ගුරු සේවයේ රසකතා | සිළුමිණ

ගුරු සේවයේ රසකතා

දඬුවමේ පල විපාක

වෙරළබඩ වාසය කරන දෙමවුපියන්ට එකල සිය දරුවන්ට අධ්‍යාපනය දීමට විශේෂ ඕනෑකමක් තිබුණේ නැත. ආගමික කටයුතු සම්පූර්ණ වූ සැණෙන් දරුවා පාසලින් අස්කර ගනී. නැතිනම් පාල් ගමන ඉබේම නවතී. ඒ තම රැකියාවට දරුවාගේ සහාය ලබා ගැනීමටය. දිනක් ගුරුවරයෙක් ශිෂ්‍යයකුට වේවැලෙන් පහර දී දණ ගස්වා ඇත.

ළමයා ගුරුවරයා මඟ හැරෙත්ම පොත් ටිකක් රැගෙන ගෙදරට දිව්වේය. දැලෙන් මාළු බේරමින් හුන් මවට දරුවා දැක තරු පෙනිණ. දරුවා අඬමින් සිද්ධිය කීවේ ගුරුවරයාට හොඳ පාඩමක් උගන්වන්න සිතාගෙනය. අම්මාට ද ජුවල් නැග්ගේය. නාලාගිරි ඇතා පාර දෙපස දූවිලි නඟාගෙන එන්නා සේ පරුෂ වචනයෙන් බැණ වදිමින් පාසල වෙතට ආවේ ගුරාගේ කලිසම ගලවනවාය කියමින්ය.

විදුහල්පතිතුමා සිද්ධිය ගැන දැනුවත් කර සිටි හෙයින් මවගේ ගාලගෝට්ටිය දෙසට වේවැලක් රැගෙන ඉක්මනින් ගියේය.

මවගේ අසභ්‍ය වාග්මාලාව හා කෑගැසිල්ල පාසල දෙවනත් කරවයි. සියල්ලෝ තුෂ්නිම්භූතව බලා සිටිති. විදුහල්පතිතුමා ඇයගේ කෑගැසිල්ල අබිබවා ‘දුවපිය යන්ඩ පරට්ටි’ කියා මවට වාග් ප්‍රහාරයක් එල්ල කළේ වේවැලක් සොලවමිනි. වැඩේ වැරැදුණු බව දැනගත් මව ආපසු හැරී පිටුපස නොබලාම දුවන්ට වූවාය.

ප්‍රශ්නය එතැනින් විසඳුණේය. පාසල තුළ සිනා සාගරයකි.

ගුරු මණ්ඩලය විදුහල්පතිතුමා වටකර ගත්හ. විදුහල්පතිතුමා ඒ ඒ තැනට ඒ ඒ විදියට‍ උචිත විසඳුම් යෙදිය යුතු යැයි පැහැදිලි කර දුන්නේය. එසේ නොකළානම් මේ අම්මණ්ඩි පාසල් භූමියේ ජංජාලයක් කරනවා යැයි කියා සිනාසෙමින් කාර්යාල කාමරය ෙවත පිවිසියේය.

ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු
විශ්‍රාමලත් විදුහල්පති - මාරාවිල 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.