ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිවන දේශපාලන අන්තවාදය | සිළුමිණ

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිවන දේශපාලන අන්තවාදය

 ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලිය ‍ෙකරෙහි සමාජය තුළ යම් අවධානයක් යොමුවී ඇති බවක් පෙනී යයි. එහෙත් එහි දී පැනනගින ප්‍රමුඛතම ප්‍රශ්නය වන්නේ එකී සමාජ සංවාදය අර්ථාන්විත එකක් කරගැනීමට අදාළ සියලූ පාර්ශ්ව උත්සාහ කරන්නේ ද යන්නයි.

ඒ පිළිබඳව සලකා බැලිමට පෙර අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ද යන්නට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සලකා බැලීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයේ මූලික ස්වභාවය ලෙස අර්ථ දැක්විය හැකිය. රාජ්‍යයේ සංවිධාන ව්‍යුහයේ පදනමද එයම වේ. නීතියේ හා යහපැවත්ම සදඟා අවශ්‍ය කරන දේශපාලන, පරිපාලන හා අධිකරණ යන ක්ෂේත්‍රයන්හි බලය ක්‍රියාත්මක කරන යන්ත්‍රණය ලෙස ක්‍රියාකරන්නේ රාජ්‍යයයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයේ ව්‍යුහය, කාර්යයන් හා බලතල සහ යුතුකම් මෙන්ම පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව ද තහවුරු කරන නෛතික ලේඛනය ලෙස හැඳින්විය හැකිය. එය රාජ්‍යයේ පවත්නා සියලූම නීතීන්හි පදනම වන අතර රටේ මූලික නීතිය ද වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තුළ රාජ්‍යයට අයත් දේශපාලන බලය ලබා ගන්නේ මහජනතාවගෙනි. ඒ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පරිසරයක් තුළ තමන් පාලනය විය යුතු ආකාරය පිළිබඳව පුරවැසියන් විසින් තහවුරු කරගන්නා වූ ගිවිසුමක් ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකිය හැකිය. ඒ අනුව දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවත්නා මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සම්පාදනය කර ගැනීමට දරන වෑයම සැලකිය යුත්තේ රාජ්‍යය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට දරන උත්සාහයක් ද ලෙසටය.

ඒ සමගම මතුවන ප්‍රශ්නය වන්නේ අපට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමන හේතුවක් නිසාද යන්නය. එහි දී අප ගැඹුරින් සලකා බැලිය යුතු මූලික කරුණ වන්නේ මේ වනවිට රට තුළ බලාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යහපත් ඉදිරි දර්ශනයක් අනුව සකස්කරන ලද්දක් ද යන්නයි. පැහැදිලි වශයෙන්ම ඒ පිළිබඳව රට තුළ බලවත් සැක සංකා මතුකළේ 1978 වසරේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමගය. ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම විධිමත් විග්‍රහයක නියැලී ඇත්තේ ශ්‍රී ලංකාව බිහිකළ කෘතහස්ත පාර්ලිමේන්තුවාදියකු හා ව්‍යවස්ථා සම්පාදන විෂය ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රාමාණික විද්වතෙකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා විසිනි. ඔහුගෙන් ඇරඹි එකී සංවාදය ගෙවී ගිය වසර තිස් නවයක කාලය පුරාම පැවැති අතර ඒ තුළ දක්නට තිබූ පොදු ලක්ෂණයක් ද වේ. එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු එළැඹි සෑම මහමැතිවරණයක දී මෙන්ම ජනාධිපතිවරණයන්හි දී ද රටේ ප්‍රධානතම විපක්ෂය පවත්නා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වූ ජනවරමක් අපේක්ෂා කිරීමය. පසුව ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද එක්වී තිබේ. ඒ අනුව ව්‍යවස්ථා වෙනසක් සඳහා මේ රටේ බලය ඉල්ලා සිටි නායකයන් අතර සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වැනි හිටපු රාජ්‍ය නායකයින් පමණක් නොව වර්තමාන රාජ්‍ය නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ද වේ. එහි ඇති ඉතා වැදගත් අනෙක් කරුණ වන්නේ 78 ව්‍යවස්ථාව රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය ද අද වනවිට සිය මුල් ස්ථාවරය සපුරා වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමය. ඒ සමගම සමස්ත කාල පරාසය තුළ දී මේ රටේ සියලූම වාමාංශික දේශපාලන පක්ෂ ද දරා ඇත්තේ ද එවැනි ස්ථාවරයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව වන ජනතා අභිලාශය මෙන්ම දේශපාලනික වශයෙන් ඇති අවශ්‍යතාවය ද ඉතා පැහැදිලිය.

රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව වන සාකච්ඡාවේ දී අප කිසිසේත්ම අමතක නොකළ යුතු කරුණක් ද තිබේ. එනම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලීන්ට අදාළව සැලකීමේ දී ශ්‍රී ලංකාවට ඇත්තේ කීර්තිමත් හෝ ජනතාවාදී ඉතිහාසයක් නොවන වගය. 1947 සිට 1978 දක්වා මේ රටට හඳුන්වාදෙන ලද සෑම ව්‍යවස්ථාවක් හා ඒ පසුපස පැවැති ක්‍රියාවලිය විමසා බැලීමේ දී ඒ පිළිබඳව මැනවින් තේරුම් ගත හැකිය.

ශ්‍රී ලංකාවට වෙස්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සම්ප්‍රදායක් හඳුන්වා දුන් 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ සිටම එකී ලක්ෂණය මැනවින් පැහැදිලිවේ. එම ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිළිවන්නේ 47 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වන්නේ නිදහසත් සමඟ රටේ නායකත්වය අපේක්ෂා කරන ලද ඩී. එස්. සේනානායක මහතාගේ උවමනාකම් මත බවය. ඒ අනුව ආරම්භක උත්සාහයේම පටු ස්වභාවයක් දක්නට තිබේ. ඒ අනුව එකී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඩී. එස්. සේනානායක මහතාගේ අභිලාෂයන්ද ඒ සමඟ යටත්විජිත ආණ්ඩුවේ අභිලාෂයන්ද අන්තර්ගතවී ඇතත් රටේ ජනතාවගේ හෝ ජනතාව නියෝජනය කළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් නියෝජනය වී නැති බව පැහැදිලිය.

ඩී. එස්. සේනානායක මහතා විසින් එකී ව්‍යවස්ථා කෙටුම්පතට ස්වකීය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එය යටත්විජිත ලේකම් කාර්යාලයට යොමුකරන ලද අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්ව යටත්විජිත ආණ්ඩුවට කළ පැමිණිලි මගින් ඒ බව සනාථ වේ. එපමණක්ද නොව 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාපකයා ලෙස සැලකෙන සෝල්බරි සාමිවරයා විසින් පසුකළෙක දී හෙළි කළ ඇතැම් කරුණු සලකා බැලීමේදීද ඒ බව පැහැදිලි වේ. එහි දී සෝල්බරි සාමිවරයා අවධාරණය කර ඇති ප්‍රධාන කාරණයක් වී ඇත්තේ ලංකාවේ සමාජය හා රටේ ඉතිහාසය පිළිබඳව සියුම් දැනුමක් තම කොමිෂමට නොපැවති බවය. එමෙන්ම ඉන්දියාව හා තවත් රටවල් බොහොමයක් තම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන වගන්ති 47 ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුව ඇතැයි කොමිෂන් සභාව නිර්දේශ නොකිරීම බලවත් අඩුපාඩුවක් ලෙස තමා දකින බවය.

එවැනි කරුණු කාරණා පිළිබඳව සැලකිල්ලට ගැනීම් දී අප නිදහස් රටක් ලෙස බ්‍රිතාන්‍ය පාලනයෙන් මි දී ඇත්තේ රටට අදාළ ඉදිරි දැක්මකින් තොරව වන බව පැහැදිලිය. ඒ අනුව පසුකාලීනව රටේ ඇතිවූ බරපතල අර්බුද ගණනාවක පෙරනිමිති සපයා ඇත්තේ ඒ තුළය. එවන් පසුබිමක් තුළ ඉදිරිගාමී දැක්මකින් යුක්තව රටේ පැවැත්ම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය එදා ද පැහැදිලිවී තිබේ. ඒ සඳහා දරන ලද ප්‍රථම උත්සාහය වන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සැලකීමේ දී අප ජාතියක් ලෙස වගකීමකින් යුක්තව කටයුතු කළේ ද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. එහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ස්වෛරී, ස්වාධීන ජනරජයක් ලෙස නව මාවතකට යොමුවීමේ අවශ්‍යතාවය ද ඒ තුළ සමස්ත ජාතියේ අභිලාශයන් කෙරෙහි දැක්විය යුතුව තිබූ සැලකිල්ල කෙරෙහි අවධානය යොමුකිරීමේ දී ද ඇති කරගත යුතුව තිබූ පොදු එකඟත්වයක් පිළිබඳව සැලකීමේ දී ද 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඒ අනුව මෙහෙයවී ඇත්ද යන්න ප්‍රශ්නකාරීය. පසුකලෙක රට තුළ පැන නැගුණ බරපතල ප්‍රශ්න ගණනාවකට ද විශේෂයෙන්ම වාර්ගික ගැටලූව උත්සන්න කිරීම කෙරෙහි ඒ මගින් ඇතිකර ඇති බලපෑම සැලකීමේ දී ද ඒ බව තේරුම්ගත හැකිය.

ඒ අනුව රටක් ලෙස අප තව දුරටත් ඉදිරියට ගමන් කරමින් සිටියේ නව ව්‍යවස්ථාවක් පිළිබඳව ඇති අවශ්‍යතාවය ද පෙරටුකර ගනිමින්ය. රටේ මූලික නීතිය කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ පොදු විශ්වාසයන් තහවුරු වී නොතිබීම තුළය. එවන් තත්ත්වයක් තුළ 1977 මහා මැතිවරණය පැවැත්වෙන මොහොතේ දී ද ශ්‍රී ලංකාව මුහුණ දී පැවතියේ බලවත් අර්බුද ගණනාවක මුවවිටය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එකී මැතිවරණය තරග කළේ දෙමළ ඊළාම් රාජ්‍යයකට දෙමළ ජනතාවගේ ජනවරමක් ලබා ගැනීමේ අරමුණින් වන බව සලකා බැලීම තුළම ඒ වනවිට අප මුහුණ දී පැවැති ප්‍රශ්නවල සංකීර්ණත්වය හා ගැඹුර තේරුම්ගත හැකිය.

එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ලැබුණ හයෙන් පහක් තරම් වන පාර්ලිමේන්තුවේ අතිවිශාල බලය තුළ ප්‍රමුඛ විරුද්ධ පක්ෂය ද රටේ සියලූ වාමාංශික දේශපාලන පක්ෂ ද දුර්වල කර පැවැති පසුබිමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට පිවිසියේ ඒ සඳහා වන සුජාත භාවයක් තහවුරු කළ නොහැකි තත්ත්වයකිනි. ඒ සඳහා එදා එක්සත් ජාතික පක්ෂයට පැවැති බලය පමණක් මුල්කරගත් ක්‍රියාවලියක අවසානය ද 1947 පැවැති තත්ත්වයට කිසිසේත්ම දෙවැනි නොවීය. සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබාගෙන සිටි ජේ.ආර්. ජයවර්ධනයන්ට නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අවශ්‍යව තිබුණේ රටේ අවශ්‍යතාවයක් හා යහපත පිළිබඳව වූ අරමුණක පිහිටීම නිසා නොවේ. ඔවුගේ එකී වෑයම තුළ රාජ්‍යයේ සකළ විධ බලතල තමන්ට ලැබෙන ආකාරයේ සැලසුමක් වූ අතර ඒ සඳහා ඔහු ක්‍රියාවට නගා ඇත්තේ ද සටකපට ක්‍රියාවලියකි. ප්‍රථමයෙන්ම ඔහු අපේක්ෂා කරන ලද විධායක ජනාධිපති තනතුර ඔහු ස්ථාපනය කර ගන්නේ පැවැති ව්‍යවස්ථාවට එකතු කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් හරහාය. දෙවනුව විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හදිසි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ආකාරයටය. එනම් කිසිදු මහජන අවධානයකට එය යොමු නොවන ආකාරයටය. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවේචනාත්මක විශ්ලේෂණයක් මැයින් යුත් සිය කෘතිය මගින් ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා පෙන්වා දී ඇත්තේ ශිෂ්ට සම්පන්න ලෝකයේ, ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ කිසිදු රටකින් එවැනි තත්ත්වයක් දක්නට නොහැකි බවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ රටට ඇතිකර ඇති විනාශකාරී අයහපත් බලපෑම් නොතකා හැරියේ වුවද එකී ව්‍යවස්ථාව සපුරා අවලංගු කිරීම සඳහා එම කරුණ වුවද හොඳටම ප්‍රමාණවත්ය.

ඒ අනුව අද සිදුකරන නව ව්‍යවස්ථාවක් සඳහා වූ ක්‍රියාවලියට ඇති අවශ්‍යතාවය ආරම්භ වන්නේ අද ඊයේ සිට නොවේ. 1978 වසරේ සිටය. ඒ සඳහා වන අර්ථ දැක්වීම් සංවාද, විවාද හා ජනතාවගේ අභිලාෂය එකී සමස්ත කාල පරාසය තුළම විටින් විට අඛණ්ඩව සිදුවී තිබේ. අද වනවිට මේ රටේ සියලූම දේශපාලන පක්ෂ ඒ සඳහා වන තම අභිලාෂය තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ද සිය පක්ෂ සම්මේලනයන් තුළ දී ද ප්‍රකාශ කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ද මහ මැතිවරණයේ දී ද එහි කිසිදු වෙනසක් වූයේ නැත. එහෙත් අද වන විට රටේ එක්තරා පිරිසක් නව ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවයට එරෙහිව මතවාදයක් රටපුරා ගොඩනගන්නට දරන උත්සාහයක් ද දක්නට තිබේ. ඔවුන් දියත් කර ඇති උපාය මාර්ගයන් දෙකක් එහි දී පැහැදිළිවම දැකගත හැකිය.

ඉන් එක් උපාය මාර්ගයක් වන්නේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට සිදුකරන ප්‍රචාරයන්ය. එනම් මේ රටේ සමස්ත දේශපාලන ව්‍යාපාර පක්ෂ මෙන්ම ශාස්ත්‍රාලීය උගත් හා දැනුවත් ප්‍රජාව අඛණ්ඩව පල කරන ලද එක් පොදු අභිලාශයකට එක හෙළා විරුද්ධවීමක් ලෙසට ද එය සැලකිය හැකිය. එහෙත් එකී මතවාදය සමාජගත කරන්නට උත්සාහ කරන කල්ලි හා කණ්ඩායම් තුළ දක්නට ඇති චින්තනයේ ඇති දුගීභාවය මොනවට ප්‍රදර්ශනය කරමින් ඒ සඳහා පැහැදිළි හේතු දැක්වීමක් ද සිදු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ නිරන්තර වෑයම වී ඇත්තේ පටු ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරන ප්‍රකාශයන් හරහා සමාජය බිය ගැන්වීමය. අඩුම තරමින් අද වන විට මේ රටේ සියලූ දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ පවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත ඒකීයභාවය පිළිබඳ මූලධර්මයට ද, බෞද්ධාගමට ප්‍රමුඛ ස්ථානය හිමිවිය යුතුව ඇතැයි වන වගන්තියට ද කිසිදු විරුද්ධත්වයක් නොදක්වන පසුබිමක පමණක් නොව ඒ සඳහා මේ වන විට ඉතා පැහැදිළි ලෙස එකඟත්වය පළ කර ඇති පසුබිමක ඒ කිසිවක් පිළිබඳව හෝ තැකීමක් නොකරමින් කටයුතු කරන මේ පිරිසගේ උත්සාහය අතාර්කික වුවද රටක් ලෙස ඒ පිළිබඳව අතිශයින්ම පරිස්සම් විය යුතුය. මක් නිසාද යත් සෑම අන්තවාදයක්ම එකී අන්තවාදයන් පෙරටුකරගත් විනාශයන් ද බොහෝ විට මතුවන්නේ තාර්කික හේතුඵලයන් තුළ නොවන නිසාය.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිවන දෙවැනි කණ්ඩායම සැදුම්ලත් වී ඇත්තේ රටේ ඒකීයභාවයට හා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බෞද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛත්වයට ඒ තුළ ඉඩක් නැතැයි යන සැක සංකා පෙරටුකරගෙනය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මධ්‍ය කමිටුව මගින් නිකුත්කර ඇති අතුරු වාර්තාවෙහි එවැනි සැක සංකා ඇතිකර ගැනිමට හේතුවිය හැකි කිසිවක් සටහන් වී නැති බව ඉතා පැහැදිළිය. අනෙක් අතට සත්‍ය වශයෙන්ම මේ වන විට ඉදිරිපත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවට අදාළ කෙටුම්පතක් ද නොවන බව තේරුම්ගැනීමේ දී එකී කණ්ඩායමේ අභිලාෂයන් අපි තේරුම්ගත යුත්තේ තාර්කික ලෙස ඉදිරිපත් කරන කරුණු කාරණා හැටියට නොව ඔවුන් පමණක් දන්නා වෙනත් කිසිවකු නොදන්න සැඟවුණු අර්ථයක් ලෙසටය. සැඟවුණු අරමුණකට හෝ සැඟවුණු අර්ථයකට තාර්කිකව පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකිය. එවැනි තාර්කික පිළිතුරු ඔවුන් අපේක්ෂා නොකරනවා ද විය හැකිය. එහෙත් ඒ තුළ මතු කරන අනතුර සමාජයට තේරුම් කරදීමට මේ රටේ දැනුවත් සමාජයට කළහැකිය. රටේ යහපත් පැවැත්මක් හා ස්ථාවර පරිසරයක් ඇතිවීම තම පටු අභිලාෂයන් සපුරාගැනීමට බාධාවක් ලෙස තේරුම්ගෙන ඇති උදවිය හැමවිටම උත්සාහ කරන්නේ කෙතරම් විනාශයකට ගොදුරුවිය හැකි වුවත් තමන්ගේ පටු අපේක්ෂාවන් ඒ තුළින් මුදුන්පත් කර ගැනීමටය. අප ත්‍රස්තවාදය ලෙසින් ද, අන්තවාදයන් ලෙසට ද අත්දුටුවේ එවැනි තත්ත්වයන්ය. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව බුද්ධිමය හා තාර්කික මැදිහත්වීමක් සිදු නොකරන, පටු වාර්ගික හා ජාතිවාදී අදහස් මතුවන ආකාරයට අදහස් දක්වමින් සිටින අය සපුරාම පරාජය කිරීමට මේ රටේ දැනුවත් සමාජය පෙරට ආ යුතුව ඇත්තේ මේ රට තවත් බරපතල විනාශයක වන්දි ගෙවීමට තරමට අසරණ නොකළ යුතු නිසාය.

සුනිල් ජයසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.