රුපියලකින් ‘පවස’ නිවන රජරට ප්‍රජා ළිං | සිළුමිණ

රුපියලකින් ‘පවස’ නිවන රජරට ප්‍රජා ළිං

ඈත එපිට ගම්මානවල වැඩ කටයුතු කරද්දී ගමේ අවශ්‍යතා හා ගමේ සම්පත් ගැන වැටහීමක් ඇත්තේ එහි ජනතාවටය. එනිසා ගමක යම් තීරණයක් ගැනීමේදී ගමේ ජනතාවගේ අදහස් විමසීම ඉතා වැදගත්ය.

* ළිං හදන තැන් තෝරන්නේ ජනතාවගේ අදහස් අනුවයි
* වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පියවරක්
* පිරිසුදු පානීය ජල හිඟය ගැන පර්යේෂණ

අකාලයේ මරණ වරෙන්තු නිකුත්කරමින් නිහඬ මාරයෙක් ලෙස රජරට ජන ජීවිත බිලි ගන්නා වකුගඩු රෝගය හේතුවෙන් මේ වන විට විශාල ජන ජීවිත ගණනක් රටට අහිමිව ගොස් ඇත. දවසින් දවස උග්‍රවන මේ වකුගඩු රෝගයෙන් උතුරු මැද පළාතේ පමණක් නොව ලංකාවේ සෙසු ප්‍රදේශවල ජනතාව ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි. වකුගඩු රෝගීන් බහුල උතුරු මැද පළාතේ ජනතාව උදෙසා පිරිසුදු පානීය ජලය ලබාදීම සඳහා ප්‍රජා ළිං ඉඳිකිරීමේ මහඟු කටයුත්තක් මේ වන විට එම ප්‍රදේශ පුරා ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර ‍විවිධ සංවිධාන ද ප්‍රජා මට්ටමෙන් ඒ සඳහා උරදෙයි.

රජරට වකුගඩු රෝගය මැඩලීමේ තවත් එක් ප්‍රයත්නයක් පසුගියදා ආරම්භ වූයේ සමාජ ගැටලු විසදීමට හැමදාමත් උරදෙන ගැලැවීමේ හමුදාවේ මැදිහත් වීමෙනි. රජරට ජනතාව සඳහා පිරිසුදු පානීය ජලය ලබා දෙමින් ඊට සමගාමීව එම ප්‍රදේශයන් හි වකුගඩු සායන පවත්වමින් වකුගඩු රෝගයෙන් පීඩා විදින පවුල්වල සාමාජිකයනට අත්වැලක් වෙමින් ගැලැවීමේ හමුදාව උතුරු මැද ප්‍රදේශයේ නිහඬ සේවයක යෙදී සිටියි. රජරට ප්‍රදේශයේ දැවෙන ගැටලුවක් වන පිරිසුදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් ගැලවීමේ හමුදාව සිදු කරමින් සිටින මෙහෙවර පිළිබඳ එහි ප්‍රධානියකු වන මේජර් පීටර් මැග්ගුයිගන් අප සමඟ කතා බහ කළේය.

“මේ වෙද්දී වකුගඩු රෝගය ලංකාවේ ප්‍රදේශ කිහිපයකම හිස ඔසවා තිබෙනවා. ඒ අතර උතුරු මැද පළාත විශේෂයි. මේ ප්‍රදේශවල ජනතාව පානීය ජල අවශ්‍යතා සඳහා බහුලව යොදා ගන්නේ එම ප්‍රදේශවල පවතින නොගැඹුරු, මතුපිට ජල පරීශ්‍ර බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඔවුන් පිරිසුදු පානීය ජල හිඟයකින් පෙළෙන බව හෙළි වී තිබෙනවා. මෙම තත්ත්වයත් වකුගඩු රෝගයට බලපාන්න පුළුවන්. මේ දැවෙන ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට ගැලවීමේ හමුදාව ලෙස අපි 2013-2014 වර්ෂවල මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්තුවා. ඒ අනූව තමයි මේ වකුගඩු රෝගීන් උදෙසා ස්වෙච්ජා සංවිධානයක් ලෙස අත්වැලක් වෙන්නට අපිට අවකාශ ලැබුණේ. රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහවැලි අධිකාරිය, ජලාපවහන මණ්ඩලය ඇතුළු රජයේ ආයතන මේ කාර්යයට අපට උර දුන්නා. රජයේ අනුමැතිය ඇතිව එම නිලධාරීන් සමඟ තමයි මේ කාර්ය අපි පටන් ගත්තේ. ඒ 2014 වසරේදීයි.”

ඈත එපිට ගම්මානවල වැඩ කටයුතු කරද්දී ගමේ අවශ්‍යතා හා ගමේ සම්පත් ගැන වැටහීමක් ඇත්තේ එහි ජනතාවටය. එනිසා ගමක යම් තීරණයක් ගැනීමේදී ගමේ ජනතාවගේ අදහස් විමසිම ඉතා වැදගත්ය. මේ සෑම ජල ව්‍යාපෘතියකදීම ගමේ නොසිඳෙන දිය උල්පත් ගැන ගම්මුන්ගේ අදහස් විමසීම නිතර සිදු කෙරිණි.

“ළිඳක් තනද්දි එය අවශ්‍ය කුමන ප්‍රදේශයටද කියා අපි එම ප්‍රදේශයේ ජනතාව හා ඔවුන් නියෝජනය කරන සමිති සමඟ කතාබහ කරනවා. ඒ අනූව එම ළිද කැණීමට මහවැලි අධිකාරියේ අනුමැතිය ලබාගන්නවා. ඉන් පසුව ජලාපවහන මණ්ඩලයේ පරීක්ෂණවලින් පසු අනුමැතිය ලබා ළිඳ කැණීම අරඹනවා. සමහර අවස්ථා තිබෙනවා සුදුසු ජල උල්පත් තෝරාගෙන ඒවා කෙළින්ම ළිදකට පරිවර්තනය කරන. ළිඳ හදන්න යනවිට එහි පානීය ජලය මිනිසුන්ට සුදුසු ද නැද්ද කියලා ප්‍රථමයෙන්ම ජලය හොඳින් පරීක්ෂා කිරීම සිදු කරනවා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා ප්‍රාදේශීය ලේකම් සමඟ කතාබහ කරලා ළිඳක අවශ්‍යතාව තිබෙන ජනතාව හරියටම කවුරුද කියලා සොයා බලා තමයි මේ කාර්යය දියත් කරන්නේ. අපි සමිති සමඟ එකතුවෙලා මේ විදිහේ ළිඳක් මේ ප්‍රදේශයේ හදන්න යන බවට ඔවුන් දැනුම්වත් කළාම බොහෝ වෙලාවට ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩමෙන් කෑල්ලක් ඒ අය කැමැත්තෙන් පොදු ළිඳක් වෙනුවෙන් පරිත්‍යාග කරන අවස්ථා තිබෙනවා.”

තිලකරත්න යනු පළාතේ සාර්ථක ගොවි මහතෙකි. එහෙත් ඔහු වකුගඩු රෝගියෙකි. රෝගයෙන් පීඩා විඳ ජීවිතයේ අවසන් කාලයට ළංව සිටි ඔහු ගමේ ජනතාව වෙනුවෙන් උදාර පරිත්‍යාගයක් කළ අයෙකි. ගමට ළිඳක් තැනීමේ රැස්වීමට සහභාගි වෙමින් සිටි තිලකරත්න ගොවි මහතා තම අදහස එහිදී හෙළි කළේය.

“වෛද්‍යවරුන් මට පවසා තියෙන්නේ මට ජීවත් වෙන්න ඇත්තේ ඉතාම කෙටි කාලයක් බවයි. එහෙත් ගමේ අනෙක් අයට නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දීමට මට අවශ්‍යයි. එනිසා මේ ළිඳ හදන්න ඉඩම් කොටසක් මගේ ඉඩමෙන් දීමට මා කැමතියි. කරුණාකර මේ ළිඳ මගේ ඉඩමේ හදන්න. ඉන් අපේ ගමේ අනාගත පරපුරවත් නිරෝගී වීමට ඉඩ සැලසේවි. මා මැරෙන්න පෙර මේ දේ ගමේ ජනතාවට ඉටුකර දෙන්න කියා මා ඉල්ලීමක් කරනවා”.

ඔහුගේ ඉල්ලීම පරිදි ඉතා ඉක්මනින් වැඩ නිම කළ එම ළිඳ ගමේ ජනතාව සතු කිරීමද ඔහුගේ දෑතින්ම ඉ‍ටු කිරිම සිදුවිය. ළිඳ බාරදී දෙමසකට පසු තිලකරත්න ගොවි මහතා ජීවිතයෙන් සමු ගත්තේය. අද එම ප්‍රජා ළිඳ බලාකියා ගන්නේ ඔහුගේ පුතාය. වතුර ගන්නා ජනතාව දෙන රුපියල එකතු කර ඔහු එම ළිඳ නඩත්තු කරන්නේය.

ළිං කැණීමෙන් ජනතාවට ලැබෙන සහනය

උතුරු මැද පළාතේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව පිරිසුදු පානීය ජලය සොයා ගෙන කිලෝමීටර් ගණනාවක දුර ඇවිදිති. ඇතැම් අවස්ථාවල ඒ දුර කිලෝ මීටරයේ සිට කිලෝ මීටර් තුනක් හතරක් පහක් දක්වා ද දිගු වේ. පිරිසුදු ජලය වෙනුවෙන් ඔවුන් විඳිනුයේ අප්‍රමාණ දුකකි. එවන් ජනතාවට මේ ප්‍රජා ජල ව්‍යාපෘති ඉමහත් සහනයකි.

“දැන් ඔවුන්ට තම නිවෙසේ සිට කිලෝමීටරයක් වැනි දුරකින් පානීය ජල අවශ්‍යතා සොයා ගන්න පුළුවන් කම තිබෙනවා. ඒ අය වතුර අරගෙන එතැනට රුපියලක් වැනි මුදලක් ලබා දෙනවා. ඒ සුළු මුදල ලැබෙන්නේ ප්‍රජා ළිඳ නඩත්තු කරන සමිතියට. මේ එක් ළිඳකින් 1000ක පමණ ජනතාවක් තමන්ගේ ජල අවශ්‍යතා සපුරා ගන්නවා. මේ වන විට අපි සැකසූ ළිං සමුහයෙන් දසදහසක පමණ ජනතාවක් තමන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නවා. මේ ළිඳක් අඩි 250 ක් පමණ ගැඹුරුයි. ලංකාවේ මිනිසුන් මේ ආකාරයට ළිං හදන්න අපිට උදව් කරනවා නම් ප්‍රජා ළිං මේ රට පුරාම ජනතාව වෙනුවෙන් සකසන්න අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය පළපුරුද්ද, ශ්‍රමය හා තාක්ෂණය වැනි සියලු දේ අප සතුයි. අපට අවශ්‍ය ජනතා සහයෝගයයි.”

මේ සෑම ප්‍රජා ළිඳක් වෙනුවෙන්ම ජල පෙරණ ක්‍රියාවලියක් ද වෙයි. සාමාන්‍යයෙන් මේ එක් ප්‍රජා ළිඳක් වෙනුවෙන් ඔවුනට රුපියල් ලක්ෂ 20ත් 25ත් අතර පිරිවැයක් දැරීමට සිදුවේ. මේ වෙද්දී රජරට ප්‍රදේශයේ ප්‍රජා ළිං 10 ක් ඉදිකර තිබේ. ඒ වෙනුවෙන් දරා ඇති පිරිවැය රුපියල් ලක්ෂ එකසිය හැටක් පමණ වේ. පළාතේ ළිං 15ක් පමණ ඉදිකිරීම ගැලවීමේ හමුදාවේ අදහසයි.

“අප දැනට පොළොන්නරුවෙ දුෂ්කර ගම්මානවල ළිං අටක් ඉඳිකර අවසන්. ඊළඟ වසරේ තව ළිං 5ක් ඉදිකරන්න අප සූදානම් වෙනවා. ඒ අතරතුර අපි ඒ අයට ස්වයං රැකියාවක් කර ජීවිත ගොඩනඟා ගන්නටත් උපකාර කරනවා. අඩු වයස් විවාහවල ආදීනව ගැන දැනුම්වත් කරනවා. උපදේශන සේවා සපයනවා. ඊට අමතරව කෘෂිකාර්මික වැඩසටහන් ද පවත්වනවා. මේ සියලු දේ අපි සිදු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජලසම්පාදන මණ්ඩලය වැනි රජයේ ආයතන සමඟ අත්වැල් බැඳගෙනයි.” යනුවෙන් මැග්ගුයිගන් මහතා පවසයි.

වකුගඩු රෝගීන් සඳහා මාස්පතා සායන

වකුගඩු රෝගය පැතිරුණු ප්‍රදේශවල වකුගඩු සායන පැවැත්වීම ද මෙහිදී සිදු කෙරේ. රජයේ ප්‍රජා ශාලාවක හෝ රාජ්‍ය ආයතන පරිශ්‍රයක පැවැත්වෙන එම සායනවලදී පුද්ගලයන්ගේ ලේ සහ මූත්‍රා පරීක්ෂා කර මූලික වකුගඩු පරීක්ෂණය සිදු කෙරේ. එහි දී ඔවුන්ට වකුගඩු රෝගී ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කර බලා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමු කිරීම සිදුවේ.

මේ අකාරයට මාසකට සායන 14ක් පමණ දිවා රාත්‍රී දෙකෙහි ක්‍රියාත්මක කෙරේ. පසුගිය ජූලි මාසයේ පැවැති මෙවැනි සායනකට පුද්ගලයෝ 400ක් පමණ සහභාගි වූහ. ඒ අතරින් දහයකට වැඩි පිරිසක් වකුගඩු රෝග ලක්ෂණ පෙන්නුම් කළහ. මේ වන විට වකුගඩු රෝග පරීක්ෂා කරන ජංගම වෛද්‍ය සායන මගින් පරික්ෂා කළ පුද්ගලයින් 20000ක් අතරින් දහසකට වැඩි ප්‍රමාණයක් වකුගඩු රෝගයට ගොදුරුව ඇතැයි හඳුනාගෙන තිබේ. සෑම විසිදෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝග ලක්ෂණ ඇති බවද මෙහිදී හෙළි විය.

“මීට අමතරව රට පුරා 40කට අධික ගැලවීමේ හමුදා මධ්‍යස්ථාන ඔස්සේ මුළු වර්ෂය පුරාම සමාජයේ ප්‍රජාවගේ ආත්මික, මානසික මෙන්ම ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සහාය නිරන්තරව ලබා දෙනවා. මේ සියලු දෙයින්ම අපි බලාපොරොත්තුවන්නේ 'වඩා හොඳ හෙටක් පුද්ගලයා වෙනුවෙන් නිර්මාණය 'කිරීමයි. එයට දායක වීමට ඔබටත් හැකියි. ගැලවීමේ හමුදාවට මේ වන විට වසර 134 ක් වෙනවා. එය ලංකාවේ මුලින්ම ආරම්භ කළේ රඹුක්කන හා කුරුණෑගල ප්‍රදේශවලයි. ඒ රටේ වසංගත රෝග පැතිර ගිය කාලවකවානුවකදීයි. ඒ ගම්වල අදටත් ගැලවීමේ හමුදාව කිව්වම ජනතාව විශාල ගෞරවයක් දක්වනවා. මේ හැමදෙනා වෙනුවෙන් යහපත් හෙටක් නිර්මාණය කරන්නට අපිත් එක්ක එකතුවෙන ලෙස ලංකාවේ ජනතාවගෙන් ව්‍යාපාරික ප්‍රජාව ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඔවුන් අපිට අත්වැලක් වෙනවා නම් මේ අසරණ ජනතාව වෙනුවෙන් වඩා හොඳ මෙහෙවරක් කරන්නට හෙට දවසේ අපිට හැකිවේවි” යනුවෙන් මැග්ගුයිගන් මහතා පවසයි. රජරට ප්‍රදේශයේ ප්‍රජා ළිං නිසා ගොවීන් බොහෝ දෙනකුට සෙත සැලසී තිබේ. ඔවුහු එම ළිංවලින් සිය පානීය ජල අවශ්‍යතා මෙන්ම කෘෂි අවශ්‍යතා ද සපුරා ගනිති.

එස් බී කුලසේකර වසර ගණනාවක සිට ගොවිතැනෙන් දිවි ගෙවන ගොවි මහතෙකි.

“මම තිරිඟු, වී, පලතුරු සහ එළවළු කුලියට ගත් ඉඩමක වගා කරනවා. මට ස්ථිර රැකියාවක් නැහැ. වගාකරලයි ජීවත් වන්නේ. අපේ වගා සඳහාත් උපදෙස් අපට නිබඳවම ලැබෙනවා. මම රට කජු වගාවෙන් හොඳ ආදායමක් ලබනවා. එදා ජීවත් වෙන්න ක්‍රමයක් නොතිබුණු අපට අද ගොවිතැනින් ජීවත් වෙන්න ක්‍රමයක් ලැබී තිබෙනවා. පිරිසුදු පානීය ජලය ලැබී තිබෙනවා. ඒ ගැන අත්තටම සතුටුයි. අපි වෙනුවෙන් ප්‍රජා ළිං ඉදිකර පානීය ජලය ලබාදීම ගැන ගැලවීමේ හමුදාවට ස්තූතිවන්ත වෙනවා.” පොලොන්නරුව නිශ්ශංකපුර පදිංචි සීලවතී මහත්මියගේ සැමියා වකුගඩු රෝගයෙන් ඔත්පලව සිටී. දියණියන් තිදෙනකු ද සමඟ ජීවන අරගලයට උරදිමට සිදුව ඇත්තේ ඇයටය.

“අපට පිරිසුදු ජලය බීමට ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා. විශාල වියදමක් දරා මෙලෙස ළිං ඉදිකිරීමට මුලික වීම ගැන ගැලවීමේ හමුදාවට ස්තූතිවෙනවා. දියණියන්ට උගන්වමින් සැමියාගේ බෙහෙත් සදහා වියදම් කිරීමට මුදල් වැයවෙනවා. අපට ජීවත්වීමට මාර්ගයක් පවා ගැලවීමේ හමුදාවෙන් සකසා දුන්නා.”යැයි සීලවතී මහත්මිය පවසන්නීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.