බෝසත් වෙදැදුරෙක් නික්ම ගියේ ය | සිළුමිණ

බෝසත් වෙදැදුරෙක් නික්ම ගියේ ය

 සුවපත් වූ පිළිකා ‍‍රෝගීන් සහ සුවය ලබමින් සිටින පිළිකා රෝගීන් දහස් ගණනක කඳුළු මැද ඒ බෝසත් වෛද්‍යවරයාණෝ මෙලොවින් නික්ම ගියහ.

සිය මෝටර් රිය පදවාගෙන යමින් සිටියදී ඔහුට සිය අවසන් මොහොත ළංව ඇතැයි හැඟෙන්නට ඇත. රතු පාට මාර්ග සංඥාව වැටිණ. ඔහු රිය නතර කළේ ය. කොළපාට එළිය දක්නට ඔහුට නොලැබිණ.

ඒ වෙනුවට ඔහුට පෙනුණේ සුරලොව එළියයි. අසුනේ ම මඳක් ඇලවී සිටි ඔහු සන්සුන්ව හොඳ සිහියෙන් ම මරණයට මුහුණ දෙන්නට ඇති බව ඒ මොහොතේ ඔහුගේ මුහුණ දුටුවෝ කියති.

පිළිකා රෝගීන් දහස් ගණනක් මරණයෙන් මුදාගත් මේ වෛද්‍යවරයාට එදා 2017 සැප්තැම්බර් 16 වැනිදා උපේක්ෂාවෙන් යුතුව සිය මරණය පිළිගැනීමට සිදුවිය.

1952 දෙසැම්බර් 22 වැනිදා උපත ලද සරත් බොරලැස්ගමුවේ අබේරත්න මාවතේ, අමරදාස අබේකෝන් සහ පෝලින් අබේකෝන් යුවළගේ දෙටු පුතු විය‍. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ ඔහු ඒ විදුහලට නුදුරු ධර්මේන්ද්‍රාරාමය නිසා බුදු දහම පිළිබඳ දැනුම ලැබුවේ ය. උගත්, සිල්වත් භික්ෂුන් වහන්සේ ගේ ඇසුර ඔහුට එහිදී ලැබිණ. පැලෑනේ ශ්‍රී වජිරඥාන නා හිමියන් ලියූ ලිපි, කවි, ඔහුගේ සිතේ බැදිණ. දුකෙන් පෙළෙන මිනිසුන් දකින ඔහුගේ සිත කම්පා විය. දයාව, කරුණාව ඔහු උපතින් ලද උරුමයන් විය. බුද්ධ චරිතය ඔහුගේ කරුණාව දයාව තියුණු කළේ ය.

ඉහළ යාම සඳහා තරගයට ඉගෙනීමේ වුවමනාවක් ඔහුට නොවී ය. එහෙත් පන්තියේ හපනුන් අතර මුල් පෙළේ ම රැඳී සිටීමට කුඩා සරත් සමත් විය.

කොළඹ වෛද්‍ය පීඨයේ දී ඔහුගේ දහම් නැඹුරුව වඩාත් ගැඹුරු විය. සියලු දෙනාගේ ම පිළිකුලට ලක්වූ කුෂ්ට රෝගියකු වූ පූතිගත්ථ තිස්ස හිමියන්ගේ සැරව පිරුණු සිවුරු මුදා, උණු දියෙන් සිරුර නහවා ඒ හිමියන්ට ප්‍රතිකාර කළ බුදුරජාණන් වහන්සේ “ගිලනුන්ට සලකනු එය බුදුන්ට කරන පිදීමක්” යයි වදාළහ. වෛද්‍ය ශිෂ්‍ය සරත් ද වෛද්‍යවරයකු වීම මඟින් ඉහළ මට්ටමින් බුදුන් පිදීමට සිතුවේ ය.

වෛද්‍ය ශිෂ්‍ය ජීවිතය අවසන් කළ ඔහු වෛද්‍යවරයකු වශයෙන් කොළඹ මහ ‍රෝහලේ වසරක් සේවය කළේ ය‍. ඉන්පසු හෙම්මාතගම සහ කළුබෝවිල රෝහල්වල සේවය කොට 1986 දී මහරගම පිළිකා‍ රෝහලට පැමිණියේ ය.

“යම් රෝගියකු පිළිකා රෝහලට යන්නේ ද ඔහු ඊළඟට යන්නේ සුසාන භූමියට ය” යන්න ජන සිතිවිල්ල විය.

මේ සිතිවිල්ල බොරු කිරීමට දැවැන්ත අරගලයක යෙදෙන්නට වෛද්‍යවරුන්ට සිදුවේ. ඒ අභියෝගය සරත් අබේකෝන් වෛද්‍යවරයා බාර ගත්තේ එය බුදුන් පිදීමට ද ලැබෙන හොඳම අවස්ථාවක් නිසා ය.

ඔහු තමාට ලැබෙන රෝගියා සමඟ මුලින් ම මිතුරු වෙයි. ඔහුට ජීවිතය පිළිබඳව විශ්වාසය ඇති කරයි. ඔහු අසරණයකු නොවන බව ඔහුට දැනෙන්නට හරියි.

“ඊයෙට වඩා අද හොඳයි. අදට වඩා හෙට හොඳයි” මේ වෛද්‍යවරයා කියයි.

පරීක්ෂණ කටයුතු සඳහා රෝගීන්ට බොහෝ විට පෞද්ගලික රසායනාගාරවලට යාමට සිදුවෙයි. ඒ අවස්ථාවලදී රෝගීන්ට දුප්පත්කම බාධාවක් වෙයි. එවිට සරත් අබේකෝන් මහතා ඔවුන්ට පිහිටවෙයි. එක් පෞද්ගලික රෝහලක එබඳු අවස්ථාවලදී රෝගීන්ට පරීක්ෂණ කටයුතු කර ගැනීමට ඔහු අරමුදලක් ද පිහිටු වූයේ ය.

රෝහල් රාජකාරි වේල‍ාවෙන් පසු පෞද්ගලික රෝහල්වලට ගොස් පිළිකා රෝගීන්ගෙන් මුදල් ගෙන ප්‍රතිකාර කිරීමට ඔහු හුරු වූයේ නැත. ඔහුගේ අතට ලැබුණේ රජයෙන් ලැබෙන වැටුප පමණි. ඒ වැටුපෙන් ද කොටසක් ඔහු ඇතැම් මාසවල රෝගීන් සඳහා වැය කළේ ය.

සිය බැංකු ගිණුම තරවනු දැක්මට වඩා ඔහු සතුටට පත්වූයේ සිය රෝගීන් සුවපත් වනු දැකීමෙනි.

ඔහු චාම් විය. ලැබෙන වැටුප ප්‍රමාණවත් විය.

“සන්තුස්ස කෝච සුබරෝච
අප්ප කිච්චෝච සල්ල හුකවුත්ති”

කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන පරිදි ඔහු ලද දෙයින් සතුටු විය. පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් විය. වැඩි වැඩ නැත්තෙක් විය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය.

නිති පන්සිල්, පෝ අටසිල්, අනුව ඒ ජීවිතය හැඩ ගැසිණ. ඔහුගේ පිළිවෙත් අනුව යන දයාබර බිරියක් ඔහුට ලැබිණ. ඇය වෛද්‍ය ලක්ෂ්මී අබේකෝන් මහත්මියයි. ඔහුගේ ආදරණීය එකම දුව චතුරි ද වෛද්‍යවරියකි.

මේ සැබ‍ෑ බෝසතුන්ගේ නික්ම යාම ඇසූ, එතුමා නිසා ජීවිතය ලද අතිවිශාල පිරිසක් බොරලැස්ගමුව කඳුළෙන් නැහැවූහ.

ගිලනුන් සුවපත් කරමින් එමඟින් බුදුන් පිදූ සැබෑ උවසුවාණනි, අපි ඔබට නිවන් සුව පතනු කුමටද? ඔබ නිවන් මඟට පිවිස සැබෑ ආර්යයකු දෝයි මට සිතේ.

ඡායාරූපය
ටී.ඩී. සිරිසේන (මහරගම සමූහ)
දෙනගම සිරිවර්ධන 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.