සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා යාන්ත්‍රිකකරණයට යොමු වෙමු | සිළුමිණ

සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා යාන්ත්‍රිකකරණයට යොමු වෙමු

ස්වයංක්‍රීයව සත්ත්ව පාලන ඒකක සදහා ජල සම්පාදනය, ස්වයංක්‍රීයව අපද්‍රව්‍ය ඉවත් කිරීම, සත්ත්ව ආහාර සුරක්ෂිත කිරීම වැඩි දියුණු කිරීම සමඟින් යාන්ත්‍රික නිෂ්පාදන උපකරණයන්හි නිෂ්පාදිත පෙනුම හා ගුණාත්මක භාවය වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් ඌරු ගොවිපළ යන්ත්‍රණය උදෙසා මේද තීරණය කිරීම, ගර්භණීභාවය නිර්ණය කිරීම සහ ඌරන් සදහා ස්වයංක්‍රීය පෝෂණ උපකරණ, පරපෝෂිතයන් නිර්ණය මෙන්ම සත්ත්ව ඝාතනය ක්‍රමවත්කර තිබේ.

කෘෂිකර්මාන්තය හා බැඳුණු වැදගත් සුසංයෝගි අංශයකි, සත්ත්ව පාලනය. එමෙන්ම ජාතික ආර්ථිකයේ සංවර්ධනය උදෙසා වැදගත් කාර්යභාරයක්ද සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉටු කරයි. ප්‍රතිශතයක් ලෙස සත්ත්ව නිෂ්පාදිතයන් මෙරට ජනතාවගේ ජීවන දර්ශකයේ මිනුම් අතරට ගත හැකි මට්ටමේ වැදගත් නිර්ණාකයක් විය හැකිය. වර්තමානය වන විට තෘණ හා රනිල වගාබිම් දියුණු කිරීම හා තෘණ හා රනිල වගාවන් නඩත්තු කිරීමේ ශිල්පීය දැනුම බෙදාදීම, උසස් ආරයේ කිරි ගවයන් ආනයනය කර බෙදාහැරීම හා දේශීයව බිහි කිරීම, ප්‍රවර්ධනය කිරීම, දියර කිරි එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත කිරි අස්වනු යොමු කිරීමට කිරි ගොවීන් පෙලඹවීම හා කුකුළු පාලනය, බැටළු පාලනය, සූකර පාලනය සහ එළු පාලනය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වෙනස්කම් රැසක් මෙරට ක්‍රියාත්මක වීම දැකිය හැකිය. මේ උදෙසා 1978 සැප්තැම්බර් මස ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යට‍තේ ස්ථාපිත කරන ලද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයේදී පශු සම්පත් අංශයේ වැදගත්කම වටහාගෙන කටයුතු කිරීම සාධනීය මට්ටමක පවතී. පශු වෛද්‍ය වෘත්තිකයන් විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල ඔස්සේ සත්ත්ව සෞඛ්‍ය, සත්ත්ව අභිජනන විශේෂඥ දැනුම හා පසු විපරම් සේවා සැපයීම, පශු පර්යේෂණ කිරීම, මානව සම්පත් සංවර්ධනය උදෙසා පුහුණු කටයුතු කිරීම, පශු සම්පත් ප්‍රවර්ධන උදෙසා සැලැසුම් සැකසීම හා ආර්ථික තාක්ෂණික අංශ ඔස්සේ මේ ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරයි.

එසේ වුවද මෙරට තුළ සත්ත්ව පාලන කටයුතු සඳහා අවැසි මිනිස් ශ්‍රම බළකාය වෙනත් සේවා වෙත විතැන් වෙමින් පවතින බව නොරහසකි. සත්ත්ව පාලන ක්‍රියාකාරිත්වය හා සේවා සඳහා නිරත වීමට නූතන පරපුර දක්වන අඩු ඇල්ම හා අඩු කැමැත්ත එයට සුවිශේෂ හේතු කාරකයකි. එසේම එකී කර්මාන්තය උදෙසා උපයෝගි කරගත හැකි භුමි ප්‍රමාණයක සීමාකාරි සාධකයක් බවට පත් වෙමින් පැවතීම තවත් හේතුවකි. කාලගුණික විපර්යාස හමුවේ තෘණ වගාව හා ජලය සපයාගැනීමට ඇති අපහසුතාව වියළි කළාපය තුළ උද්ගත වන තවත් ගැටලුවකි. වියළි කාලගුණික තත්ත්ව හමුවේ තෘණ බිම් ගිනි තැබීම හා ගිනි ගැනීම කඳුකර පළාත්වල දැකිය හැකි ප්‍රවණතාවකි. එසේම සත්ත්ව පාලනයේ නිරත වන පවුල් කුටුම්බ කෙරෙහි බහුතර ජනසමාජය දක්වන ආකල්පමය අවතක්සේරුව වැනි හේතුකාරක අවම කරගැනීම සදහා සුදුසු විකල්ප ක්‍රමවේද සොයාගත යුතුව ඇත. සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ මිනිසා විසින් ඉටු කරගන්නා බොහෝ සේවා සපුරාගැනීම සදහා යාන්ත්‍රික උපකරණ උචිත ආකාරයෙන් ආදේශ කරගැනීමට යොමු වීම ඒ සඳහා පිළියමක් බව පෙන්වා දිය හැකිය.

එමෙන්ම දේශීය වශයෙන් නව උපකරණ නිපදවීම උදෙසා පර්යේෂණ සහ සංවර්ධනය සමඟින් මන්දගාමී වීමත්, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ සත්ත්ව පාලන ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා සඳහා යෝග්‍ය වූ මෙවලම් හා උපකරණ තෝරාගැනීමට ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තා දේශීය විවෘත වෙළෙඳපොළ තුළ නොවීමත් දැකිය හැකි ද්විතීයික ගැටලු කිහිපයකි. කෙසේ වුවද සත්ත්ව පාලන ක්ෂේත්‍ර යාන්ත්‍රිකකරණය කිරීම සඳහා ගත හැකි වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දිය හැකිය. කිරි ගවයන්, එළුවන් හා බැටළුවන් උදෙසා ආහාර සැපයීම පිණිස තාක්ෂණයෙන් උසස් යන්ත්‍රෝපකරණ උපයෝගී කරගත හැකිය. ඒ අනුව සත්ත්ව ආහාර පහසුවෙන් නිෂ්පාදනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් අපට යොමු කළ හැකිය. ආනයනික හා දේශීයව නිපදවන සමහර සුළු පරිමාණ සත්ත්ව ආහාර සැකසීමේ හා සත්ත්ව නිෂ්පාදන සැකසීමේ යන්ත්‍රයන්හි තාක්ෂණික මට්ටම අඩු වීම, ක්‍රියාකාරී කොටස්හි දුර්වල විශ්වසනීයත්වය හා කෙටි ආයු කාලය තෘතීයික වශයෙන් දැකිය හැකි ගැටලු වේ. එහෙයින් දේශීය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ සත්ත්ව ආහාර සැකසුම් හා සත්ත්ව නිෂ්පාදන සැකසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයන්ගේ සේවා වැඩිදියුණු කිරීම, තාක්ෂණික මට්ටමින් අඩු යාන්ත්‍රික උපකරණ දියුණු කිරීම උදෙසා කොටස් සම්මතකරණයක් හඳුන්වාදීම කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වේ.

එහෙයින් එළු හා බැටළු පාලනයේදී යාන්ත්‍රික කිරීමේ පළමු පියවර ලෙස අප වටහාගත යුතු වන්නේ එම සතුන්ගේ පෝෂක සැකසුම් යාන්ත්‍රිකකරණයයි. පහත සඳහන් පිරිසැකසුම් තාක්ෂණය මඟින් පෝෂක පැළෑටි නිෂ්පාදනය කරගත හැකි වේ. උසස් වර්ගයේ පෝෂණ පැළෑටි සැකසීම ආහාර පිරිවැය අඩු කළ හැකි අතර ශ්‍රම ඵලදායිතාව වැඩිදියුණු වීමටද හේතුකාරක වේ.

ගවයන්, කුකුළන්, ඌරන් හා බැටළුවන් පෝෂණයට පමණක් නොව තාරාවන්, පාත්තයන් සහ මිරිදිය මසුන් ආදිය උදෙසා ජලජ පෝෂණ සැකසීම සඳහා සුළු පරිමාණ යන්ත්‍රණ භාවිත කළ හැකිය. පෝෂක මිශ්‍ර කරන යන්ත්‍ර හා ස්වයංක්‍රීය කිරුම් යන්ත්‍ර සහ ඇසුරුම් යන්ත්‍ර ඇතුළුව ඉහළ පිරිවිතර යටතේ නිපදවූ කුඩා උපකරණ උපයෝගී කර ගත හැකිය. එමෙන්ම කිකිළි බිත්තර එකතු කිරීමට හැකි යන්ත්‍රණය සදහා කුකුළු කොටු එයට උචිත පරිදි සැකසිය යුතු වේ. එසේම බිත්තර වර්ගීකරණයට, පිරිසුදු කිරීමට හා ඇසුරුම්කරණ සඳහාද යාන්ත්‍රිකව ක්‍රියා කරන සරල උපකරණ ආදේශ කරගැනීමට හැකියාව ඇත. ඌරන් ඇතිදැඩි කිරීම සදහා සාම්ප්‍රදායික නිවාස වෙනුවට ක්රේකට් භාවිතය සුරක්ෂිත හා සුවපහසු පරිසරයක් සපයන අතර එකී සතුන්ගේ උපත සහ බෝ වීම පහසු කරයි. එසේම වැදගත් වන්නේ ඌරු පැටවුන්ගේ පැවැත්ම වැඩිදියුණු කිරීමයි. මෙම නිර්මාණ සැලසුම් කෘත්‍රිම සිංචනය සඳහාද පහසු වන අතර, ඌරන් හට සිදු විය හැකි සීරීම්වලින්ද වැළකේ. එසේම පොලිප්‍රොපිලීන් ආවරණ භාවිත කර නිපදවන නව ප්ලාස්ටික් ස්ලැට් භාවිත කිරීමෙන් බිම් සැලසුම අනුව කුකුළු ඒකකයක ධාරිතාව වැඩි කරගැනීමට හැකි අතර, පිරිසුදු කිරීමටද පහසු වේ. වර්තමානයේ ඌරන්, එළුවන්, බැටළුවන්, කුකුළන් සහ තාරාවන් ලැගීම සඳහා සියලු ආකාරයේ ප්ලාස්ටික් ලෑලි තට්ටු (Slats) නිපදවනු ලැබේ. ගොවිපළ හිමියන්ගේ අවශ්‍යතා අනුව විවිධ ප්‍රමාණවලින් ඒවා මිල දී ගත හැකිය. එසේම අතින් සත්ත්ව මලපහ ඉවත් කිරීම වෙනුවට පශු සම්පත් ආශ්‍රිත කටයුතු සඳහා වැඩිදියුණු කළ යන්ත්‍රානුසාරයෙන් ක්‍රමානුකූලව එම කටයුතු පහසුවෙන් ඉටු කරගත හැකිය.

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගෙන් 90%කට පමණ හිමිව ඇත්තේ ගවයින් 10ටත් අඩු ප්‍රමාණයක් වන අතර, මෙම ගොවීන්ගෙන් බොහොමයක් සිය ගව මඩු සදහා විදුලි බලය සපයා ගැනීමක් නොකරති. එසේම එම ගොවීන් විශාල සංඛ්‍යාවක් ගවයන්ගේ කිරි දෙවීම සෙමෙන් අතින් කරති. කිරි දෙවීම ඉතා ඉක්මන් විය යුතු ක්‍රියාවකි. එහෙයින් එම ක්‍රියාවලිය සඳහා භාවිත කිරීමට ඔබ මොබ රැගෙන යා හැකි සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන කුඩා ප්‍රමාණයේ කිරි දෙවීමේ යන්ත්‍ර (Portable Milking Machines) දැන් නිපදවා ඇත. එසේම විවිධ වර්ගයේ කිරි නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා යාන්ත්‍රික පිරවුම් මලු යන්ත්‍ර (Pouch Packing Machines) භාවිත කළ හැකිය. මේ උදෙසා සුළු පරිමාණයේ ගෘහස්ථ යන්ත්‍ර පහසුවෙන් භාවිත කළ හැකි අතර, දියර කිරි නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් සුළු පරිමාණ ව්‍යවසායකයකු ලෙස කිරි ආශ්‍රිත ද්විතීයික නිෂ්පාදන කෙරෙහි යොමු වී කිරි ගොවීන් හට අතිරේක ආදායමක් ඒ ඇසුරෙන් පහසුවෙන් උපයාගත හැකි වේ.

විශේෂයෙන්ම සුළු පරිමාණයේ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් වෙතින් අමුද්‍රව්‍යයක (ධාන්‍ය හා ඛනිජ ද්‍රව්‍ය) මිශ්‍ර කිරීමේ අනුපාතය, අපද්‍රව්‍ය බැහැරලීම, අතිරික්තයන් අපහරණය කිරීම පිළිබදව බරපතළ අනාරක්ෂිත බවක් දක්නට ලැබේ. බෙදාහරින හා ගබඩා කරන සත්ත්ව ආහාරවල සුරක්ෂිතතාව අඩු වීම, ගොවිපළ සතුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවේ වැදගත්කම හා රටේ ජනතාවගේ සෞඛ්‍යය සමඟ සම්බන්ධතා කළමනාකරණය, සත්ත්ව ආහාර පාලනය කිරීමේ පද්ධතිය ස්ථාපිත කිරීම සහ වැඩිදියුණු කිරීම, ආහාර ප්‍රමිති හා පරීක්ෂණ ක්‍රම සැකසීම හා වැඩිදියුණු කිරීම හා සහතික කිරීම සඳහා තහනම් ඖෂධ යොදාගැනීම් පිළිබද පරීක්ෂණ මෙහෙයවීම කාලෝචිත වනු ඇත. එබැවින් උසස් තාක්ෂණය සහිතව නිපදවූ විදේශීය උපකරණවලින් මෙන්ම දේශීයව නිෂ්පාදනය කළහැකි යාන්ත්‍රික මෙවලම් උපයෝගී කරගෙන දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ඉහළ නිෂ්පාදනයක් ළඟා කරගැනීමට අප ක්‍රියාත්මක විය යුතු වේ.

එසේම මේ උදෙසා උසස් තාක්ෂණික ශිල්පීය ක්‍රම සහිත යන්ත්‍ර නිපදවීම සහ ස්වයංක්‍රීය පාලකයන්හි හැකියා පහසු කිරීම සහ දුර්වල නවෝත්පාදනයන් වෙතින් බැහැරව නව නිෂ්පාදන සංවර්ධනය කිරීම කෙරෙහි දේශීය ව්‍යවසායකයන් සහ පර්යේෂණ ඒකක සදහා පහසුකම් ලබා දීම හා අඩු පොලී අනුපාත යටතේ මූල්‍ය ආධාර සැපයීම සදහා ක්‍රමවත් ඉලක්කගත වැඩපිළිවෙළක් සැකසීම ජාතික අවශ්‍යතාවක් බවට පත් විය යුතුයි. මහා පරිමාණ ව්‍යවසායකයන් කිහිප දෙනකු අතර පවතින සත්ත්ව ආහාර නිෂ්පාදන හා සත්ත්ව නිෂ්පාදන සැකසුම් කර්මාන්තය හේතුවෙන් ඒ සදහා වැය කළ යුතු මිල ගණන් උච්චාවචනය වීම මත සත්ත්ව පාලනයෙහි නිරත ගොවීන් මෙන්ම එකී නිෂ්පාදන මිලදීගන්නා පාරිභෝගිකයන් අඩු ගුණාත්මක තත්වයන් යුතු නිෂ්පාදන දේශීය වෙළඳපොළ වෙතින් මිල දී ගැනීමට ප්‍රවේශ වීම නොවැළැක්විය හැකිය. මෙකී හේතුකාරක මත සත්ත්ව පාලන කටයුතු බහුලව සිදු කරන ග්‍රාමීය පෙදෙස්හි එම කර්මාන්තයේ ද්විතීයික අංශයේ ප්‍රසාරණය වීම හීන වෙමින් පවතී.

අප රටට වඩාත් ගළපාගත හැකි සත්ත්ව පාලනයට විශාල නැඹුරුවක් ඇති රටකි චීනය. වර්තමානයේ එරට සත්ත්ව පාලන ක්ෂේත්‍රයට අදාළ යන්ත්‍රෝපකරණ රැසක් ඉතා විශාල පරිමාවකින් නිෂ්පාදනය කරනු දැකිය හැකිය. එහෙත් වසර 1990කට පෙර තෘණ අස්වැන්න නෙළීමේ යන්ත්‍රයන්හි දුර්වල විශ්වසනීයත්වය, පිරිවැය අඩු කරගත නොහැකි වීම, පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම. රෝපණයෙන් පසු තෘණ සහ ඇල්ෆා ඇල්ෆා වගාවට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සැපයීම උදෙසා යන්ත්‍ර භාවිතය අවම වීම, විජලන උපකරණ, කිරි දෙවීමේ උපකරණ නිෂ්පාදන තත්ත්වයන් එරටේ පැවතියේ අඩු දියුණු මට්ටමකය. එසේ වුවද මෑත වර්ෂවලදී චීනයේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයට අදාළ වන යන්ත්‍රෝපකරණ නිපැයුම පුළුල් ලෙස වර්ධනය වී ඇති හෙයින් එකී නිෂ්පාදන උදෙසා තාක්ෂණ විද්‍යාත්මක සංවර්ධන උපායමාර්ග සකස් කිරීමට චීන රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව වර්තමානයේ චීනයේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයන්හි තාක්ෂණික අන්තර්ගතයන් අන්තර් ජාතික මට්ටමේ සමගාමී ප්‍රමිතිකරණයකට රැගෙනවිත් ඇත.

1990 වසරේ මැද භාගයේ සිට උසස් මට්ටමට ළඟා වී ඇති චීනයේ සත්ත්ව ආහාර නිෂ්පාදන තාක්ෂණ උපකරණ රැසකි. එසේම ඒ ආශ්‍රිත වෙනත් නවීන තාක්ෂණය ක්‍රමයන් ප්‍රවර්ධනයකට ලක් කර ඇත. ආහාර සැකසීමේ යන්ත්‍රවලප ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමිතිගත වූ යන්ත්‍රණයක් ප්‍රවර්ධනය කර තිබේ. කෙසේ වෙතත් චීන නිෂ්පාදකයන් විසින් සත්ත්ව ආහාර කර්මාන්තයේ සංවර්ධන ක්‍රියාවලිය පැහැදිලිව අවබෝධ කරගෙන ඇත. ඒ අනුව සත්ත්ව ආහාර සැකසුම් හා සත්ත්ව නිෂ්පාදන සැකසුම් යන්ත්‍රණ සඳහා අවශ්‍ය වන විවිධාකාර අවශ්‍යතාවන් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇත. වෙළෙඳපොළ ඉල්ලුම සපුරා ලීම, ස්ථාවර කාර්යසාධනයක් පෙන්වීම, සරල ක්‍රියාකාරීත්වය, අඩු බලශක්ති පරිභෝජනය, ගොවීන්ට භාවිත කිරීම සඳහා තනි හෝ සරල සහ නම්‍යශීලී සැකසුම් උපකරණ සුළු පරිමාණයේ නිෂ්පාදන කට්ටල සඳහා අවශ්‍ය වන ඉහළ කාර්යක්ෂමතාව, විශාල පරිමාණයේ යන්ත්‍ර පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයට රැගෙන ඒම, ගොවිපළ සත්ත්ව ආහාර නිෂ්පාදන මෝල් භාවිතය සමඟින් විශාල, මධ්‍යම හා කුඩා පරිමාණයේ උපකරණ සඳහා වෘත්තීය දැනුම ප්‍රචලිත කිරීම ප්‍රධාන වශයෙන් දැකිය හැකිය.

ස්වයංක්‍රීයව සත්ත්ව පාලන ඒකක සදහා ජල සම්පාදනය, ස්වයංක්‍රීයව අපද්‍රව්‍ය ඉවත් කිරීම, සත්ත්ව ආහාර සුරක්ෂිත කිරීම වැඩි දියුණු කිරීම සමඟින් යාන්ත්‍රික නිෂ්පාදන උපකරණයන්හි නිෂ්පාදිත පෙනුම හා ගුණාත්මක භාවය වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් ඌරු ගොවිපළ යන්ත්‍රණය උදෙසා මේද තීරණය කිරීම, ගර්භණීභාවය නිර්ණය කිරීම සහ ඌරන් සදහා ස්වයංක්‍රීය පෝෂණ උපකරණ, පරපෝෂිතයන් නිර්ණය මෙන්ම සත්ත්ව ඝාතනය ක්‍රමවත්කර තිබේ. පශු සම්පත ආශ්‍රිතව කිරි දෙවීමේ උපකරණ සදහා පරිගණකගත කළමනාකරණ පද්ධති භාවිත කිරීම, කිරි ආහාර නිපැයුම් සදහා වූ නව්‍යම ආම්පන්න උපයෝගී කරගැනීම, ස්වයංක්‍රීය ආහාර සැපයුම් උපකරණ භාවිත කිරීම සහ ගවයින්ගේ උදාසීන ප්‍රතිචාර ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධති භාවිතය වැඩිවෙමින් පවතී.

වර්තමානයේ කුකුළු පාලනය ආශ්‍රිතව චීනය මූලික වශයෙන් බිත්තර එකතු කිරීම, වර්ගීකරණය, පරීක්ෂා කිරීම, පිරිසුදු කිරීම, විෂබීජ නාශක කටයුතු, ශ්‍රේණිගත කිරීම පහසුකම්, මෙන්ම හොඳ හා නරක් වූ බිත්තර නිෂ්පාදිත නිශ්චය කර ගැනීමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු වීම උදෙසා පියවර රැසක් තබා ඇත. එසේම ලෝක වෙ‍ළෙඳ සංවිධානයට චීනය එක් වී තිබේ. එනයින් බලන කල මෙරට පශු සම්පත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව වඩාත් තීව්‍රර කරනුයේ නව සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් ඔස්සේ අපට ගමන් කළ යුතු වන හෙයිනි. එක් එක් සත්ත්ව කාණ්ඩයන්ට අදාළව නිෂ්පාදනයේ නිරත මෙරට ගොවියාගේ ආදායම පිරිවැයේ වියදමට වඩා බෙහෙවින් අඩු හෝ සමාන මට්ටමක පවතී. ගම්බද ප්‍රදේශවල ගොවිපළ සතුන් ආශ්‍රිතව පශු ශ්‍රමිතීන් පහළ මට්ටමක බව විද්‍යමාන වේ. පාරිභෝගිකයන් මස්, බිත්තර, කිරි නිෂ්පාදන මිල දී ගැනීමේ ප්‍රධාන නිර්ණායක වන්නේ දෘශ්‍ය මිල මට්ටම යි. එසේම ආගමික චාරිත්‍ර-වාරිත්‍ර මෙම කර්මාන්තය කෙරෙහි සීමාබාධක ඉස්මතු කිරීමද දැකිය හැකිය. මෙවැනි බොහෝ සංකීර්ණ ගැටලු මෙම ක්ෂේත්‍රය වෙළාගෙන ඇත.

මේ වනවිට චීනයේ දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වඩ-වඩාත් ඒකාබද්ධ වී ඇති අතර, සත්ත්ව නිෂ්පාදනවල ගුණාත්මය රැකගැනීම සදහා පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන් වෙත එරට රජය පූර්ණ අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව මානව සෞඛ්‍ය ආරක්ෂිත ගැටලු අවම කරගැනීම සඳහා මෙන්ම පරිසර දූෂණය පිළිබඳ සත්ත්ව නිෂ්පාදන හා බැහැර ලන අපද්‍රව්‍ය ප්‍රශ්නය පුළුල්ව අවධානයට ලක් කර ඇත. එබැවින් 21 වන සියවසේ චීනයේ සත්ත්ව පශු සම්පත් සංවර්ධනය, තිරසර පැවැත්ම සඳහා ගොවීන් දැඩි නිෂ්පාදන ආකෘතියකට යොමු කිරීම සඳහා මඟපෙන්වීමක් සිදු කර තිබේ.

පශු නිෂ්පාදන වර්ග සැකසීමේ උපකරණ, සුළු පරිමාණ සත්ත්ව ආහාර සැකසීම හා නිෂ්පාදනය, තෘණ වගාව සදහා උපකරණ පුළුල් පරාසයකින් හඳුන්වාදීමෙන් අනාගතයේ පශු සම්පත් ආශ්‍රිත පවුල් සුළු පරිමාණ ව්‍යවසායකයන් බවට පත් වනු ඇත. එහෙයින් සුළු පරිමාණයේ පශු සම්පත් හා කුකුළු ගොවිපළ සහ පාරිසරික කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වඩාත් උචිත යන්ත්‍රෝපකරණ වැඩි වශයෙන් අවශ්‍ය කෙරේ. තවදුරටත් එකී උපකරණ ස්වයංක්‍රීයකරණයට යොමු කිරීමෙන් සාම්ප්‍රදායික තත්ත්වයන්ගෙන් බැහැරව නවීන පශු සම්පත් පාලනයක් දක්වා වූ සංක්‍රමණය වීමක් උදෙසා දේශීය සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය යාන්ත්‍රිකකරණය කිරී‍මේ අවශ්‍යතාව තීව්‍ර කර කර තිබේ.

මහා පරිමාණ යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. වර්තමානයේ සත්ත්ව ආහාර සැකසුම් ව්‍යවසායකයන් සමූහය විශාල පරිමාණ සංවර්ධන කෙරෙහි යොමු වීම හේතුවෙන් එවැනි උපකරණ වඩවඩාත් දියුණු කරමින් සිටී. යන්ත්‍රණය ස්වයං ක්‍රියාකාරිත්වය කෙරෙහිම තවදුරටත් වැඩිදියුණු කරනු ඇත. පුළුල් කරන ලද සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන සංවර්ධනය නව ප්‍රණතාවක් බවට පත් වෙමින් තිබේ.

වර්තමානය වන විට ලොව පුරා බිම් සැකසීමේ සිට තෘණ අස්වැන්න නෙළන යන්ත්‍ර, තෘණ ගබඩා (ඉදිකිරීම් වැටවල් සහ මෙවලම් වැනි තැනීම), තෘණ වැඩිදියුණු කිරීම් සහ තෘණ සැකසුම් යන්ත්‍රෝකරණ ඉල්ලුම වැඩි වෙමින් පවතී. සත්ත්ව පාලන කටයුතු සදහා වූ යල්පැන ගිය උපකරණ යාවත්කාලීන කිරීම (බිත්තර රැස් කිරීම, බිත්තර පිරිසුදු කිරීම, බිත්තර රැක්කවීම සහ කුකුළුමස් සැකසුම් යන්ත්‍රෝපකරණ සංවර්ධනය වැනි) සහ නිෂ්පාදන ගුණාත්මය වැඩිදියුණු කිරීම මඟින් (කුකුල් කූඩු, පානීය ජල සැපයුම් උපකරණ නිෂ්පාදනය වැනි) චීනය විසින් එරට සත්ත්ව පාලන ක්ෂේත්‍ර තුළ වර්තමානය වන විට ඉහළ සංවර්ධනයක් අත්පත්කර ගෙන ඇත. එරට කිරි නිෂ්පාදන යන්ත්‍ර, කිරි සැකසුම් යන්ත්‍රෝපකරණ සඳහා වන ලෝක ඉල්ලුම ශ්‍රීඝයෙන්ඉහළ යෑම මෙයට හොඳම නිදසුනකි. චීන සත්ත්ව පාලන කර්මාන්තය යාන්ත්‍රිකකරණ ක්‍රියාවලියේ ප්‍රවර්ධනය වේගවත් කිරීම උදෙසා චීනය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් අපර ටටද ආදර්ශයට ගත හැකිය.

(චීනයේදී ලත් අත්දැකීම් ඇසුරෙනි)
පාලිත මහින්ද මුණසිංහ

ගොවිපල් යාන්ත්‍රික උපදේශක
දිස්ත්‍රික් කෘෂිකර්ම
පුහුණු මධ්‍ය ස්ථානය හෝමාගම

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.