සීනි අඩු වුණත් වැඩි වුණත් දියවැඩියාව | සිළුමිණ

සීනි අඩු වුණත් වැඩි වුණත් දියවැඩියාව

වර්තමානයේ පවතින ජීවන රටාවත් සමඟ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට දියවැඩියාව වැළදී තිබේ. අක්‍රමවත් ආහාර රටාවන් මෙන් ම නිසි ආකාරයෙන් ශරීරයෙන් මේදය දහනය නොවු විට ඇතිවන දියවැඩියා තත්ත්වයෙන් මුළු ජීවිත කාලය පුරා ම දුක් විදින පුද්ගලයින් ද අප අතර ජීවත් වේ. එසේ නම් මේ දියවැඩියා රෝගය පිළිබඳ මිත්‍යා මත, දියවැඩියා රෝගය හේතුවෙන් ඇතිවන අනෙකුත් රෝගාබාධ ,දිගු කාලයක් පුරා දියවැඩියා රෝගය තිබීමෙන් ඇතිවන රෝගවලින් මිදිමට සිදු කළ යුතු වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දියවැඩියා සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා විසින් පළ කරන ලද අදහස් මෙසේ ය.

වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය හට ගන්නේ කෙසේද?

ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවය නිසි ලෙස සිදු නොවීම නිසා හෝ ඉන්සියුලින් වලට ශරීරයේ සෛල ප්‍රතිරෝධයක් ඇති වීම නිසා දියවැඩියා රෝගය හට ගනී.

දියවැඩියා රෝගය නිට්ටාවටම සුව කළ හැකි ද?

Type 1 වර්ගයේ දියවැඩියාව දැනට සුව කළ හොහැකි ය. ලෝකයේ දියුණු රටවල මෙම දියවැඩියා වර්ගය අග්න්‍යාශ බද්ධ කිරීම් මගින් සුව කරනු ලබයි. එසේ නොමැතිව දියවැඩියා තත්ත්වය සුව කිරීමට අපහසු ය.

Type 2 වර්ගයේ දියවැඩියාව විශේෂයෙන් ඇතිවන්නේ ශරීරයේ ස්ථුලතාවය සමඟ ය. මුල් අවස්ථාවේ දී රෝගීන් තම රෝගය පිළිබඳව දැඩි අවධානයෙන් සිට, නිසි ලෙස ආහාර පාලනය, ව්‍යායම සිදු කළහොත් ඇතැම්විට වසර කිහිපයකට හෝ දියවැඩියාව යටපත් කළ හැකිය. දියවැඩියා තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුණහොත් නිට්ටාවට සුව කළ නොහැකි වේ. එවිට Type 2 වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම පමණක් සිදු කළ හැකි ය.

ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වු විට ඖෂධ අඩු කිරීම හෝ නැවැත්වීම සුදුසු ද?

මෙය කිසිසේත්ම සිදු නොකළ යුතු දෙයකි. ඖෂධ නිසා සීනි පාලනය වී තිබුණහොත් , ශරීරයේ තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු වනවානම් පමණක් ඖෂධ අඩු කළ හැකි ය.එසේ නොමැතිව රෝගීයෙකු හිතුමතේට ශරීරයේ සිනී ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට පත් වු විට ඖෂධ අඩු කිරීම හෝ නැවැත්වීම කළහොත් නැවත ශරීරයේ සීනි ප්‍රමාණය වැඩිවේ . එසේ සිදු වන්නේ අධික ග්ලුකොස් මට්ටම ඉන්සියුලීන් සෛලවලට විෂක් මෙන් කටයුතු කිරීමෙනි. ඒ හේතුවෙන් ඉන්සියුලීන් සෛල අකර්මණ්‍ය වේ. එම නිසා ශරීරයේ සිනී ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට පත් වු විට ඖෂධ අඩු කිරීම හෝ නැවැත්වීමට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

දියවැඩියාව සඳහා දෙනු ලබන Metformin ඖෂධය හේතුවෙන් වකුගඩුවලට හානි සිදුවනවා ද?

විශේෂයෙන් ම Metformin පිළිබඳ විශාල මිත්‍යා මතයක් පවතී . එය සම්පුර්ණයෙන් ම වැරදිසහගත කාරණාවකි.දියවැඩියාව සදහා ඹෟෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ ශරීරයේ සීනි පාලනය කිරීමට සහ දියවැඩියාව තිබීමෙන් ඇතිවන සංකූලතා අඩු කිරීමට ය. එලෙස දියවැඩියාව මගින් ඇතිවන සංකූලතා ලෙස වකුගඩු රෝග,ස්නායු ආබාධ,ඇස්වල ආබාධ,හෘදයාබාධ, සහ අංශභාගය හැදින්වීමට පුළුවන.

දියවැඩියාව සඳහා දෙනු ලබන Metformin ඖෂධය මගින් වකුගඩු රෝග අඩුවන බව Uk Prospective Diabetes Study ( UKPDS ) නමැති ලෝක පුජිත වෛද්‍ය අධ්‍යයනය තුළින් හෙළිදරව් වී තිබේ. පාලනයක් නොවී දීර්ඝ කාලයක් පුරා දියවැඩියා රෝගය තිබෙන රෝගියෙකුට අධික රුධිර පීඩනය වැළදී ඇත්නම් එම රෝගියාගේ වකුගඩු අක්‍රිය වීමට පුළුවන. එවැනි අවස්ථාවල වෛද්‍යවරුන් විසින් ‍දියවැඩියා රෝගීන්ට Metformin ඖෂධයෙහි මාත්‍රාව අඩු කර නවත්වනු ලැබේ.එසේ සිදු කරන්නේ Metformin මගින් වකුගඩු නරක් වීම නිසා නොව වකුගඩු හරහා ශරීරයෙන් ඉවත්වන Metformin ශරීරයේ එකතු වීම හේතුවෙන් අවශ්‍ය සාන්ද්‍රණයට වඩා ශරීරයේ එය එකතු වු විට එමගින් විවිධ ගැටලු තත්ත්වයන් ඇති විය හැකි නිසාවෙනි.බොහෝ දෙනෙකු මෙම කාරණාව වැරදියට අවබෝධ කරගෙන දියවැඩියාව සඳහා දෙනු ලබන Metformin ඖෂධය මගින් වකුගඩු රෝග ඇතිවන බව ප්‍රකාශ කරති .එම නිසා මෙම කාරණාව නිසි ලෙස අවබෝධ කර ගැනීමට වගබලා ගත යුතු ය.

දියවැඩියා රෝගීන්ට ඇතිවන වකුගඩු රෝග කලින් හදුනා ගන්නේ කෙසේ ද?

Microalbumin නමැති මුත්‍රා පරීක්ෂණය මඟින් දියවැඩියා රෝගීන්ට ඇතිවන වකුගඩු රෝග කලින් හදුනා ගත හැකි ය. මෙම පරීක්ෂණය කාලයකට සැරයක් දියවැඩියා රෝගීන් සිදු කළ යුතු ය. මෙමගින් මුත්‍රාවල ප්‍රෝටීන ඉතා කුඩා ප්‍රමාණයෙන් පිටවීම දැන හදුනා ගෙන වකුගඩුවලට තව දුරටත් හානි විම වළක්වා ගත හැක. එමෙන් ම වර්තමානයේ පවතින වෙනත් පරීක්ෂණ කිහිපයක් මඟින් ද දියවැඩියා රෝගීන්ට ඇතිවන වකුගඩු රෝග හදුනා ගැනීමට පුළුවන.

දියවැඩියා රෝගීන්ට කොළෙස්ට්‍රොරෝල් පාලනය කිරීම සදහා ලබා දෙන Statin ඹෟෂධය මගින් අක්මාවට හානි සිදුවනවා යැයි මතයක් පවතී . එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

Statin ඹෟෂධය වඩාත් ආරක්ෂාකාරී ඖෂධයකි. එම නිසා මෙම ඖෂධය මගින් අක්මාවට කිසිදු හානි වීමක් සිදු වන්නේ නැත. එසේ සිදු වන්නේ නම් ලක්ෂ ගණනකින් එක් කෙනෙකුට වීමට පුළුවන. මෙම Statin ඹෟෂධය ලෝකයේ හෘදයාබාධ වළක්වාලීම සදහා දෙනු ලබන අනර්ඝතම ඖෂධයක් එසේත් නැත්නම් ප්‍රබල අවියක් ලෙස ද හැදින්විය හැකි ය. දියවැඩියා රෝගින්ගෙන් 80% ක් මියයනු ලබන්නේ හෘදයාබාධ නිසාවෙනි.Statin ඹෟෂධය මගින් හෘදයාබාද හේතුවෙන් මිය යන ප්‍රමාණය අඩු කර ගත හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇත. එම නිසා දියවැඩියා රෝගීන් වෛද්‍යවරයෙකුගේ අනු දැනුම මත Statin ඹෟෂධය ලබා ගත්තාට කිසිදු වරදක් සිදු නොවේ.

දියවැඩියා රෝගීන්ට කොළෙස්ට්‍රරෝල් ඹෟෂධ ලබා ලබා දෙන්නේ කුමන හේතුවක් නිසා ද?

අනෙකුත් රෝගීන්ට සාපේක්ෂව දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය වැඩි ය. දියවැඩියා රෝගීන්ට ඇතිවන හෘදයාබාධ ඉතාමත් දරුණු ය. අඩු කොළෙස්ටරෝල් මට්ටමක දී මෙන් ම අඩු වයසකදී මෙම රෝගීන්ට හෘදයාබාධ ඇතිවේ. දියවැඩියා රෝගීන්ට හෘද වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි රාශියක එකවර අවහිරතාවන් ඇති වීමට පුළුවන. එම නිසා දියවැඩියා රෝගීන්ගේ කොළෙස්ටරෝල් මට්ටම අනෙකුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ කොළෙස්ටරෝල් මට්ටමට වඩා අඩු විය යුතු ය. වෛද්‍ය උපදෙස් නිසි පරිදි ලබා ගෙන දියවැඩියා රෝගීන් කොළෙස්ට්‍රරෝල් ඹෟෂධ ලබා ගැනීම වඩාත් යහපත් වේ.

දියවැඩියාව වැළදී ඇති පුද්ගලයින්ට ලිංගික දුර්වලතා ඇති විය හැකි ද?

කිසිදු පාලනයකින් තොරව දියවැඩියාව දීර්ඝ කාලයක් පුරා තිබීමෙන් දියවැඩියා රෝගීන්ගේ කකුල් හිරවැටීම් මෙන් ම ලිංගෙන්ද්‍රයන්ට සපයන ස්නායුවල අඩපණවීම් සිදු වීමට පුළුවන. එවිට පුරුෂයින් ලිංගික බෙලහීනතාවයට ගොදුරු වීමට සිදුවේ.ඊට අමතරව හෘදයෙහි ඇතිවනවා සේ ලේ නහරවල අවහිරතා ඇති වී රුධිරයෙහි ලේ සැපයීම අඩු වීම නිසාත් ලිංගික බෙලහීනතාවය ඇති වීමට පුළුවන. මෙම ලිංගික බෙලහීනතාවය වළක්වා ගැනීම සඳහා නුතන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබේ. මෙම රෝගින් බියක් ලැජ්ජාවක් නැතිව මුල් කාලයේදීම වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් ය. වර්තමානයේ දී දියවැඩියාව වැළදී ඇති පුද්ගලයින්ට ලිංගික දුර්වලතාවයන් සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම තිබේ.

ගැහැණු පිරිමි භේදයකින් තොරව දියවැඩියා රෝගීන්ට ලිංගේන්ද්‍රය ආශ්‍රිත ආසාදන ඇතිවන්නේ කෙසේ ද?

ශරීරයේ සිනී ම්ට්මට වැඩි පුර තිබෙන විට මුත්‍රා සමඟ සීනි පිටවීම සිදුවේ. එවිට ලිංගේන්ද්‍රය අවට ග්ලුකොස් තැවරීමෙන් දිලිර ආසාදන ඇති වේ. මෙය ගැහැණු පිරිමි භේදයකින් තොරව සිදු වන දෙයකි. දියවැඩියා රෝගය වැළදී නොමැති රෝගියෙකුට මෙලෙස තම ලිංගෙන්ද්‍රය අවට දිලීර අසාදන ඇති වී තිබේ නම් එය දියවැඩියාව හට ගැනීමේ පෙර නිමිත්තක් වීමට පුළුවන.

HBA1C නමැති පරීක්ෂණය දියවැඩියා රෝගියෙකුට වැදගත් වන්නේ ඇයි?

අපේ රුධිරයේ තිබෙන හිමොග්ලොබින් අණු යම් ප්‍රමාණයක ප්‍රතිශතයක් ග්ලුකොස් සමඟ බැ‍ඳේ.එම අණු බැඳෙන ප්‍රතිශතය සමානුපාතික වන්නේ රුධිරයේ පවතින ග්ලුකොස් ප්‍රමාණයට.රුධිරයේ ග්ලුකොස් වැඩි පුද්ගලයින්ගේ HBA1C අගය වැඩි ය. එම නිසා HBA1C ප්‍රතිශතය දැන් ග්ලුකොස් මට්ටම පාලනය කිරීමට භාවිත කරන ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පත් ව ඇත. එයට හේතුව වන්නේ හිමොග්ලොබින් අණු මාස තුනක් පමණ කාලයක් ජීවත් වන නිසා ය.

නිරාහාර රුධිර පරීක්ෂණ මඟින් බැලීමට හැකි වන්නේ ඒ අවස්ථාවේ රුධිරයේ සීනි ප්‍රමාණය පමණි. එමෙන් ම එමගින් පුද්ගලයෙකුගේ පසුගිය මාස දෙක තුනෙහි රුධිරයේ සීනී ප්‍රමාණය යහපත් මට්ටමකින් පැවතියේ ද? නැද්ද යන්න සොයා ගත නොහැකි වේ. HBA1C අගයෙන් මාස තුනක සාමානය සමස්ථ පාලනය පෙන්නුම් කරනු ලැබේ. මෙම HBA1C පරීක්ෂණය දියවැඩියා රෝගීන් මාස 03 කට වරක් සිදු කළයුතු ප්‍රධානතම පරීක්ෂණයකි. .

දියවැඩියා රෝගීන්ට ඇතිවන Hypoglycemia තත්ත්වය පිළිබඳව පහදා දෙන්න ?

රුධිරයේ ග්ලුකොස් මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු වු විට Hypoglycemia තත්ත්වය ඇති වේ. ග්ලුකොස් මට්ටම 70 වට වඩා අඩු වු විට Hypoglycemia රෝග ලක්ෂණ ඇති වන්නට පටන් ගනු ලබයි.ප්‍රථමයෙන්ම බඩගින්නක්, කලන්ත ගතියක් ඇති විය හැකි ය. ඉන් අනතුරුව තව දුරටත් සීනි ප්‍රමාණය අඩු වු විට ශරීරයට දහඩිය දැමීම,නිදිබරගතිය වැනි තත්ත්වයන් ඇති වීමට පුළුවන.ඉන් අනතුරුව සිහිමඳ ගතිය,වෙව්ලීම,කෝමා තත්ත්වය මෙන් ම අවසානයේ දී වලිප්පුව ඇති වීමට පුළුවන. මෙසේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වීම වළක්වා ගැනීම සඳහා තිබෙන සීනී ප්‍රමාණය පරීක්ෂා කර බලා ශරීරයට ඉක්මනින් සීනි අවශෝෂණය කරන සරළ සිනී, ග්ලුකොස් හෝ බිස්කට් රෝගියාට ලබා දේ .

දියවැඩියා රෝගීන්ට ඇතිවන Hypoglycemia තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්සියුලින් හෝ සිනී පාලනය කරන ඖෂධ ලබා ගැනීම, ඖෂධවලට සරිලන ප්‍රමාණයට වඩා ආහාර අඩු කිරීම හෝ ආහාර නොගෙන සිටීම සහ අසිමිත ලෙස රෝගියෙකු ව්‍යායාම්වල නිරත වීමය.

දියවැඩියාව තිබෙන රෝගීන් වර්තමානයේ දී බහුල වශයෙන් කාමරංකා ආහාරයට ගැනීමට පුරුදුව සිටිනවා. එය සුදුසු දෙයක් ද?

කාමරංකා පළතුර ශ්‍රී ලාංකිකයින් කාලයක් තිස්සේම ආහාරයට ගත් පළතුරු වර්ගයකි. මෑතක සිට දියවැඩියා රෝගීන් අතර කාමරංකා පළතුර භාවිතයට ගැනීම වැඩි වී තිබේ. කාමරංකා අධිකව අහාරයට ගත් එසේත් නැත්නම් විශේෂයෙන් ම කාමරංකා පානයක් වශයෙන් භාවිතයට ගත් කිහිප දෙනෙක්ට වකුගඩු අක්‍රීය වීම දක්නට ලැබී ඇති බව වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

එම නිසා මේ සම්බන්ධව නිවැරදි පිළිතුරක් ලැබෙන තුරු දියවැඩියා රෝගීන්ට කාමරංකා ආහාරයට ගැනීම පිළිබඳව පිළිතුරක් දීමට අපහසු ය.එම නිසා විශේෂයෙන් දියවැඩියා රෝගීන් අධිකව කාමරංකා ආහාරයට ගැනීම සහ යුෂ වශයෙන් භාවිතා කිරීමේන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය වේ.

දියවැඩියා රෝගීයෙකුට ආහාරයට ගත හැකි පළතුරු වර්ග මොනවා ද?

අලිපේර, දිවුල්, නමිනම්, වෙරළු, නෙල්ලි යන පළතුරු සාමාන්‍ය පරිදි ආ‍හාරයට ගත හැක. එහෙත් පේර ආහාරයට ගත යුත්තේ දවසට පේර ගෙඩියෙන් භාගයක් පමණි. ග්‍රීන් ඇපල් ද ආහාරයට ගත යුත්තේ දවසට ඇපල් ගෙඩියෙන් භාගයක් පමණි.

ලබන සතියේ ගැස්ට්‍රයිටීස් රෝගයට අදාළ ගැටලුවලට පිළිතුරු බලාපොරොත්තුවන්න

මදාරා මුදලිගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.