මගේ පවුවලට ඒ කෙල්ලට වන්දි ගෙවන්න බෑ | සිළුමිණ

මගේ පවුවලට ඒ කෙල්ලට වන්දි ගෙවන්න බෑ

මේ වතුර බින්දුවෙ තියෙන තෙත් ගුණයවත් ‍මගෙ හිතේ නැහැ. මං හදවතින් මැරුණ මිනිහෙක්; නැත්නම් පිස්සෙක්. අර කෙල්ල හැම වෙලේ ම පශ්චාත් මරණ පරීක්ෂණ තියන්නා වගේ මගේ අතීතය ගොඩ දානවා.

නරේන්ද්‍ර නිවෙසට රථය පදවා ගෙන ගියේ පුරුද්දකට නතු වූ ලෙසිනි. මඟ දෙපස මිනිසුන් සතා සිවුපාවා පමණක් නොව ගස් කොළං ගොඩනැඟිලි විදුලි පහන් කණු පවා තමා කෙරෙහි උපන් උපහාසයෙන් හා කෝපයෙන් තමා දෙස බලා සිටින්නාසේ ඔහුගේ සිත විපරීත වී තිබුණේ හද තුළ කකියන වේදනාවක් ද ඇතිවය. පළමුව ඔහු බිය වූයේ සැත්කමකට ලක්ව ඇති හදවත යළිත් රෝගී වන්නට පටන් ගෙන ඇත්දැයි සැකයෙනි. එහෙත් රෝජා සඳපාණි තරුණිය ඇය ආසා කරන රටවල් අතරින් මවුබිම හැරුණු විට පළමු තැන ස්විට්සර්ලන්තයට හිමි වේ යැයි කී සැණින්, දරා ගත නොහැකි එහෙත් දරා ගත යුතු කෝපයකින් තමා වෙව්ලා ගියේ, අතිශයින් දුක්බර ජීවිත සිදුවීම් මාලාවක එක් සන්ධිස්ථානයක් ලෙසින් නොවේ යැයි කීමට පුළුවන්කමක් නැත.

රෝජා සඳපාණි තරුණිය “අම්මා” යැයි අමතන්නටත් ළං වෙන්නටත් කැමති ස්ත්‍රිය වූ ප්‍රියදෝණි මහමායා යකින්නක සේ නිබඳව ම තමා අසල ගැවසෙමින් වෛරී සිනා පාන්නේ රෝජා සඳපාණිට ආවේස වෙමිනි.

ප්‍රියදෝණි මහමායා කැටිව ස්විස් රටට යෑමේ සූදානමක් අතීතය තුළින් මතුවී සිත කලඹන සැටි දැනෙන විට නරේන්ද්‍ර තමා කෙරෙහි ම උපන් කෝපයකින් දැවෙන්නට විය. මේ ගැහැනුන්ගේ ආත්ම ක්‍රෑර නැත. ක්‍රෑර ඔවුන්ට ම රිදවන්නට උත්සාහ ගන්නා තමාගේ ආත්මයයි.

ඔහු නිවෙසේ ඉදිරිපස අංගණයෙහි රථය නවතා ඉන් බැස ආපසු දොර වැසුවේ පළාතම කම්පා කරවන තරමේ වේගයෙනි.

නිලන්තත්, බන්දුලත් බිය පත් මුහුණින් දුව ආවේ මේ කුමන පුදුමයක්දැයි විපිළිසර සිතෙනි. නරේන්ද්‍රට තම වාහනය මිතුරෙකු වැනි ය. බි‍ඳෙන වීදුරු භාණ්ඩයක් පරිහරණය කරන්නාසේ ප්‍රවේශමෙන් ඔහු එය පාවිච්චි කරයි. බන්දුලට වුවද එය පදවන්නට දෙන්නේ නොදීම බැරි අවස්ථාවකදී පමණී.

තමා හමුවට පැමිණි සේවක තරුණයන් දෙස නොබැලූ නරේන්ද්‍ර තම අත වූ මෝටර් රථයේ යතුර බන්දුල දෙසට විසි කළේ ය. එය අල්ලා ගැනීමට බන්දුලට නොහැකි විය.

“මොකද අත පය පණ නැද්ද?”

සලාං හඬ නංවමින් බිම වැටුණු යතුරු කැරැල්ල දෙස වරක් බැලූ නරේන්ද්‍ර ගිගිරුවේය. සේවක තරුණයෝ උනුන් මුහුණ බලා ගත්තහ.

ඔහු ගියේ පාක්ෂික දේශපාලන රැස්වීමකට යන බව පවසමින් වුණත් පාක්ෂික දේශපාලන කලකෝලාහලවලදී ඔහු උපේක්ෂා සහගතව සිටින්නෙකි.

ඉන් පසු ගිය කොතැනකදී හෝ නුරුස්නා බහින් බස්වීමකට මැදි වීද?

නරේන්ද්‍ර වේගයෙන් උඩු මහලට ගියේ ය. අතීත ස්විස් ගමනේ සූදානම දරුණු පාරාවළල්ලක් වී වර්තමාන ස්විස් ගමන සිඳ බිඳ සුනුවිසුනු කරන්නට ගන්නා උත්සාහය පරාජය කළ නොහැකි තරම් දැඩි රුදුරු ප්‍රහාරයකි.

නරේන්ද්‍ර තම යහන් ගැබට ගියේය. උදෑසන කුටියෙන් පිටතට යන විට ජනෙල් වසා ගොස් නැත. නිරිත දිග මෝසම් වැසි සමයේ වලාකුළෙන් කඩා හැලෙන ජල රේඛා තද සුළඟකට අසුවී ජනෙල් රාමු තෙත් කර ඇත.

ඔහු පහත රාමු පටිය මත රැඳුණු ජල බිඳුවකට ඇඟිල්ලක් තැබුවේය. ඇඟිලි තුඩට සීතලක් දැනිණි.

නරේන්ද්‍ර දීර්ඝ සුසුමක් හෙළුවේය. දියබිඳුව තමාට කරුණාව දක්වන්නේ යැයි සිතෙන විට යළිත් ඔහු කෙරෙන් සුසුමක් පිට විය.

“මේ වතුර බිංදුවෙ තියෙන තෙත් ගුණයවත් ‍මගෙ හිතේ නැහැ. මං හදවතින් මැරුණ මිනිහෙක්. නැත්නම් පිස්සෙක්. අර කෙල්ල හැම වෙලේ ම පශ්චාත් මරණ පරීක්ෂණ තියන්නා වගේ මගේ අතීතය ගොඩ දානවා. අමතක කරන්න මහන්සි වෙන සේරම කරුම හාර හාරා සතුටු වෙනවා. එක අතකට ඒ ළමයා ගැන තරහක් ඇති කර ගන්න එක වැරැදියි. මගෙ පවුකාරකම්වලට ඒ කෙල්ලට වන්දි වෙන්න බැහැ. අපි වගේ නෙමේ ඒ කෙල්ල කරුණාවන්තයි.”

නරේන්ද්‍ර ඉතා සෙමින් අහංකාර නිහඬ ඉරියව්වෙන් කුටිය බබළවන කළුවර අල්මාරියට ළං විය.

ස්විස් ගමන නොගොස් බැරිය. යෑමට සිත පිහිටුවා ගැනීම ද පහසු නැත.

මින් වසර ගණනාවකට පෙර මෙවන් ස්විස් ගමනක් යෑමට නියමිත වූයේ ස්විස් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගී වීමට ලත් ඇරැයුමකට අනුවය. එම ඇරැයුම ප්‍රධාන පක්ෂ දෙකක හතර දෙනෙකුටය. පෞද්ගලිකව විය හියදම් දරමින් කැමති අයෙකු කැඳවා ගෙන යාමට ද පාලනයෙන් අවසර ලැබී තිබිණි.

ප්‍රියදෝණි සමඟ යෑමට ඇත්නම් යැයි නරේන්ද්‍ර සිත උපන්නේ මහත් ආස්වාදජනක සොඳුරු සිතුවිල්ලකි.

“ළමෝ, එනවද මාත් එක්ක ගමනක් යන්න?”

ඔහු ඒ සතුට පිරි හදවතින් ඇගෙන් ඇසවේ එක් සන්ධ්‍යා කාලයක ඇගේ නිවෙසේ තේ පානය කරමින් සිටියදීය.

“කොහේ යන්නද?”

ඇය සුපුරුදු සන්සුන් හඬින් ප්‍රශ්න කළාය. නුරුස්නා කෝපයක බුබුළක් ඇතිව නැති විය.

“කොහෙ යන්නද? කොහෙ වුණත් මං එක්කනෙ ඔයා යන්නෙ?”

“ඔය ඉතින්?”

“කතා කරන්න එපා තවත්. මං දන්නවා මිනිහෙකුට බැහැ ආදරයයි විශ්වාසයයි ගෑනියෙකුට දෙන්න. ඒ වගේ ම බලෙන් ගන්න.”

ඔහු කීවේ කෝපයේ දෙවැනි බුබුළට ද ඉඩ දෙමිනි.

“කොහෙද යන්නෙ? කොහෙ වුණත් මං එනවා. කියන්න කොහෙ යන්නද මං එන්න ඕන?” ඇය ඇසුවේ ශෝකයෙනි.

“ඔන්න ඔහොම පුරුදු වෙන්නකො මාව විශ්වාස කරන්න.”

“නරේන් මට ඔයා විශ්වාස නැත්නම්, මේ විදිහට මං ඔයා ළඟ ඉන්නෙ නැහැ.”

ඇය පැවසීම තරුණ න‍ෙර්න්ද්‍ර සිත ශෘංගාරාත්මක සිතුවිලි ඇති කරවන්නක් වූයේ ඔහුටත් නොදැනීමය. ඔහුගේ කෝපය නිවී ගියේය.

“මොකක්ද ඉතින් ඔයා ඔයා ඉන්න විදිහෙ විශේෂෙ? නාභිය නොදක්වා, සළු ඇඳ බොලට දක්වා, හසුන් ළය සඟවා, සිටී මේ ළඳ ගොරව ගොරවා.”

ඔහු කීවේ මැඬගත් සිනාවක් අතරිනි.

“ඔය කවියෙ මුල්පද දෙක නම් කාව්‍යශේකරයෙ. ඒක මහා කාව්‍ය ග්‍රන්ථයක්. තොටගමුවෙ හාමුදුරුවො රචනා කරපු.”

ප්‍රියදෝණි කීවාය. ඇයට ද සිනා පහළ වී තිබිණි.

“මුල් පද දෙක තොටගමුවේ... අග පද දෙක මගෙ ගොමුවෙ. ඔයා දන්නෙ මට ගොරවන්න විතරනෙ.”

එය සරල සැහැල්ලු චෝදනාවකි. එකවර ම දැල්වී එකවර ම නිවී යන ඔහුගේ කෝපය දරා ගැනීම පහසු නැතැයි කියන දෙනෙතින් ඇය තමා දෙස බලා සිටින්නාසේ නරේන්ද්‍රට දැනුණේය.

“ප්‍රියදෝණි මේ අහන්නකෝ. අපි යන්නෙ දුර ගමනක්. ස්විට්සර්ලන්තෙට.”

“ජිනීවා ද?”

“නැහැ සූරිච්. රාජ්‍යතාන්ත්‍රික ගමනක්. මගේ වියදමින් මට පුළුවන් ඔයා එක්ක යන්න. මොකද කියන්නෙ?”

“අනේ මං යන්න ආසාවෙන් ඉන්න රටක් නරේන්. මගෙ යාළුවෙක් ස්වීඩන් කොල්ලෙක් බැඳලා දැන් ඉන්නෙ ස්විස්වල...”

“මේ. මේ. මේ. යාළු මිත්‍ර නෑගමන් යන්න පුළුවන් ගමනක් නෙමේ මේ... අපි කණ්ඩායම එකට ඉන්න ඕන.”

“වෙන කවුද යන්නෙ?”

“හොයලා කියන්නම්.”

ස්විස් රටෙහි සූරිච් නුවරට යන රාජ්‍යතාන්ත්‍රික පිරිස කවුදැයි නරේන්ද්‍ර වුවමනාවෙන් සොයා බැලුවේය. දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් තුන් දෙනෙකුටත්, අවශ්‍ය නම් ඔවුන්ගේ වියදමින් තවත් තුන් දෙනෙකුටත් යා හැකිසේ ගමන සංවිධානය වෙමින් පැවතුණේය.

ඒ සමයේ නරේන්ද්‍රගේ බැංකු ගිණුම් ක්ෂය වෙමින් තිබිණ. වැඩිමහල් සොහොයුරිය මිලයට ගත් ඉඩමක් සඳහා ඇය ඔහුගෙන් ණය මුදලක් ඉල්ලා ගත්තා පමණක් නොව බැංකු ණයකට ප්‍රධාන ඇපකරු ලෙස ඔහුගේ අත්සන ද ගත්තාය. ණය මුදල ආසු ලැබුණොත්, ප්‍රියදෝණිගේ ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳ ගැටලුව නිරාකරණය වීම පහසු කාරණයකැයි තීරණයක් ගත්තද සොහොයුරිය කියා සිටියේ ණය ආපසු ගෙවීමට තව තෙමසක කාලයක් දෙන ලෙසය.

නරේන්ද්‍රගේ ආර්ථික අපහසුතාව කෙරෙහි සංවේදී සිත් ඇති ප්‍රියදෝණි මහමායා තම රන්දම්වැල, රන්පදක්කම, රන්වළලු ජෝඩු හතර සහ මුදු දෙක බැංකුවේ උගසකට තබා මුදල් ගෙන එය නරේන්ද්‍ර අත තැබුවාය.

“මොකක්ද මේ කරපු ගොං වැ‍ෙඩ්? මාව ලජ්ජා කරනවා.” ඔහු ඇසුවේ කෝපයෙනි.

අනතුරුව ඔහු බැංකුව දුන් උකස් ලියවිල්ල පරීක්ෂා කළේ ඉතා උනන්දුවෙනි.

“කොහෙන්ද මෙච්චර වටිනා රත්තරන් බඩු? මං දැකලා නැහැ මේවා ඔයාගෙ කනේ කරේ තියෙනවා කවදාවත්.”

“ඔය මාව හදා ගත්ත අත්තම්මා මට දුන්නෙ. මං රත්තරන් බඩුවලට ආසා නැහැ.”

නරේන්ද්‍රගේ සිත සැලෙන්නට විය. ඔහු ඇය දෙස බලා සිටියේ දයාව සහ අනුකම්පාව මුසු කරුණාවෙනි. තමා ඇය කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳව ඇය තමා කෙරෙහි සැක සිතින් පසුවන්නේ යැයි තමා තුළ වූ ළපටි අපේක්ෂා භංගත්වය ඇගේ විශ්වාසය විසින් පිස හැර පිරිසුදු කර ඇතැයි ඔහු සිතුවේ සතුටෙනි.

“මහාමායා.”

ඔහු ඇය දෙඅතින් වැලඳ හිස් මුදුන මත තම නිකට තබා සිහින් හඬින් කොඳුරන්නට විය. මින් පෙර ඔහු ඇය මහමායා නමින් අමතා නැත.

“මං මේවා ඉක්මනට බේරලා දෙන්නම්. ඇත්තට ම මට ලජ්ජා හිතෙනවා. ඔයා ගැන දුකයි මගෙ දරුවා.”

“නරේන් ඔයා මේ ගැන හිතන්න එපා. මං ආසයි ඔයත් එක්ක නිල් අහසේ ඈත රටකට පියාඹන්න. අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. මං නිවාඩු ඉල්ලුම් පත්‍රයකුත් දැම්මා.”

ඇය සිටියේ සොම්නස් ගඟුලක ගැඹුරුම පත්ලේ දෙපය තබා ගෙන සොඳුරු මිහිරි සිනා උතුරවන්නාසේ ය.

නරේන් උකස් ලියැවිල්ල ඇගෙ අතින් උදුරා ගෙනැවිත් කවරයක දමා ඔහුගේ ප්‍රෞඩ කළුවර ලී අල්මාරියේ ලාච්චුවක තැන්පත් කළේය. එය තවමත් එතැන තිබෙනවා විය හැක.

නරේන්ද්‍ර අල්මාරිය ඇරියේය. ලාච්චුව පිටතට ඇද්දේය. ලාච්චු මුල්ලක තැන්පත් කළ ලියුම් කවරය පිටතට ගත්තේය. එතුළ උකස් ලියැවිල්ල නැත. නරේන්ද්‍ර තමාට වැරදුණු තැන ‍හෝ මතකය ගිලිහී ගිය තැන සොයන්නට උත්සාහ ගත්තේය. සියලු උත්සාහයන් අසාර්ථක විය. ප්‍රියදෝණි මහාමායා මායාව තවත් වරක් තමා පරාජය කර ඇතැයි උපන් තැති ගැන්මෙන් නරේන්ද්‍රගේ සිත ගැහෙන්නට විය. ඔහු කවරය දකුණත මිටට ගෙන තදින් මිරිකා පොළොවේ ගැසුවේ වෙව්ලමිනි. අනතුරුව ඔහු එම අතින් ම කළුවර අල්මාරියට පහරක් එල්ල කළේ ස්වකීය හෘද සාක්ෂියේ දඬුවමට යට වෙමිනි. අත්ල පිටත්ල රිදුම් දෙන්නට විය. එහෙත් කළුවර අල්මාරිය අහංකාර ලීලාවෙන් ඔහු කරන්නේ කුමක්දැයි බලා සිටිනවා පමණක් නොව කාමරයේ සියලු ගෘහභාණ්ඩයන්ට මේ විපාකය බලන්නැයි ආරාධනා කරන්නා සේ ඔහු දුටුවේය.

පෙම්වත් අසරණ ගැහැනියකගේ පරම්පරාගත අභරණ උකස් කොට බැංකුවෙන් ලබා ගත් මුදල් වියදම් කොට ඇය විදේශයට කැඳවා ගෙන යාමේ කාරුණික මෙන් ම දැඩි තෘෂ්ණාබර අවශ්‍යතාව ඔහු සිතින් ගිලිහී ගියේ කෙසේදැයි ඔහු සිතන්නට උත්සාහ ගත්තේය. සමුද්‍රා ඔහු වෙත ආවේ සරදම් සිනා පාමිනි.

ස්විස් යන දේශපාලන කණ්ඩායමට සමුද්‍රා ලෙන්දොර මන්ත්‍රිවරිය ද ඇතුළත් කර ඇති බව ඔහුට කීවේ ඔහුගේ මන්ත්‍රී මිතුරෙකි.

දිනක ඔවුන් දෙදෙනා දහවල් ආහාර ගනිමින් සිටියදී සමුද්‍රා ලෙන්දොර මන්ත්‍රිවරිය ඔවුන් වෙත ආවාය.

“සමුද්‍රා මන්ත්‍රිතුමිය කෑම කාල ද?”

මිතුරු මන්ත්‍රිවරයා ඇසුවේ මිත්‍රශීලීවය.

“කෑම නම් කෑවා. මං ආවේ පුංචි පුංචි කරුණු කාරණා ටිකක් ගැන දැන ගන්න.”

“කාගෙන්ද? මගෙන් ද?”

“නෑ නෑ නරේන්ද්‍ර මන්ත්‍රිතුමාගෙන්”

“ඔන්න එහෙනම් මං ගියා. මට වැඩ ටිකක් තියෙනවා. නරේන්ද්‍ර සමුද්‍රා මන්ත්‍රිතුමියට වුවමනා කරන කරුණු කාරණා ටික අඩු නැතුව හොඳට කියලා දෙන්න.”

මිත්‍ර මන්ත්‍රිවරයා ඈතට යනතුරු සමුද්‍රා ලෙන්දොර මන්ත්‍රිවරිය ඇස පිය නොහෙළන දෙනෙතින් ඔහු දෙස බලා සිට අනතුරුව නරේන්ද්‍රගේ මුහුණ බැලුවේ ළගන්නා සුළු ප්‍රේමාන්විත සිනාවක් මුහුණ් ඇතිවය.

“ඉතින් කියන්න සමුද්‍රා මැතිනිය, මොකක්ද මගෙන් දැන ගන්න ඕන අති විශේෂ සුවිශේෂි කරුණු කාරණා?”

“නරේන් ස්විස් යනවා නේද?”

ඇය වඩාත් කෝමල වූවාය. නරේන්ද්‍ර වට පිට ඈත මෑත බැලුවේය.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.