ජන මනස අධ්‍යයනයෙන් අන්තරාවලෝකනය ලබන්න පුළුවන් | සිළුමිණ

ජන මනස අධ්‍යයනයෙන් අන්තරාවලෝකනය ලබන්න පුළුවන්

තුරුණු මඬල

• ජන සාහිත්‍යය, ජන නාටක, ජන සංගීතය ආදී ජනවේදයන් පිළිබඳ ව ශ්‍රී ලංකාවේ අධ්‍යයනය වුවත් ජන මනෝවිද්‍යාව නමින් විෂයයක් පිළිබඳ ව අධ්‍යයනය වන්නේ නැහැ. එහෙත් ඔබ වහන්සේ ජන මනෝවිද්‍යාව පිළිබඳ ව පර්යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කරනවා. ලෝකයේ වෙනත් රටවල් මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුළ ජන මනෝවිද්‍යාව (Folk Psychology) ලෙස අධ්‍යයනය කරන්නේ කෙබඳු විෂයය ක්ෂේත්‍රයක්ද?

ජන මනෝවිද්‍යාව කියන විෂයය ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ හෝ වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයක තවම සාකච්ඡා වෙන්නේ නැහැ. එහෙත් අපරදිග රටවල විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ රැසක් ජන මනෝවිද්‍යාව පිළිබඳ ව සිදු වෙනවා. ජන මනෝවිද්‍යාවේ ආරම්භය කියන්නේ ම මානව වර්ගයාගේ ආරම්භයයි. ජන මනස පිළිබඳව අන්තරාවලෝකනයක් කිරීමයි මෙයින් සිදුවන්නේ. ඒ නිසා මනෝවිද්‍යාවේ තිබෙන සමස්ත සංකල්ප, චිත්තවේග බුද්ධිය, මතකය, අධිෂ්ඨානය, පෞරුෂය වැනි සියලු සංකල්ප ගොඩනැගී තිබෙන්නේ ජන මනසේයි. ඒ නිසා මේ මූලික ජන මනස අධ්‍යයනය කිරීමයි ජන මනෝවිද්‍යාවෙන් සිදුවන්නේ. ඒ වගේ ම මේ සන්දර්භයේ සිට තමයි බෞද්ධ ජන මනෝවිද්‍යාව කියන විෂයයත් මීට පෙර මා හඳුන්වා දුන්නේ. මුළු මහත් ත්‍රිපිටකය ම ආරම්භ වන්නේ “ඒවං මේ සුතං“ කියලයි. මා විසින් මෙසේ අසන ලදි කියල කියන්නේ ම ජනශ්‍රැතියක්. මේ ජනශ්‍රැතිය තුළ මානවයාගේ මනස ක්‍රියා කරන්නේ කොහොමද කියන අධ්‍යයනයයි බෞද්ධ ජන මනෝවිද්‍යාවේදී කරන්නේ. ඒ වගේ ම අපරදිගදී ජන මනෝවිද්‍යාවේදී සිදු කරන්නේ ජන මනසේ තිබෙන ඒ සංඝටක පිළිබඳව අධ්‍යයනය කිරීමයි. පසු කාලීනව ඒවා තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව, කාර්මික මනෝවිද්‍යාව, උපදේශන මනෝවිද්‍යාව, වෘත්තීය මනෝවිද්‍යාව වැනි විෂය රාශියකට බෙදී ගියේ මේ කියන ජන මනස පිළිබඳව මූලිකව සිදු කළ අධ්‍යයනයන්.

• මනෝවිද්‍යාවේදී විශේෂයෙන් සිග්මන් ප්‍රොයිඩ් හඳුන්වා දෙන ලද ප්‍රොයිඩියානු මනෝවිද්‍යාව ලෝකයේ ප්‍රචලිත වෙනවා. ඔබ වහන්සේ සඳහන් කරන මානවවිද්‍යාව සමඟ සම්බන්ධිත මේ කියන ජන මනෝවිද්‍යාව අතර තිබෙන වෙනස කුමක්ද?

සිග්මන් ප්‍රොයිඩ් ස්නායු වෛද්‍යවරයෙක්. ඔහු මනස පිළිබඳව අධ්‍යයනය කරන්න ගන්නේත් ජන මනස නැත්නම් සාමාන්‍ය මිනිසුන්ගේ මනස පිළිබඳ ව අධ්‍යයනය කරලයි. මානවයා සිතන ආකාරය වගේ ම චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදයත් ඔහුට බලපානවා. ඩාවින්ගේ පරිනාමවාදයෙන් කියැවෙන්නේත් ජන මනසේ විකාශනයමයි. ප්‍රොයිඩ් අධ්‍යයනය කරන්නේත් මේවායි. ඒ අනුව තමයි මෝහනය, හිප්නෝටිසම් වැනි දේවල් ඇති වුණේ. ශ්‍රී ලංකාවේ බැලුවා ම මාර්ටින් වික්‍රමසිංහයන් ජන මනස පිළිබඳව සුවිශාල අධ්‍යයනයකින් පසුවයි ඔහුගේ අද්විතීය නිර්මාණ සිදු කරන්නේ. භව තරණය, ගම්පෙරළිය, විරාගය වැනි කෘති අධ්‍යයනය කරන විට එය පැහැදිලිව පෙනෙනවා. මිනිසුන්ගේ සිතුවිලි පරිනාමය වන ආකාරය, ඒවා ඝට්ටනය වන ආකාරය සමඟ සමාජය පරිණාමය වන ආකාරය ඔහු මනාව පෙන්නුම් කරනවා. සත්‍ය වශයෙන් ම සමාජ පරිණාමය කියන්නේ ජන මනසේ පරිණාමයයි. ඒ නිසා ප්‍රොයිඩියානු මනෝවිද්‍යාව හා ජන මනෝවිද්‍යාව අතර තිබෙන්නේ සම්බන්ධයක්.

• ප්‍රොයිඩියානු මනෝවිද්‍යාව වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධිතව මොළයේ රසායනික ප්‍රතික්‍රියාවන්හි ප්‍රතිඵල හා මනසේ වෙනස්වීම් පිළිබඳව හඳුන්වන බටහිර විද්‍යා ගණයේලා සැලකිය හැකි මනෝවිද්‍යාවක් වුවත් ඔබ වහන්සේ සඳහන් කරන ආකාරයට ජන මනෝවිද්‍යාව මානවවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ළඟ ඥාතිත්වයක් තිබෙන බවක් හැඟෙනවා.

ජන මනෝවිද්‍යාව සැබවින් ම අයත් වන්නේ සමාජ මානවවිද්‍යා ගණයටයි. මානවයා තුළ තිබූ සංස්කෘතික සංසිද්ධින් වගේ ම ඒවා ශිෂ්ටාචාරයට බලපෑ ආකාරය යන සියල්ල තීරණය වුණේ ජන මනසේ වෙනස්වීම මතයි. භෞතික දේවල් ඒ පරිදි ම තිබෙන විට වෙනස්වී තිබෙන්නේ ජන මනසයි. මේ ජන මනස ඉතිහාසය පුරා වෙනස් වූ ආකාරය, ළදරුවෙක්ගේ, වැඩිහිටියෙක්ගේ, මනසේ විකාශනය සංස්කෘතිය ඔස්සේ වෙනස් වන ආකාරය ආදිය තමයි මෙහිදී අධ්‍යයනය වන්නේ. ජන මනෝවිද්‍යාව කියන්නේ පෘථුල විෂයයක්. සිග්මන් ප්‍රොයිඩ් කළේ ජන මනෝවිද්‍යාව අධ්‍යයනය කර වෙන ම විෂයයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව තමයි සිහින විචාරය, මනෝවිශ්ලේෂණවාදය වැනි ක්ෂේත්‍ර නිර්මාණය වන්නේ. ඔහු ජන මනෝවිද්‍යාවෙන් කොටසක් ගෙන මනෝවිශ්ලේෂණවාදය කියන කොටස නිර්මාණය කළා. එහිදී ඔහු මනස විශ්ලේෂණය කළා. ඒ සඳහා ඔහු විඤ්ඤාණය, උප විඤ්ඤාණය, අහංභාවයන් වැනි කොටස්වලට බෙදා මනස විශ්ලේෂණය කරමින් විග්‍රහ කරනවා. එහෙත් දාර්ශනික වශයෙන් බැලුවා ම මනස මෙසේ කොටස් කර විග්‍රහ කරන්න පුළුවන්ද කියන ගැටලුවත් මතු වෙනවා. ඒ වගේ ම ඔබ සඳහන් කරන වෛද්‍ය විද්‍යාත්මක ලක්ෂණ එන්නේත් ජන මනෝවිද්‍යාවෙන් ම තමයි. වෛද්‍ය විද්‍යාවටත් ජන මනෝවිද්‍යාව බලපානවා. ප්‍රොයිඩ් ස්නායු වෛද්‍යවරයකු ලෙස භෞතිකව මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ස්නායු ක්‍රියාකාරිත්වය ඇසුරින් ඔහු අධ්‍යයනය කළ නිසා වගේ ම ජන මනස පිළිබඳව ද ඔහු අධ්‍යයනය කිරීම නිසායි ඔහුට මනෝවිශ්ලේෂණවාදය වුණත් ගොඩනගන්න හැකි වෙන්නේ.

• ජන මනෝවිද්‍යාව සංස්කෘතිය සමඟ ළඟ සම්බන්ධයක් තිබෙන බව දක්නට ලැබෙනවා?

මානව සංහතිය ඇතිවුණේ කවදාද එදා සිට මේ මානසික පරිණාමය සිදු වෙනවා. ඒ පරිණාමය සමඟ අලුත් සංඥා බිහිවී අලුත් සංස්කෘතීන් බිහි වෙනවා. ඒ සංස්කෘතිය ම පාදක කරගෙන නැවතත් ජන මනස වෙනස් වෙනවා. ඒ නිසා සංස්කෘතිය හා ජන මනෝවිද්‍යාව අතර අත්‍යන්ත සම්බන්ධයක් තිබෙනවා. ඔබ වහන්සේ බටහිර ජන මනෝවිද්‍යාව මෙන් ම බෞද්ධ ජන මනෝවිද්‍යාව පිළිබඳවත් මේ කෘතිය තුළ සාකච්ඡා කරනවා. ජනශ්‍රැති, අභිචාර, ඇදහිලි, වෙද හෙදකම් ආදී සියල්ල ජන මනස තුළ අන්තර්ගතයි. බෞද්ධ ජන මනෝවිද්‍යාව බිහි කරගන්නත් මේ ක්ෂේත්‍ර බලපානවා. බුදුරජාණන් වහන්සේගේ සෑම ප්‍රකාශයක ම තිබෙන්නේ ගැටලුවකට පිළිතුරක්. ඒවා කායික, මානසික, ආධ්‍යත්මික වෙන්න පුළුවන්. සෑම සූත්‍ර දේශනාවක ම ඒ දේශනාව කිරීමට හේතුව, කුමන අවස්ථාවක, කුමන ස්ථානයනදී, කෙබඳු පිරිසක් අරබයා දේශනා කළාද යන්න සඳහන් වෙනවා. ඒ අනුව අපට ඒ පදනම මත ජන මනස පිළිබඳව අධ්‍යයනය කළ හැකි වෙනවා. මේ විෂයයේ පෘථුල අධ්‍යයනයක් මඟින් කර්මය, පුනර්භවය වැනි සංකීර්ණ සංකල්ප පවා අධ්‍යයනය කිරීමට හැකි වෙනවා.

• බුදු දහමේ අග්‍ර ඵලය වන නිර්වාණය හෝ ඊට මෙපිටින් තිබෙන මාර්ගඵල හෝ ධ්‍යාන පිළිබඳව කිසිදු මනෝවිද්‍යාඥයකු සඳහන් කර නැහැ. බෞද්ධ ජන මනෝවිද්‍යාව තුළ එවැන්නකට ඉඩ ප්‍රස්තා තිබෙනවාද?

මාර්ගඵල ලැබීම සිදුවන්නේ මානවයාගේ බුද්ධියේ නැත්නම් ප්‍රඥාවේ උච්චත්වයට පත්වීමත් සමඟයි. සාමාන්‍ය පුද්ගලයා සේක පුද්ගලයකු බවට පත්වන්නේ ඒ මානසික පරිවර්තනය සමඟයි. මානවයා අනුසෝතගාමී මාර්ගයෙන් මිදී පටිසෝතගාමී මාර්ගයට ප්‍රවිෂ්ට වන ස්ථානය තමයි මාර්ගඵල කියන්නේ. “සබ්බේ පෘථග්ජනා උම්මත්තකා“ ලෙස බුදුන්වහන්සේ දේශනා කරන්නේ සෑම සාමාන්‍ය මනුෂ්‍යයකුට ම මානසික ගැටුම් තිබෙන නිසයි. සැබවින් ම ජන මනස අධ්‍යයනය කිරීමකිනුයි එවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ. ජන මනස අධ්‍යයනයෙන් අන්තරාවලෝකනය ලබන්න පුළුවන්. එය ම තමයි නිරීක්ෂණය කියන්නේ. සතිපට්ඨානයේ කියන්නේ සිහිය හා නිරීක්ෂණය පිළිබඳවයි. එහි නිරීක්ෂණය කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඤාණයයි. තමන්ගේ මනස පිළිබඳව තමන්ට ම අධ්‍යයනය කරන්න පුළුවන් නම් භාවනාව කියන්නේත් එයයි.

Comments