ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව: පරිණත 70 වසරක අභිමානවත් සැමරුම | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව: පරිණත 70 වසරක අභිමානවත් සැමරුම

 දියවන්නා ඔය පිසගෙන හමන්නා වූ සිහිල් සුළඟින් දෙපස ලෙළ දෙන්නා වූ සිංහ ධජ අතරේ අපේ දකුණු ආසියාතික කලාපයේ රට-රටවල ජාතික කොඩිද ලෙළ දෙන්නට වූයේ අභිමානවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තවත් අනුස්මරණීය පිටුවක් රන් සලකුණින් සටහන් කරන්නටය. සභා ගැබ උණුසුම් කරමින්, දිනෙන් දින නන් විධ වාද විවාදයන්ට මුල පිරූ අප පාර්ලිමේන්තුව මේ වන විට වසර 70ක් පසු කරමින් සිටින්නේය.

හාත්පස දියවන්නාවේ මනස්කාන්ත පරිසරයෙන් ඔප වැටුණු අපේ අභිමානවත් පාර්ලිමේන්තුව සාක් කලාපීය රටවලටද අභිමානයක් එක් කරමින් මේ දසක 7 ගෙවී ගියේ බොහෝ මතකයන් දේශපාලන ඉතිහාසයට එක් කරමිනි. අද ඒ අභිමානවත් ඉතිහාසයේ උත්කර්ෂවත් අවස්ථාව වෙනුවෙන් සාක් කලාපීය කථානායකවරුන්ගේ 8වැනි සමුළුව මෙරටදී පවත්වමින් ජගත් පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළේ මේ වසර 70වේ සුවිශේෂ රන් සලකුණක් තබන්නටය.

ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය යන අපට කවදත් ළබැඳි සාර්ක් රටවල් නියෝජනය කරමින් එම රටවල කථානායකවරුන් ඇතුළු විශේෂ නියෝජිත පිරිස පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයට සහභාගි වීමටය. ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාහි කථානායිකා සුමිත්‍රා මහජාන්, බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායිකා ෂර්මින් චෞද්රි, නේපාලයේ කථානායිකා ඔනාසරි ගාර්ති, ඇෆ්ගනිස්තාන නියෝජ්‍ය කථානායක මොහොමද් නසීර්, මාලදිවයින් ජනරජයේ කථානායක අබ්දුල්ලා මෂී මොහොමද්, භූතානයේ කථානායක නිජ්මේ සංග්පෝ හා පාකිස්තානයේ කථානායක ආචාර්ය ගහාසි ගුලාබ් ජමාල් ඇතුළු සම්භාවනීය පිරිස අලංකාර රථ පෙළපාළිය පෙරටු කරගනිමින් පාර්ලිමේන්තු පරිශ්‍රයට සපැමිණ සභාගැබට අවතීර්ණ වූයේ රතු පැහැ පලස මතිනි. කථානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් සම්ප්‍රාප්තියත් සමඟ සවස 2.30ට සුවිශේෂ සැසිවාරය ආරම්භ විය.

කථානායක කරූ ජයසූරිය මහතාගේ සභා ගැබට සපැමිණීමත් සමඟ දීර්ඝ නොවූ එහෙත් අභිමානවත් සුවිශේෂ කථා කිහිපයකට සීමා වූ න්‍යායපත්‍රයේ ආරම්භය සිදු විය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වසර 70ක් සපිරීම සුවිශේෂ අවස්ථාවක් බවත්, මේ අවස්ථ‍ාවේ දකුණු ආසියාතික රටවල කථානායකවරුන්ගේ පැමිණීම තම රටට ගෞරවයක් වන බවත් පවසමින් ආරම්භක දේශනයට මුල පිරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, "70 වසරක කීර්තිමත් ඉතිහාසය ගැන කතා කරන විට මේ ගරු සභාව තුළත් ඉන් පිටස්තරවත් අපේ රට වෙනුවෙන් කථා කළ දේශපාලන නායකයන් අමතක කළ නොහැකිය. ඩීඑස් සේනානායක, එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, රණසිංහ ප්‍රේමදාස, ඩීබී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මේ ගමන් මඟේදී අපට අත්දැකීම් ආශියක් ලබා දී තිබෙනවා. ඒ අත්දැකීම් තුළ අනාගතය වඩාත් සමෘද්ධිමත් කිරීම සඳහා රට තුළ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මේ උත්තරීතර සභාවේ වගකීමක්ද වෙනවා..." යැයිද පැවැසී ය.

මේ සැමරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 70ක සැමරීමක් පමණක් නොව වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ අවස්ථාවක් බව විශේෂ සභා වාරය වෙනුවෙන් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. "මේ සභාවේ පසුගිය වසර 70 ම සිටි පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. අපි මේ 70 සමරන ගමන් 80ට යන්නේ කොහොමද කියා බලමු. එකතු වී දේශපාලන විසඳුමක් ලබා දී මේ රට දියුණු කරමු," යි පැවැසූ අගමැතිවරයා පාර්ලිමේනුතුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ යෝජනාවක් කළ අතර, එය ස්ථීර කරන ලද්දේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා විසිනි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ඊපීඩීපි නායක ඩග්ලස් දේවානන්දා, විපක්ෂ නායක ආර් සම්පන්දන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීහු පිරිසක්ද මේ සුවිශේෂ වාරයේදී කෙටි දෙසුම් පැවැත්වූහ.

මෙහි දෙවැනි පියවර ලෙස සාක් කථානායකවරුන්ගේ සමුළුව පසුදින -එනම් 4 දා- ශ්‍රී ලංකාවේ පැවැත්වූයේ මේ අභිමානවත් 70 වසරට ගෞරවයක් ලබා දෙන්නටය. මීට පෙර වසරේදී මෙම සමුළුව පැවැත්වූයේ මාලදිවයිනෙහිය. සාර්ක් කලාපීය කථානායක සමුළුවේ සමාරම්භක සැසිය ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත්, කථානායක කරූ ජයසූරිය ඇතුළු සාර්ක් කලාපීය කථානායකවරුන්ගේත් සහභාගිත්වයෙනි. ඒ කොළඹ හිල්ටන් හෝටලයේදීය. මෙම උත්සවය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර කථානායක කරූ ජයසූරිය මහතා විසින් ආරම්භක දේශනය පවත්වනු ලැබීය. ආරම්භක සැසියේ සුවිශේෂ දේශනය පැවැත්වූයේ මේ වන විට සාක් කලාපීය රටවල කථානායක සමුළුවේ වත්මන් සභාපති වන මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා මෂී මොහොමද් මහතාය. "මේ අවස්ථාවට සහභාගි වීමට ලැබීමත් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 70 වන සංවත්සරයට සම්බන්ධ වන්නට ලැබීමත් අපට භාග්‍යයක්. එසේම එය ඉතා සාර්ථකව මෙය සංවිධානය කර තිබුණා. හොඳ උණුසුම් පිළිගැනීමක් වගේම ආගන්තුසත්කාර අපට ලැබුණා. කථානායකවරුන්ගේ සංගමයේ අනාගතය වෙනුවෙන් යහපත් තීරණවලට පිවිසීමට මෙය හොඳ අවස්ථාවක් කරගනිමු..." යැයි පැවැසූ මාලදිවයින් කථානායකවරයා සමුළුව අවසානයේ ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතාට සමුළුවේ ඊළඟ සභාපතිත්වය පිරිනැමීය. සැත්තෑ වසරක් තිස්සේ දියවන්නාවේ මනස්කාන්ත පරිසරයෙන් විරාජමාන වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට සිට නව දේශපාලන භූමිකාවකට පණ පොවමින් නව ගමනක් යනු ඇත. එය නව දේශපාලන ගමනක ආරම්භයක්ද වන්නේය.

සුභාෂිණි ජයරත්න 

Comments