වෙරළ වොලිබෝල් සහ සත් සාමාජික රග්බි අලුතින් හඳුන්වා දුන්නා - අධ්‍යාපන ඇමැති | සිළුමිණ

වෙරළ වොලිබෝල් සහ සත් සාමාජික රග්බි අලුතින් හඳුන්වා දුන්නා - අධ්‍යාපන ඇමැති

ප්‍රශාන්ත ඇල්පිටිය

මෙරට පාසල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය ලෙසට සැලකෙන්නේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධාන කරන මෙවර ක්‍රීඩා උළෙල ඉකුත් ඔක්තෝබර් දෙවැනිදා ආරම්භ විය. එය පුරා දෙසතියක් පුරා පැවැත්වීමට නියමිතය. එහිදී කොළඹ ආශ්‍රිතව ස්ථාන 48 කදී තරග පැවැත්වෙනු ඇත. මෙවර මෙම ක්‍රීඩා උළෙලේ සමාප්තිය ලබන 15 වැනිදා සිදුවේ.

මෙවර පැවැත්වෙන්නේ 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලයි. මෙවර සමාරම්භක උත්සවය කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය.

මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 28 ක් අයත්ය. මීට අලුතින් ක්‍රීඩා ද්විත්වයකුත් එක් කර ඇත. ඒ බීච් වොලිබෝල් හෙවත් වෙරළ වොලිබෝල් සහ සත් සාමාජික රග්බිය.

සමස්තයක් ලෙස ගත් විට මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39,000 ක් පමණ සහභාගි වීමට නියමිතය. විනිශ්චයට 2700 කි.

2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම සිදු කළේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සහ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ බී. එම්. හෂිනි ප්‍රබෝධා විසිනි. අකලංක පිහිනුම් ක්‍රීඩාවෙන් ආසියානු රන් පදක්කම්ලාභියෙකි. ප්‍රබෝධා තර්ක්මෙනිස්තානයේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී තුන් පිම්මට රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය.

මෙම ක්‍රීඩා උළෙලේ ආරම්භය සිදු වූයේ 1984 වසරේදීය. ඒ එවකට අධ්‍යාපන ඇමැති වූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය.

පාසල් ක්‍රීඩාව තුළ විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ව ජාතික තලයට ඔසවා තැබීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධානතම අරමුණ විය. එය මේ වන විට ඉතා සාර්ථකව ඉටු වී තිබේ. ඒ ඉකුත් දශක තුනක පමණ කාලය තුළදී මෙම ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම පසුව ජාත්‍යන්තරව තරග කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් බැවිනි.

මෙවර ක්‍රීඩා උළෙල පිළිබඳ මාධ්‍ය හමුව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා "මෙවර ක්‍රීඩා උළෙලට අලුතෙන් ක්‍රීඩා දෙකක් ඇතුළත් කර තිබෙනවා. ලබන වසරේදී ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවත් මෙම උළෙලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා."

2017 ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය වාර්තාගතය. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රථම වරට තවත් විශේෂිත පියවරකුත් මෙවර ගෙන තිබේ. එනම් මෙවර උළෙලට අයත් ක්‍රීඩා 28 සඳහාම වෙන වෙනම අදාළ ක්‍රීඩාවේ තොරතුරු සහිත තාක්ෂණික අත් පොත් මුද්‍රණය කිරීමයි. එය වත්මනදී ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩල වැනි ප්‍රධානතම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලහිදීත් සිදු කරනු ලබයි.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා රුපියල් මිලියන 55 ක මුදලක් වෙන්කර තිබෙන බව අධ්‍යාපන ඇමැති වැඩිදුරටත් පැවසීය. ඒ ආහාරපාන සහ නවාතැන් ඇතුළුව සියලුම පහසුකම් සඳහාය. මීට අමතරව අදාළ තරග පැවැත්වෙන ස්ථානවලට වෛද්‍ය කණ්ඩායම්ද යොදා තිබෙන බව සංවිධායකයන් පවසති.

"සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමයි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් අපේ ක්‍රීඩාවට ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් වුණේ. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරලා තිබෙනවා." අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පවසයි.

මේ අතර මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම රක්ෂණාවරණයක් ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක සේනානි හේවගේ යන මහත්වරුන් ද සහභාගි වූහ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.