ජාතික වගා සංග්‍රාමයේ පොල් කතාව | සිළුමිණ

ජාතික වගා සංග්‍රාමයේ පොල් කතාව

ඔක්තෝබර් 6වැනි දා සිට 12වැනිදා තෙක් වන ජාතික ආහාර සංග්‍රාම සතිය වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වෙන්නෙ කොහොමද?

අපේ ආයතනය මඟින් පාලනය කරන වැවිලි අතරින් ආහාර සංග්‍රාම වැඩසටහනට අපි තෝරා ගත්තේ පොල්. ඒකට හේතුව ජනතාව ආහාර භෝගයක් වශයෙන් බහුල වශයෙන්ම පොල් භාවිතා කිරීමයි. ඔක්තෝබර් නමවැනිදා ව්‍යවසායකත්ව දිනය තමයි අපේ අමාත්‍යාංශයට පැවැරිලා තියෙන්නේ. ඊට අමතර ඌව පළාතේ ප්‍රධාන උත්සවය. එය පැවැත්වෙන්නේ ඌව පළාත් කෘෂිකර්ම මධ්‍යස්ථානයත් සමඟ ඒකාබද්ධ වෙලා. මේ සඳහා අපි සූදානම් කරලා තියෙන්නේ ඌව පළාතේ මහියංගනය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ආඳාඋල්පත ගම්මානය.

එදිනට ක්‍රියාත්මක වෙන වැඩසටහන පිළිබඳ පැහැදිලි කළහොත්?

පොල් පැළ තුන්දාහක් පොල් වගාකරුවන්ට නොමිලේ ලබාදීම හා රාජ්‍ය සේවකයන්ට තම ගෙවතුවල සිටුවීමට පොලි බෑග් පොල් පැළ සහනදායී මිලකට ලබා දීමට අමතරව ප්‍රදේශයේ පොල් වගාකරුවන් දැනුවත් කිරීම සඳහා දේශන ඇතුළත් තාක්ෂණික සහය ලබා දෙනවා.

මේ වැඩසටහන් අනාගත පරපුර ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

ක්‍රියාත්මක වෙනවා. පාසල් සිසුන් දැනුම්වත් කිරීම තමයි මෙහිදී අපේ මූලික පරමාර්ථය වෙන්නේ. ‍මේ වැඩසටහන අපි නම් කරලා තියෙන්නේ නෙරළු සිත්තම යනුවෙන්. මෙය සෞන්දර්යාත්මක වැඩසටහනක්.

නෙරළු සිත්තම ක්‍රියාත්මක වෙන්නේ කුමන ආයතන පදනම් කරගෙනද?

‍පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. පාසල් තෝරාගැනීම තීරණය කරන්නේ මහියංගණයේ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්.

දිවයින පුරා මේ නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැද්ද?

දීපව්‍යාප්ත වැඩසටහන් රාශියක් මේ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මින් එක් වැඩසටහනක් තමයි පොල් පැළ ලක්ෂ පහක් දිවයින පුරා බෙදා හැරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ ඒකාබද්ධවෙලා ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන මේ කාර්යය සිදුවෙනවා.

මේ පොල් පැළ බෙදා හැරීම සිදුවන්නේ නොමිලේද?

නැහැ, සහන මිලකට.

වානිජ මට්ටමේ ව්‍යවසායකයන් වෙනුවෙන් කුමන කාර්යයක් කිරීමට නියමිතද?

මොවුන් වෙනුවෙන් සහනාධාර ක්‍රමය ක්‍රියාත්මකයි. එනම් දිවයින පුරා අක්කර දෙකක නව වගාව ආරම්භ කිරීමට දිරි ගැන්වීම. අනිත් ක්‍රමය තෝරා ගත් ව්‍යවසායකයන් දෙසීයක් සඳහා පැළ එක් ලක්ෂ විසි අටදාහක් සහන මිලට ලබාදීම.

මේ ව්‍යවසායකයන් තෝරා ගනු ලබන්නේ කුමන පදනමක් මතද?

ප්‍රාදේශීය මට්ටමින් සිටින පොල් සංවර්ධන නිලධාරීන් ක්ෂේත්‍රයට ගිහිල්ලා තමයි ගොවීන් හඳුනාගන්නේ. ක්ෂේත්‍ර නිලධාරීන් තමන්ගේ පෞද්ගලික දැනුම භාවිතා කරලා මේ ව්‍යවසායකයන් තෝරාගන්න සිදුවන්නේ.

පලදරන පොල් වගාවන් වෙනුවෙන් කුමන කාර්යයක් කිරීමට නියමිතද?

දැනට පලදරන පොල් අක්කර දෙදාහක් පුනරුත්ථාපනය කිරීමට නියමිතයි. එමෙන්ම පොල් ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීමට පියවර ගැනීමට. මෙහිදී අක්කර පහත් විස්සත් අතර පොල් ඉඩම් තෝරා ගනු ලබයි. මේ ඉඩම්වලට සහනාධාර ලබාදෙනුයේ තෙතමනය සංරක්ෂණය කිරීම, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම, පොල් ගස් සඳහා ඩොලමයිට් යොදා වසුන් කිරීම, මෙවැනි දේවල්වලට පොල් වගාකරුවන් දැනුවත් කිරීම තමයි අපේ පරමාර්ථය.

ඒ කියන්නේ පොල් පලදායීතාවය වැඩි කිරීම සඳහා දීප ව්‍යාප්ත පියවර රැසක් ගත්තා කියන එකද?

ඔව්. ඇත්තටම පොල් කියන්නේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. දිනෙන් දිනම වැඩිවෙන ජනගහනය අනුව පොල් අවශ්‍යතාව වැඩි වෙනවා. මේ නිසා පොල් වගාව වැඩි කරන්න අවශ්‍ය වෙනවා.

පොල් අවශ්‍යතාව වැඩි කිරීමට ජනතාව උනන්දු කරන්න රැගෙන ඇති පියවර මොනවාද?

අපි පාසල් දරුවන්ට පොල්වල වටිනාකම වටහා දෙනවා. මේ වෙනුවෙන් තමයි කප්රුකයි සිප් නැණයි වැඩ සටහන ආරම්භ කළේ.

දරුවන්ට ලබා දෙන පොල් පැළය ඔවුන් කෙලෙස නඩත්තු කරන්නේ ද යන්න පිළිබඳව පොල් ක්ෂේත්‍ර නිලධාරියකු නිරීක්ෂණය කරනවා. ඒ වගේම නාගරික ගෙවතු වෙනුවෙන් කප් රුකයි පරපුරයි වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ ගෙවත්තේම පොල් වගා කරගත් පොල්වලින් පලදාව ලබා ගැනීම මෙහි පරමාර්ථයයි. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ පොල් වගාව දියුණු කිරීමයි.

වැලිගම පැතිරී ගිය වැලිගම පොල් රෝගයේ තත්ත්වය මේ වන විට කුමන ආකාරද?

මේ රෝගය මේ වන විට බොහෝ දුරට පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම රෝගය වැළඳුන ගස් ඉවත් කිරීම වෙනුවෙන් ගෙවන ලද මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ගෙවලා අවසන්.

ඉවත් කරන පොල් ගසක් වෙනුවෙන් ගෙවන මුදලේ වටිනාකම කොපමණද?

අපි එක ගහක් වෙනුවෙන් රුපියල් තුන්දහසක මුදලක් ගෙවනු ලබනවා. මේ රෝගය සාර්ථක ලෙස පාලනය කර ඇති එකම රට අපේ ලංකාවයි.

වානිජ වශයෙන් පොල් වගාව දියුණු කිරීම ද වර්තමාන අවශ්‍යතාවයක්. මේ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියා මාර්ගය කුමක්ද?

අපි මේ වෙනුවෙන් තමයි කප්රුක ආයෝජන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේ. මේ මඟින් වානිජ මට්ටමින් පොල් වගාකරන්නන්ට ණය මෙන්ම පොල් වගාව සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. වානිජ මට්ටමින් පොල් වගා කරන්නෙක් අතුරු භෝග වගාවට හුරු වියයුතුයි කියලා අපි උපදෙස් දීලා තියෙනවා. මේ නිසා වානිජ මට්ටමින් පොල් වගා කරන පුද්ගලයකුට තමන්ගේ ආදායම අංශ දෙකකින් වර්ධනය කරගන්න පුළුවන්.

කප් රුක ආයෝජන ණය ක්‍රමයෙන් බලාපොරොත්තු වන අරමුණ විස්තර කළහොත්........

ඇත්තටම අපි මේ ණය දීමෙන් බලාපොරොත්තු වෙන්නෙ පොල් ගොවියා ණය කරුවෙක් කිරීම නොවෙයි. මේ ණය දීමෙන් ගොවියා ශක්තිමත් ව්‍යවසායකයකු ලෙස දෙපයින් සිටුවීමයි. ඒ නිසාම තමයි අපි මේ ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වන වගා කරුවන්ට උපදෙසුත් දෙන්නේ. අපට අවශ්‍ය පොල් වගාකරුවා ව්‍යවසායකයකු වෙනවා දැකීමයි. පොල් වගාකරුවකුට ව්‍යාපාරික අවබෝධයක් තිබිය යුතුයි. වෙළෙඳ පොලේ මිල හැසීරීම පිළිබඳව සෑම ව්‍යාවසායකයකුටම අවබෝධයක් තිබිය යුතුයි‍.

කප්රුක ආයෝජන ණය වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයෙන් ද?

පළමු වාරිකය මුලින්ම වගාකරුවාට ලබාදෙනවා. ඉන් පසු ප්‍රගතිය අනුව දෙවන වාරිකය ලබාදෙනවා. මේ අවස්ථා දෙකේම ප්‍රගතිය ප්‍රශස්ත මට්ටමක පවතී නම් තෙවනි හා සිව් වෙනි වාරික දෙක ලබා දෙනවා.

මේ අනුව මේ වසරේ 2017 ජනවාරි සිට 2017 ජුලි මාසය දක්වා ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් 201,832,478ක් වෙනවා. මේ අනුව ඉලක්ක ගත මුළු අක්කර ප්‍රමාණය 3500කි. මේ ආකාරයට ලබාදෙන ණය මඟින් ගොවියා ව්‍යවසායකයකු ලෙස ඉදිරියට ගැනීමට අපේක්ෂා කරනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.