‘වෙනස’ තුළින් වෙන­සක් කළ | Page 2 | සිළුමිණ

‘වෙනස’ තුළින් වෙන­සක් කළ

රුව නොදැක කටහඬ ඇසූ පමණින් ඔහු හඳුනාගන්නට අපේ රටේ රූපවාහිනී නරඹන ප්‍රේක්ෂකයන් සමත් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.‍ ඒ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ වෙනත් ම ආකෘතියකින් ඉදිරිපත් කළ ‘වෙනස’ වැඩසටහනේ ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු ප්‍රේක්ෂකයන්ට සමීප ව‍ූ නිසායි.

සම්පත් බණ්ඩාර නම් වන මේ හැඩකාර කටකාර නිවේදකයා පිළිබඳව මේ සටහන තබන්නේ ඔහු පසුගියදා ශ්‍රී ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමයේ මාස්කෝ 2004 (Mascore) මාධ්‍ය ශූරී විශිෂ්ටතා රන් සම්මානය දිනාගත් බව සටහන් කරන්නට ය.

සම්පත් මෙම සම්මානයට හිමිකම් කීවේ විවිධ ආකෘතියෙන් යුත් වැඩසටහන් ඊට අනුචිත අයුරින් ඉදිරිපත් කිරිම වෙනුවෙන්.

මීට පෙරත් ‍’වෙනස’ වැඩසටහන වෙනුවෙන් රයිගම් සම්මාන, සුමති සම්මාන ඇතුළු සම්මාන කීපයක්ම සම්පත් ලබාගෙන තිබෙනවා.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සම්පත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. පාසල් වියේදීම නිවේදනයට දස්කම් දැක්වූ ඔහු මුලින්ම නිවේදකයකු ලෙස සම්බන්ධ වන්නේ ස්වාධීන රූපවාහිනියේ පෙරවරු විකාශනයටයි. සන්ධ්‍යා විකාශයට මෙන් ම විවිධ වැඩසටහන් සඳහා ක්‍රමයෙන් ඔහුගේ දායකත්වය ලබාදීමට තරම් ඔහු දක්ෂ වුණා. ‘වෙනස’ වැඩසටහන ඇරැඹීමේදී එහි නිවේදකයකු ලෙස සම්බන්ධ වුණු සම්පත් එය ඉදිරිපත් කළ අපූර්වත්වය නිසා ම වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා. පෝදා විකාශය, සවනක් රැස්, තුරුණු සිතට සහන් එළිය, අඳුරින් එළියට, එතෙර වන්දනා, රන්බිමට අරුණැල්ල ආදී විවිධ වැඩසටහන් සඳහා නිවේදන ශිල්පියෙක් වශයෙන් නිර්මාණ දායකත්වය ලබාදෙන සම්පත් මෙම සම්මානය පිළිබඳව ඔහුගේ හඬ අවදි කළේ මෙලෙසයි.

“මාස්කෝ රන් සම්මාන පිරිනමන්නේ විවිධ ක්ෂේත්‍රවලින්. ඉදිරියට පැමිණි අය දිරිගැන්වීමට හා අගය කිරීමටයි. මෙහි විශේෂත්වය වන්නේ ඉල්ලා ගන්න සම්මානයක් නොව සොයා බලා ලබාදෙන සම්මානයක් වීමයි.

මහාචාර්ය සනත් නන්දසිරි මහතා එවකට මා ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා. ඔහු තමයි මට උදව් කළේ ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න.

දැන් මම නිවේදන වෘත්තියට අමතරව වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙසට ද කටයුතු කරනවා. ‘අඳුරින් එළියට’ මගේ වැඩසටහනක්. ඊට අමතරව මම ‘විෂ් ක්‍රියේෂන්’ නමින් වීඩියෝ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. වෙළෙඳ වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන් හා නොයෙක් වීඩියෝ නිෂ්පාදන සිදුකරනවා.”

සැබෑ නිවේදකයකුගේ කාර්ය භාරය හා භූමිකාව සම්බන්ධයෙන් සම්පත් දක්වන්නේ මෙවන් අදහසක්.

“ගායකයා, රංගන ශිල්පියා හා නිවේදකයා යනුවෙන් කලාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක් තියනවා. රංගන ශිල්පියා හා ගායකයාට වඩා රටේ ජනතාව සමඟ ඍජුව ම සම්බන්ධ වෙන්නේ. නිවේදන ශිල්පියායි. ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී නිවේදකයා පෙර ගමන්කරුවකු විය යුතුයි. ඒ තුළින් සමාජයේ බහුතරයක් නිවැරැදි මාවත කරා යොමු කළ හැකි වෙනවා. තමන් වැඩසටහන ඉදිරිපත් කරන කාලය තුළ තමන් කිව යුත්තේ කුමක්ද යන්නට වඩා තමන් විසින් නොකියවිය යුත්තේ කුමක්ද යන්න නිවේදකයා හොඳින් දැනගත යුතු වෙනවා. නිවේදකයා සැබැවින් ම තමාගේ සීමාව තුළ සිටිය යුතුමයි. එසේ නැති වුවහොත් විවිධ අර්බුදවලට ලක්විය හැකියි.

ඒ වගේ ම මම හිතන අයුරින් නිවේදකයා එකම රාමුවකට කොටු නොවිය යුතුයි. සාමාන්‍යයෙන් එක් එක් වැඩසටහන් එකම නිවේදකයා විසින් ඉදිරිපත් කළත් එම වැඩසටහන්වල වෙනසක්, විවිධත්වයක් තිබිය යුතුයි. වෙනස වැඩසටහනත් එවැන්නක්. මෙහිදී තම අනන්‍යතාව රැක ගැනීම ඒ ඒ නිවේදකයාගේ වගකීමක් වෙනවා.

ඒ වගේ ම, ඇතැම් නිවේදකයන්ගේ නම් භාවිතා කරමින් ඇතැම් අය ගැහැනු ළමුන්ට දුරකථනයෙන් අමතලා ගැටුම් ඇති කරන අවස්ථා තියනවා. මෙවැනි දේ නොවෙන්නට වගබලා ගතයුතුයි.‍

මගේ බිරිය ගුරුවරියක් ලෙස සේවය කරනවා. මගේ සිඟිති දියණිය විශ්වකල්‍යා බණ්ඩාර සමඟින් අපි සතුටින් ජීවත් වෙනවා. කලා කෙතේ දිගු ගමනක් යාම මගේ අරමුණයි. 

 

Comments