවෝ අගමැතිනියත් සමඟ මහිලා සමිතියේ සංවත්සරයට සහභාගී වූ අවස්ථාව විශේෂයි. ඉන්දිරා ගාන්ධි මහත්මිය පැමිණි අවස්ථාවේදී ඇය හමුවී කළ සාකච්ඡාව ඒ කාලේ බොහොම ජනප්‍රිය වුණා. ගාන්ධි මැතිනිය ‘සිංහල අච්චාරු’ කන්නට ප්‍රිය කරන බව ලීවාම එය අපේ කාන්තාවන්ට ලොකු සතුටක් වී තිබුණා. විලියම් ගොපල්ලව මහත්තයා ජනාධිපති ධුරයට පත්වුණු අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ගිහින් පළමුවෙන් ම සාකච්ඡාවක් පවත්වන්නට අවස්ථාව ලැබුණේ මටයි. ඒ අවස්ථාව ලැබුණේ එතුමාගේ දියණියක වූ ඉන්ද්‍රානි ගොපල්ලව මෙනෙවිය ඒ කාලේ දේවි බාලිකාවේ මගේ ගුරුතුමියක ලෙස කටයුතු කළ නිසා එතුමිය මඟින්.

ඔබ මේ රටේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නත් ඔවුන් සමඟ කටයුතු කරන්නටත් අවස්ථාව ලැබීමට තරම් භාග්‍යවත් වුණා?

ඔව්. ඇත්තෙන් ම එය භාග්‍යයක්. මෙරට පුවත්පත් කලවේ පූර්වාචාරීන් වන ඩී.බී. ධනපාල මහතා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ශ්‍රී නිශ්ශංක, පියල් වික්‍රමසිංහ, මහානාම දිසානායක, පෙරමුණේතිලක, සිරිපාල තිලකසේන, දීගොඩ පියදාස, ගුණදාස ලියනගේ, කරුණාසේන ජයලත් වැනි ප්‍රවීණයින් රැසකගෙන් ගුරුහරුකම් ලබමින් ඔවුන් හා සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබීම මා ලද විශාල භාග්‍යයක් ලෙස සලකනවා.

පසු කලෙක ඔබ වනිතා විත්තියෙහි කතු පුටුවට පත්වුණා?

ඔව්. මගේ විවාහ මංගල්‍යය දවසේ ඩී.බී. ධනපාල මහත්මයා ටයිම්ස් ආයතනයෙන් ඉල්ලා අසු වුණු බව මට ආරංචි වුණා. ඔහු මගේ විවාහ මංගල උත්සවයටත් ආවේ නෑ. තෑගි එවලා තිබුණා. පසුව ධනපාල මහතා ‘දවස’ පුවත්පතට එකතු වුණා. එතුමා අස්වුණු පසුව ශ්‍රියා රත්නකාර මහත්මියත් වනිතා විත්තියෙන් ඉවත් වුණා. ඉන් පසු පත්‍රය මට බාර වුණා. එවකට ඉරිදා ලංකාදීපේ ‘ළපටි පෙළ’ පිටුව සංස්කරණය කළ සිරිපාල තිලකසේන මහත්මයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඉන්පසු නියෝජ්‍ය කර්තෘ විදිහට ඊවා රණවීර එකතු වුණා. සීතා අතුකෝරළත් අලුතින් ම එකතු වුණා. ඒ අතර වනිතා විත්තිය ඇතුළෙම ළමා පිටු දෙකක් විදිහට ‘ළපටි පෙළ’ පටන් ගත්තා. ඒක ළමයින් අතරේ හුඟක් ම ජනප්‍රිය වුණා.

ඔබ ලංකාදීප පත්‍රයේ ප්‍රවෘත්ති අංශයත් ආවරණය කළා නේද?

ඔව්. ලංකාදීප පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ පෙරමුණේ තිලක මහතා යටතේ දකුණු පළා‍තේ ප්‍රවෘත්ති අංශය භාර උප කර්තෘවරිය ලෙස කටයුතු කළා. ඒ කාලයේ පත්‍ර සියල්ල ම භාරව කටයුතු කළේ මහානාම දිසානායක මහතා. පසුව නැවතත් මම වනිතා විත්ති කර්තෘ ධුරයට පත් වුණා. ඉන්පසුව ඩී.එච්. අබේසිංහ මහතා සියලු පත්‍රවල ප්‍රධාන කර්තෘ ධුරයට පත් වුණා. ඉන්පසුව දීගොඩ පියදාස, පෙරමුණේ තිලක, ජිනදාස ලියනගේ සහ එල්මෝ ගුණරත්න යන මහත්වරුන් එම ධුරයට පත් වුණා. පෙරමුණේ තිලක මහත්මයාගෙන් පසුව මා කෙටි කලක් ලංකාදීපයේ ප්‍රවෘත්ති කර්තෘ ධුරයේත් වැඩ කළා.

පත්තර රස්සාවෙන් ඔබේ ජීවිතයට ලැබුණු පන්නරය කුමක් ද?

ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබුණා. වරක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මම ලංකාවේ සංචාරක ව්‍යාපාරය නිසා වැල්ලකරේ අපේ තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වීමට හේතු වන හිපි සංස්කෘතිය ගැන පෙන්වා දෙමින් නාරිගම ඡායාරූප පෙළක් පළ කළා. ඒවා දැකලා ජනාධිපතිතුමාට තරහා ගිහින්. මට එතුමාගේ ලේකම්ව සිටි මැණික්දිවෙල මහත්තයා හමු වෙලා නිදහසට කරුණු කියන්න සිදු වුණා. බයෙන් ගියත් මම ඇත්ත කිව්වා ම ඔවුන් එය පිළිගත්තා. ඒ නිසයි මම කියන්නේ පත්තරකාරයෙක් වුණාම නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරන්නට බිය විය යුතු නැති බව. පත්තරකාරයෙක් වීම නිසා මට බොහෝ අවස්ථාවන් ලැබිලා තියෙනවා. රටේ ලෝකේ බොහොම වැදගත් ප්‍රභූන් හමු වෙලා තිබෙනවා. එය මා ප්‍රිය කළ රැකියාවයි. රැකියාවෙන් ලැබූ තෘප්තිය ඒ සියල්ලට ම වඩා වටිනවා.

ඔබ දැන් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ?

1986 දී ටයිම්ස් ආයතනය වසා දැම්මා. ඉන් පස්සේ මම විවිධ රටවල සංචාරය කළා. මගේ වැඩිමල් පුතා අගස්තිත් දියණිය ජිනාදරීත් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ හූස්ටන්වල. වසර 2000 දි මා ඔවුන් සමඟ පදිංචියට ගියා.

ඔබේ දූ දරුවන්ගේ විස්තරත් කියන්න.

මගේ ලොකු පුතා අගස්ති රණසිංහ. ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙනවා. ඔහුට පුතුන් දෙදෙනකු සිටිනවා. දියණිය ජිනාදරී වෘත්තියෙන් නීතිඥවරියක්. බෑණා ශ්‍රීනාත්. මම ඔවුන් සමඟ ජීවත් වෙනවා. බාල පුතා චන්න රණසිංහත් වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහු ලංකාවේ ජීවත් වෙනවා.

ඔබ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට යැවූ ලිපියට ඔහු ඔබට පිළිතුරු එවූ බවත් කීවා?

ඔව්. ඔහු ජනාධිපති ධුරයෙන් සමුගෙන ඇමෙරිකානු ජනතාව අමතා කළ අවසන් කතාව බොහොම සාර්ථක අනුවේදනීය කතාවක්. එරට ජීවත් වන මාත් දැන් එහි පුරවැසියෙක්. ඒ කතාව අහලා පැහැදිලා ඔහුට මගේ අදහස් ලියුමකින් දන්වා යැව්වා. ඒ ලිපියට ඔහු මට ප්‍රශංසා කර ස්තූතිය පළ කරමින් ලියුමක් එවා තිබෙනවා. ඒ රටේ හිටපු ජනාධිපතිවරයා වුණත් මා වැනි සංක්‍රමණික පුරවැසියකුට පවා පිළිතුරු එවන්න තරම් ඔහු නිහතමානියි.

ඔබ දැන් ලියන්නේ නැද්ද? ඇමෙරිකාවෙදි මොකද කරන්නේ?

ලියනවා. පුවත්පත්වලට නොවෙයි; ආත්ම තෘප්තියට. මගේ ජීවන මතක සටහන් කවියෙන් ලියා තිබෙනවා. මා අවුරුදු පහක් පමණ කැලිෆෝර්නියාවේ ප්‍රාථමික පාසලක ඉගැන්වීම් කළා. වසර 5ක් පමණ ආර්මේනියානුවන් වෙසෙන වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක කාලය ගත කළා. එහිදී මම අපේ රට ජාතිය සංස්කෘතිය හා ඉතිහාසය ගැන ඔවුන්ට කතා පැවැත්වුවා. සින්දු කීවා. විවිධ සංස්කෘතීන්වලට අයත් නැටුම් ගැයුම් වැයුම් ගැන දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගත්තා. ඇමෙරිකාවේ පදිංචි දේවි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යාවන් ගේ සංගමයක් තිබෙනවා. එහි සිටින වැඩිමල් ම ආදි ශිෂ්‍යාව මමයි. ඒ වගේ ම දේවි බාලිකාවෙන් බිහිවුණු පළවැනි මාධ්‍යවේදිනියත් මමයි.

වත්මන් කාන්තාවන්ට, විශේෂයෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට ඔබ දෙන අවවාදය කුමක්ද?

අද කාලේ එදා වගේ නොවෙයි. තාක්ෂණය ඇතුළු අනෙකුත් පහසුකම් අතින් බෙහොම දියුණුයි. අධ්‍යාපනයත් ඉහළයි. වෘත්තියේ ගෞරවයත් තමන්ගේ ගෞරවයත් රැකගෙන ඉදිරියට යන කාන්තාවකට ජාතියක් ගොඩනඟන්න දායක වෙන්න හැකි වෘත්තියක් මාධ්‍යවේදය. නුවණින්, අවදියෙන් ඒ මඟ ජයගන්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඡායාරූප - තිලක් පෙරේරා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.