ප්‍රතිසන්ධිය සහ කුසල අකුසල ධර්ම | සිළුමිණ

ප්‍රතිසන්ධිය සහ කුසල අකුසල ධර්ම

 ප්‍රතිසන්ධි ප්‍රභේදයන් සහ කුසල ධර්මයන් ඒ සඳහා උපනිශ්‍රය වන අයුරු පසුගිය ලිපියෙන් සංක්‍ෂිප්තව සාකච්ඡා කරන ලදි. ප්‍රතිසන්ධිය යනු ඉතා ගැඹුරු මාතෘකාවකි. ධර්මය පිළිබඳ මද අවබෝධයකින් යුක්තව ඒ පිළිබඳ විග්‍රහ කිරීම දුෂ්කර ය. එසේ ම කුසල අකුසල ධර්ම විග්‍රහය ද ඒ අයුරින් ම සියුම්ව සාකචඡා කළ යුත්තකි. ප්‍රතිසන්ධිය සහ කුසල අකුසල ධර්ම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කරනුයේ මෙම කරුණ පිළිබඳ සියලූ දෙනාට මනා අවබෝධයක් පැවතිය යුතු හෙයිනි. කුසල අකුසල ධර්මයන්ගේ ස්වභාවය සහ එය ප්‍රතිසන්ධිය සඳහා උපනිශ්‍රය වන අයුරු මෙහි දී දක්වනු ලැබේ. එසේ ම කුසලයේ පවත්නා විවිධත්වය අනුව ඒ ඒ භවයන් තුළ ඇතිකරනු ලබන ප්‍රතිසන්ධියේ වෙනස්කම් සහ එම ප්‍රතිසන්ධිය ධර්මාවබෝධය ලැබීම සඳහා කුමන අයුරකින් උපකාරී වන්නේ ද යන්න මෙම ලිපියෙහි දී කරුණු විග්‍රහ කරනු ලැබේ.

ප්‍රතිසන්ධි වශයෙන් පහළ වනුයේ සිතකි. භවයන් දෙකක් අතර සම්බන්ධය ඇති කරනුයේ ප්‍රතිසන්ධි සිතෙනි. පසුගිය භවය අවසන දි මරණාසන්න අවස්ථාවේ පහළ වූ කර්මයට අනුසාරයෙන් එයට අනුරූපීව හටගත යුතු සිත් පරපුර තව දුරටත් එම භවයේ හදය වත්ථුව ඇසුරු කොට හටගැනීමට තරම් එම රූපයේ ආයු කාලය නොමැති හෙයින් කර්මයට අනුසාරයෙන් සුදුසු ස්ථානයක පහළ වේ. එම පහළ වීම සත්ත්වයා අලූත් භවයකට පැමිණියේ යැයි සම්මුති ව්‍යවහාරය තුළ භාවිත කර යි. සත්‍යය වශයෙන් ධර්මානුකූලව විග්‍රහ කරන්නේ නම් එහි පහළ වූයේ නාම රූප ධර්මයන් පමණි.

කුසල

කර්මය, විඤ්ඤාණය සහ තණ්හාව යන කරුණු ජීවිතයේ ඉතා වැදගත් සේ ම ගැඹුරින් ම අධ්‍යයනය කළ යුතු කරුණු වේ. මෙම කරුණු තුන පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වේ. (කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො) කර්මය ක්ෂෙත්‍රය වැනි ය. එම ක්ෂේත්‍රයේ රෝපණය වන විඤ්ඤාණය බීජය වේ. එයට තෙත් ගතිය සපයනුයේ තණ්හාවෙනි. මෙම කරුණුවලට අනුසාරයෙන් අප මෙහි දී විග්‍රහ කරන කර්මය සහ විඤ්ඤාණය අතර පවත්නා සබඳතාවය නුවණින් තේරුම් ගැනීමට උත්සහ ගත යුතු ය.

කර්මයේ විවිධත්වය අනුව ප්‍රථමයෙන් දක්වන ලද ත්‍රිවිධාකාර වූ ප්‍රතිසන්ධීන් ලබන්නේ කෙසේ ද යන්න තේරුම් ගත යුතු ය. එය අප එදිනෙදා සිදුකරන කුසල ධර්මයක් පාදක කොටගෙන එම කරුණ විග්‍රහ කරනු ලැබේ. එවිට එහි ස්වභාවය සියලූ දෙනාට ඉතා පහසුවෙන් වටහා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. කුසලය කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් තෙවැදෑරුම් වේ. සාමාන්‍යය ජීවිතයේ දී අප සිදු කරනු ලබන දාන සීලා දී කුසල කර්මයන් කාමාවචර කුසලයන්ට අයත් වේ. එසේ ම තෙරුවන් වැඳීම, දෙමාපියන්ට සැලකීම, සත්‍යය වචන භාවිතය, පරිත්‍යාග කිරීම්, අසරණයන්ට පිහිට විම ආදී සියලූ ක්‍රියා අයත් වනුයේ ද කාමාවචර කුසලයට ය. මේ සියලූ ක්‍රියා සිදු කරනුයේ කාමාවචර කුසල සිත් මගිනි. කාමාවචර කුසල සිත් අට (08) කි. මේ අට අතුරින් එකක් ඒ ඒ කුසලයන් සිදු කිරීමේ දී පහළ වේ. කුසල් කිරීම යනු මෙම සිත් උපදවා ගැනීම යි. රූපාවචර ධ්‍යාන උපදවා ගැනීම රූපාවචර කුසලය වේ. අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම අරූපාවචර කුසල නම් වේ. මෙම සිත් පිළිබඳ පසුව ක්‍රමයෙන් දක්වනු ලැබේ.

යම් කර්මයක් ප්‍රතිසන්ධිය සඳහා ඉදිරිපත් වීමේ දී එහි පවත්නා ප්‍රබල සහ දුබල ස්වභාවයට අනුව ප්‍රතිසන්ධිය ලබා දෙයි. එම ප්‍රතිසන්ධියට අනුසාරයෙන් එම සත්ත්වයාගේ ජීවිත ස්වභාවය තීරණය වේ. ධර්මය අවබෝධ කිරීමේ ශක්‍යතාව කෙබඳු ද යන්න ඉන් ගම්‍ය වේ. මෙහි ස්වභාවය නිදසුනක් ආශ්‍රයෙන් පැහැදිලි කොටගත හැක. සියලූ දෙනා විසින් සිදු කරනු ලබන කුසල කර්මයක් වශයෙන් දන් දීම දැක්විය හැකිය. මෙම කුසල ක්‍රියාව අනුසාරයෙන් කුසලය සිදු වීමේ විවිධ ප්‍රභේද සහ එම ප්‍රභේදයන්ට අනුව ප්‍රතිසන්ධිය සිදු වන අයුරු සාකච්ඡා කළ හැකි ය. දන් දීම සිදු කරනුයේ කාමාවචර කුසල සිත් අට අතුරින් එකක් ඉදිරිපත් වීමෙනි. අප සිදුකරනු ලබන සියලූ කාමාවචර කුසල ක්‍රියා සඳහා ඉදිරිපත් වනුයේ මෙම කුසල සිත් අට අතුරෙන් එකකි. සිදු කරන කුසලයේ ස්වභාවයට අනුව කුසලය කොටස් දෙකකට බෙදේ. ඔමක කුසලය සහ උත්කෘෂ්ට කුසලය වශයෙනි. ඔමක කුසලය යනු හීන කුසලයකි. උත්කෘෂ්ට කුසලය බලවත් වූ උසස් කුසලයකි. කුසලය උත්කෘෂ්ට සහ ඔමක වනුයේ එය සිදු කරන මොහොතේ සහ ඊට පසුව සිත පවත්නා ස්වරූපයට අනුසාරයෙනි. ඉහත දක්වන ලද දන් දීමේ කුසලය නිදර්ශනයක් වශයෙන් ගෙන මෙම කරුණ පැහැදිලි කළ හැකි ය.

යමෙක් යමෙකුට දානයක් දෙනවා යැයි සිතමු. ඔහු දානය දෙන මොහොතේ ඉතා සතුටින් යුක්තව, දානය නමැති ක්‍රියාවේ පවත්නා ඵල විපාකයන් මැනවින් දැන ඥානසම්පයුක්තව ඉතා ඔනෑකමින් අනුන්ගේ මෙහෙයවීමකින් තොරව දානය පූජා කර යි. ඒ මොහොතේ ඔහුගේ සිත තුළ පැවැති කුසල් සිත නම් සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත අසංඛාරික කුසල සිත ය. එය ත්‍රිහේතුක කුසල කර්මයකි. දානය දීමෙන් අනතුරුව ඔහු නැවත නැවත එම දානයේ ආනිසංසය සිහිපත් කරමින් නිතර සතුටු වෙයි නම් පසුපෙළ සිත්වලින් එම රැස්කරගත් කුසල කර්මයට කුසල් සිත්වලින් ම උපනිශ්‍රයක් ලැබේ. එසේ පසුපෙළ සිත්වලින් එම කුසලයට උපකාරයක් ලැබීම තුළ එම කුසල් සිත් ඉතා බලවත් කුසල් සිතක් බවට පත් වේ. එසේ බලවත් වූ කුසලය ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක් බවට පත් වේ. ඔහු දියුණු කළ එම කුසල් සිත හඳුන්වනුයේ සොමනස්ස සහගත ඥානසම්පයුක්ත අසංඛාරික ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල සිත වශයෙනි.

දන් දීම

දානය පූජාකරන මොහොතේ පෙර පරිද්දෙන් ම ඔහු සතුටින් එම ක්‍රියාව කොට පසුව දානය පිළිගත් තැනැත්තාගේ දෝෂයක් දැක හෝ අසා තමා ඔහුට දානය නුදුන්නා නම් හොඳයි වශයෙන් එම කුසලය පිළිබඳ නොකැමැත්තක් හෝ අප්‍රසාදයක් සිතේ පහළ වූවා යැයි සිතමු. ඔහු ත්‍රිහේතුක කුසලයක් සිදුකොට තිබුණ ද පසුව ඒ පිළිබඳ පසුතැවිලි වීම හේතුවෙන් එම කුසල් සිතට පසුපෙළ සිත්වලින් උපකාර නොලැබී යයි. එසේ නැවත නැවත ඔහු එම කුසලය පිළිබඳ පසුතැවිලි වීමෙන් රැස් කොට තිබූ කුසල කර්මය ද හීන වෙයි. එසේ හීන වූ කුසලය හඳුන්වනුයේ ඔමක කුසලයක් වශයෙනි. එවිට ඔහු තුළ පවත්නා කුසල් සිත නම් කරනුයේ සොමනස්ස සහගත ඥානසම්පයුක්ත අසංඛාරික ත්‍රිහේතුක ඔමක කුසල් සිත වශයෙනි. මේ ආකාරයට අනෙක් සිත් ද ඔමක උත්කෘෂ්ට වශයෙන් බෙදෙන අයුරු තේරුම්ගත යුතු ය. මෙය බොහෝ දෙනකුට තේරුම්ගැනීමට අපහසු කරුණක් හෙයින් නුවණින් යුක්තව කල්පනා කොට අවබෝධ කරගැනීමට උත්සහ ගත යුතු ය. නොදැනුවත් භාවයෙන් හෝ බොහෝ දෙනකුට ජීවිතයේ මෙවැනි සිදුවීම් සිදු වී ඇත.

එසේ ම යමෙක් දානය පූජා කරන විට ඉතා සතුටින් එනමුදු දානයෙහි පවත්නා අනිසංසයන් පිළිබඳ වැටහීමකින් තොරව අනුන්ගේ මෙහෙයවීමකින් තොරව දානය පූජා කළේ යැයි සිතමු. එවිට ඔහුට එම දානය පූජා කිරීම තුළ සිදුවන කුසලය හඳුන්වනුයේ සොමනස්ස සහගත ඥානවිප්පයුත්ත අසංඛාරික ද්විහේතුක කුසල් සිත වශයෙනි. එය ද්විහේතුක නමින් හඳුන්වනුයේ ප්‍රඥාව එම සිතේ නොයෙදුණු හෙයිනි. සිතක් ඥානසම්ප්‍රයුක්ත වීමට ප්‍රඥාව අවශ්‍යය වේ. කුසල හේතු වශයෙන් සඳහන් කළ අලෝභ, අදොස, අමෝහ යන හේතු තුන ම යෙදුණු සිත ත්‍රිහේතුක සිත නම් වේ. මෙම සිත ඥානවිප්පයුක්ත සිතක් හෙයින් අමෝහය නමින් හඳුන්වන ප්‍රඥාව යෙදී නොමැත. මෙම ද්විහේතුක කුසලය ද පෙර ආකාරයෙන් ම ඔමක උත්කෘෂ්ට වන ආකාරය නුවණින් කල්පනා කොට තේරුම්ගත යුතු ය. මෙම දානය ම අරමුණු කොට ඉතිරි කුසල් සිත් ඇතිවන ආකාරය ද වටහා ගත යුතු ය.

ත්‍රිහේතුක සිත

අනතුරුව ඉහත කුසලය පාදක කොටගෙන සුගති ලෝකය තුළ අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිදුවන ආකාරය විමසා බැලිය යුතු ය. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ලබා දෙනුයේ සුගති ලෝකයන්හි ත්‍රිහේතුක ප්‍රතිසන්ධීන්ය. ත්‍රිහේතුක ඔමක කුසලයෙන් ලබා දෙනුයේ සුගති ලෝකයෙහි ද්විහේතුක ප්‍රතිසන්ධින්ය. ද්විහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ලබා දෙනුයේ ද සුගති ලෝකයන් තුළ ද්විහේතුක ප්‍රතිසන්ධියක් ය. ද්විහේතුක ඔමක කුසලයෙන් සුගති ලෝකයෙහි අහේතුක ප්‍රතිසන්ධිය ලබා දේ. සුගති අහේතුක ප්‍රතිසන්ධිය ලබාදීම සඳහා ඉදිරිපත්වන සිත නම් කුසල විපාක උපෙක්‍ෂාසහගත සන්තීරණ සිතය. මේ අනුසාරයෙන් ප්‍රතිසන්ධි විවිධාකාර වන බව සංක්‍ෂිප්ත අයුරින් පැහැදිලි කළ හැකිය. ප්‍රතිසන්ධිය පිළිබඳ තව දත යුතු බොහෝ කරුණු ඇත.

මේ අයුරින් කුසලය සිදු කරන මොහොතේ සහ ඉන් අනතුරුව සිත පවත්නා ස්වභාවයට අනුසාරයෙන් සිදු කරන ලද කුසලයේ ස්වභාවය තීරණය වේ. කුසලය සිදු කරන මොහොතේ ඉතා උසස් අයුරින් සිදු කළ ද පසුව ඒ පිළිබඳ නොකැමැත්තක් සිතේ පහළ වූයේ නම් උපදවා ගත කුසලය දුර්වල වේ. ත්‍රිහේතුක කුසලයක් උපදවා ගත් තැනැත්තා ඒ පිළිබඳ පසුව අසතුටු වූයේ නම් සිදු කළ කුසලය අහිමි නොවන නමදු එය හීන කුසලයක් බවට පත් වේ. එයින් ජීවිතයට සිදු වන අයහපත නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ගෙන දීමට සමත්ව තිබූ කර්මය ද්විහේතුක ප්‍රතිසන්ධියක් ඇති කිරීම ය. මේ ජීවිතයේ දී ධ්‍යාන මාර්ගඵල ලැබිය හැකි වනුයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයකුට පමණි. මේ කරුණ අනුසාරයෙන් උපදවන කුසලය දුර්වල කර ගැනීමෙන් සිදුවන හානිය කවරේද යන්න නුවණින් විමසීමෙන් තේරුම් ගත යුතු ය. ප්‍රතිසන්ධිය සහ ධර්මාවබෝධය අතර පවත්නා සම්බන්ධය පිළිබඳ යමෙක් පැහැදිලි අවබෝධයකින් යුක්ත වේ නම් මෙහි පවත්නා සියුම් ස්වභාවය මනාව තේරුම් ගත හැකි ය. ඒ සඳහා සියලූ දෙනා උත්සහවත් විය යුතු ය. කුසල් සිදු කරන සෑම මොහොතක ම නුවණින් යුක්තව සිදු කළ යුතු බව සහ කුසල් සිදු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සිතා නැවත නැවත සතුටු විය යුතු බව දක්වන ලද්දේ මෙම කරුණ හේතුවෙනි.

ලබන සතියේ... - ප්‍රතිසන්ධිය සහ ධර්මාවබෝධය අතර පවත්නා සබඳතාවය

බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
ජී.ජී.ජී. පුෂ්පකුමාර් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.