දෙවි පිහිට | සිළුමිණ

දෙවි පිහිට

වූ ලියදන් කඳුකරයේ ඉතා බුද්ධිමත් හා ආගමට ළැදි පඬිවරයෙක් වාසය කළා. දිනක් රාත්‍රියේ ඔහු නිවෙස ඉදිරිපිටට වෙලා පොතක් කියවමින් සිටියා. එක්වරම පැමිණි පියාඹන රාක්ෂයෙක් පඬිවරයාගේ හිස කෙස්වලින් අල්ලා උඩට අරන් අහසට පියාඹන්න පටන් ගත්තා. කිසිදු උපකාරයක් ලබාගන්න බැරිව ඔහු රාක්ෂයාට අවනතව හිටියා. රාක්ෂයා ටිකෙන් ටික අහසේ ඉහළට ම ගමන් කළා. මෙහෙම ඉහළට යද්දි මුහුද හා ඒ ආසන්නයේ තියෙන විහාරය පඬිවරයා පැහැදිලිව දැක ගත්තා. ඒ විහාරයේ ඇති විශාල‍ දේව ප්‍රතිමාවේ දෙවියන්ගේ දකුණු අතේ විශාල යගදාවක් තියෙනවා ඔහුට දකින්න ලැබුණා. මොහොතකින් පඬිවරයා දැක ගත්තේ දේව ප්‍රතිමාවේ අතේ රඳවලා තියෙන ආයුධය දෙවියන් විසින් රාක්ෂයා දිහාට එල්ල කරන්න හදන බවයි. දේව ප්‍රතිමාවේ මුහුණේ විශාල කෝපයක් තියෙන බවත් ඔහු පැහැදිලිව දැක්කා.

මෙයින් බියට පත්වුණු රාක්ෂයා වහාම පඬිවරයාව අතහැරලා දැමුවා. ඒ නිසා ඔහු ඉතා වේගයෙන් ඉහළ අහසේ සිට පොළොවට ඇද වැටෙන්න පටන් ගත්තා. මේ වෙද්දිත් පඬිවරයා අහසින් පොළොවට වැටෙන බව දැන හිටපු විහාරයේ සිටින සිත දියුණු කළ භික්ෂූන් වහන්සේ පොළොවේ වියළි පිදුරු කන්දක් ගොඩගසා තිබුණා. භික්ෂූන් වහන්සේ මේ බව දැනගෙන ලෑස්ති වුණේ මේ පඬිවරයා හා ඔහුගේ පවුලේ අය ඉතා හොඳ බෞද්ධ බැතිමතුන් නිසයි. ඒ නිසාම අහසෙන් පොළොවට වැටුණත් කිසිම හානියකින් තොරව තමන්ගේ ජීවිතය බේරා ගන්න පඬිවරයාට අවස්ථාව ලැබුණා. ඔහුට තේරුම් ගියා කිසියම් අද්භූත යහපත් ශක්තියක් විසින් තමන් මේ උවදුරෙන් බේරාගත් බව. ඔහු භික්ෂූන් වහන්සේට ස්තූතිය පළ කරලා තමන්ගෙ ගෙදරට ආවා. කොහොම වුණත් පඬිවරයා මිය යනතෙක් ම ඔහුගේ හිසේ තිබුණු රාක්ෂයාගේ නිය සලකුණු මැකී ගියේ නෑ.

මේක චීන ජනකතාවක්.

සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ

අදහස්