කළල් දියේ රඟ වින්දේ අපි එකට | සිළුමිණ

කළල් දියේ රඟ වින්දේ අපි එකට

දරුවන් 200 ක් පමණ එදා සම්පූර්ණයෙන් ම තම ජීවිතයේ කිසිමදාක නොවිඳි අපූරු වින්දනයක් ලැබූහ. ඔවුහු රිසි සේ සිත් සේ නටා ප්‍රීති වී මෙහි හෝරා ගණනාවක් කල් ගෙවූහ. ඒ සඳහා පරණ සුදු පාට ඇඳුම් සකස් කර ගැනීමට කල්තියා ම ආචාර්ය මණ්ඩලය දැනුම් දී තිබිණ. ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් ද ළමයින් සමඟ කළල් දියේ ප්‍රීතිවීම තවත් සුවිශේෂය. සිනා ඔල්වරසන් ප්‍රීති නාද දසත පැතිරිණ. මඩ කඩිත්තේ තිබෙන බෝල වර්ග ටයර් ආදිය මේ කෙළි සෙල්ලම් තව තවත් තීව්‍ර කරන්නට සමත් විය.

ලෝක ළමා දිනය මෙන් ම ලෝක වැඩිහිටි දිනය ද එක දිනයේ ම ගෙවී ගියේය. අපූර්ව සුන්දර ළමා ලෝකයේ අසිරිමත් දසුන් අතර දුක්මුසු කනගාටුදායක බොහෝ දේද අසන්නට ලැබිණ. එහෙත් ඇත්තම ළමා දිනයක් සමරන්නේ කවරදාදැයි හැම අවුරුද්දක ම මගේ සිතට නැඟුණේ දරුවන්ගේ සැබෑ නිදහස හා ක්‍රියාශීලිත්වය ස්ඵුට කරන දේ බොහෝ හිඟවූ නිසාය. එවන් අසිරිමත් අර්ථවත් ළමා ලෝකයක් ඉකුත් ළමා දිනයේ නිර්මාණය කළ හොරණ අධ්‍යාපන කලාපයේ ඉස්කෝලයක් ගැන ඔබට කියන්නට පෙර මට විශේෂ පූර්විකාවක් කියන්නට අවසර.

මීට දශක කීපයකට පෙර ප්‍රකට මානව හිතවාදී ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු වූ ධර්මසිරි ගමගේ මහතා ‘ටයිම්ස්’ මන්දිරයෙන් මහ මඟට ආවේ ලෝකළමා දිනයේ සුන්දරත්වයේ දසුන් ගැන ලියන්නටය. එතුමා කැමරා ශිල්පියකු සමඟ ඒ පිළිබඳ විමසුම් කරමින් ඔබ මොබ ගියේය. ළමා ලෝකයේ සොඳුරු දසුන් කිසිවක් ඔහුට නොපෙනිණ. ඒ වෙනුවට එතුමාට පෙනුණේ පාසල් යන වයසේ අවුරුදු 10 - 12 ක පොඩි කොලුවෙක් මහලු මිනිසෙක් සමඟ දර පටවාගත් කරත්තයක් තල්ලු කැරගෙන යන දර්ශනයකි. උඩුකය නිරුවත්ව සිටි මේ කොලුවාගේ ඉහින් කනින් දහදිය දෝර ගලා ගියේය. ඉපල් වැනි අත් දඬු ඒ කරත්තයට බැරිබර ගාතේ ම වැර දුන්නේය.

මේ, මොන කරුමයක්ද? සුන්දර දසුන් ලියලා වැඩක් නෑ. ලියනවා නම් ළමා දිනයේ මේක පින්තූරයක් දාලා ලියමු... ගමගේ මහතා ඡායාරූප ශිල්පියාට යෝජනා කළේය. එහෙත් පත්තරේ නම් අර කතාව නොගියේය.

මා ඔබට අද ලියන්නට වෙර දරන කතාව ගැන විමසුම් කරද්දී පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් තවත් ළමා ලෝකයේ කාලකණ්ණි කනගාටුදායක පුවතක් අසන්නට ලැබිණ. ඒ සිද්ධියට පාත්‍ර වූයේ පාසල් යන වයසේ අවුරුදු 9 - 10 ක කොලුපොඩ්ඩෙකි. පුරා වසරක් තිස්සේ හරිහැටි කෑමක් බීමක්වත් නැතිව නිතර වැඩිහිටියන්ගේ ගුටි පූජාවෙන් හෙම්බත්ව සිටි මේ කොලුවාගේ අත්පාවල පොලු පහරදීම්වලින් සිදුවූ තුවාල කීපයක් ද විය. මේ දරුවාට එම සැහැසිකම් කළේ තමන්ගේ ම වැඩිහිටි සහෝදරයාය. දරුවාගේ අම්මා තාත්තා දෙන්නා ම ජීවතුන් අතර නැත. මෙවර ලෝක ළමා දිනයේදි ගලහ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව දරුවා මුණ ගැහිණ. මේ සාහසික පහරදීමට එක කුස උපන් අයියා, අයියාගේ බිරිඳ, මස්සිනා හවුල් වී ඇති බව පොලිසිය කියයි.

එදා මෙන් ම අදත් ළමා ලෝකයේ සුන්දරකම සැමරෙන්නේ ඒ ආකාරයෙනි. තැන් තැන්වල දරුවනට වටිනා දෙයක් සිදුවුවත් එයත් අර්ථවත් යමක් බව අපට නොපෙනේ.

එහෙත් හොරණ අධ්‍යයන කලාපයේ ගුරුගොඩ පාසලේ මෙවර අපූරු ළමා ලෝකයක් නිර්මාණය වීය. ළමා ලෝකයට නිතැතින් ම උරුම වැලි, මැටි, මඩ, වතුර සහ (හෝලි වැනි හින්දි උත්සවවලට ගන්නා පාට වර්ග) සමඟ දරුවන්ට කෙළිදෙලෙන් නිදහසේ හෝරා ගණනාවක් ක්‍රියාකාරකම්වල යෙදෙන්නට මෙහිදී මහරු අවස්ථාවක් උදාවිය.

පාසල් පිටිය අපූරුවට සකස් කළ ගුරු භවතුන් සියලු දෙනා එහි කළල් පොකුණක්, කිරි මැටි වළක් හා පුලින තලාවක් නිර්මාණය කළේ ළමා දිනයට දින කීපයක් තිබෙද්දීය. එම උද්‍යානයට වතුර ලබාදීමට ජල කරාම කිහිපයක් ද වෙන ම පිළියෙල වී තිබිණ.

දරුවන් 200 ක් පමණ එදා සම්පූර්ණයෙන් ම තම ජීවිතයේ කිසිමදාක නොවිඳි අපූරු වින්දනයක් ලැබූහ. ඔවුහු රිසි සේ සිත් සේ නටා ප්‍රීති වී මෙහි හෝරා ගණනාවක් කල් ගෙවූහ. ඒ සඳහා පරණ සුදු පාට ඇඳුම් සකස් කර ගැනීමට කල්තියා ම ආචාර්ය මණ්ඩලය දැනුම් දී තිබිණ. ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් 15 ක් දෙනා ද ළමයින් සමඟ කළල් දියේ ප්‍රීතිවීම තවත් සුවිශේෂය. සිනා ඔල්වරසන් ප්‍රීති නාද දසත පැතිරිණ. මඩ කඩිත්තේ තිබෙන බෝල වර්ග ටයර් ආදිය මේ කෙළි සෙල්ලම් තව තවත් තීව්‍ර කරන්නට සමත් විය.

මේ විශේෂ අවස්ථාව සඳහා හෝලි කුඩු (පාටවර්ග) 05 ක් ගෙනැවිත් තිබුණේ මඩකලපුවෙනි. ඔවුහ් මේ හෝලි කුඩුවලින් එකිනෙකා ගසාගෙන ප්‍රීති වනවා පමණක් නොව ගුරුවරුනට ද ගැසූහ. ගුරුවරු සිසුනට ද හෝලි කුඩු ගැසූහ. එනිසා ගුරු ගෝල සමගිය සහජීවනය ද අලුත් විය.

සමහර තැනක ගුරුවරියක් දරුවනට සැඟවී සිටි ගුරුවරයකුට හෝලි කුඩු වතුරේ දිය කැර වීසි කළේය. එයින් ගුරුවරයාගේ ඇඳුම නිල්පාට හෝ කහපාට වීය. ගුරුවරයා ද එසේ ම කළේය. ඔල්වරසන් නැඟිණ.

ළමයින්ට ‘එපා’ කියන්නට කවුරුත් නොවූහ. ‘දැන් ඇති’ කියන්නට කවුරුත් නොවූහ. ඔවුහු සිත් සේ නටා ප්‍රීති වී ක්‍රීඩා පිටියේ කොණෙක තිබූ මේසයක කලින් පිළියෙල කැර තිබූ කිරිබත්, කෙසෙල්, කැවුම්, බිස්කට් හා වෙනත් රසකැවිලි ද භුක්ති වින්දහ. ළමා ලෝකයේ සැබෑ නිදහස හා රසවත් අත්දැකීම එදා මෙහි සැබෑවට ම නිරූපණය විය.

විදුහල්පති අජිත් ප්‍රේමකුමාර දක්ෂයෙකි. වැසෙන්නට ගිය පාසලක් මේ තත්ත්වයට ගෙන ඒමට එතුමා බොහෝ දර දිය ඇද්දේය. මේ සමඟ පළ කැරෙන ඡායාරූප ගත් අපේ වාර්තාකරු කුලතිලක මහතා ද ඊට ම සානුබල දුන්නේය.

“අද සමාජයේ ළමා දිනය අර්ථවත්ව පවත්වන්න කවුරුත් කල්පනා කරන්නේ නෑ, ඒ වෙලාවටත් සතුටු වන්නේ දරුවන් නොවෙයි. ඔවුනට අවශ්‍ය ලෝකය නිර්මාණය කැර දෙන්න මගේ ආචාර්ය මණ්ඩලය ගොඩාක් කැප වුණා. සිසු දරුවනුත් එහෙමයි. මා හිතන්නේ ‍‍හෝරා කීපයක් හරි හොඳම ළමා ලෝකයක් අපි නිර්මාණය කළා.”

මෙහි සුවිශේෂ අවස්ථාව වන්නේ හෝරා කීපයකට පසු ‍හොඳ ම මඩ දිනයේ මඩ කුමරා තේරීමය. ඔහු මඩ වළේ පිනුම් ගැසූ කරණම් ගැසූවෙකි. එතැන වෙනම සංගීත නාද රටා මැවීමට අංශයක් ද තිබුණේය. එනිසා කොලු කෙල්ලන්ගේ නැටුම තවත් සුන්දර විය.

බොහෝ දරුවන්ට එදා ඒ කළල් දියපිටිය මහා නිදහසේ තෝතැන්නක් වීය. ඔවුන්ගේ සිරුරින් එදා වෑහුණේ රොන් මඩ දහරා නොවේ. සතුටු කඳුළුය. ඔවුහු නිදහස් සිතිවිල්ලෙන් සැබෑ ලෙස ම ආස්වාදය වින්දහ.

අනේ! අපටත් සුන්දර ළමා ලෝකයක් ලැබුණා. ඒ හැම දෑසකම දැල්වුණේ ඒ දවස හැමදාක ම ඇතිවනවා නම්... යන බලාපොරොත්තුවය. එදින පල්ලියක් මඟින් පාලනය වන කොළඹ පාසලක ද මෙවැනි ක්‍රියාකාරකමක් සිදුවූ බව අසන්නට ලැබිණ. ඒ සංගීත නාද රටා අනුව දවස ම ශිෂ්‍ය ශිෂ්‍යාවනට නර්තනයේ යෙදීමට ඉඩදීමය. සමහර විදුහල්පතිනියන් ශිෂ්‍යාවනට එදින පාට ඇඳුම් ඇඳීමට අවසර දී තිබිණ. මේ සියලු දේ දරුවනගේ ආතතිය මැඬලන, ඔවුනගේ හිත් සැහැල්ලු කරන දේ බවත් පැහැදිලිය.

ඒ අතරින් මුලින් කී ගුරුගොඩ විදුහල තවත් උසස්ය. පස් අතර මොහොතක් හෝ ගැවසෙන්නට දරුවනට යම් ඉඩකඩක් ලැබීම වෛද්‍යවරුන් පවා අනුමත කරුණකි.

උපාලි සමරසිංහ 

ඡායාරූප - එච්. කුලතිලක
පෝරුවදණ්ඩ සමූහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.