වැව් ගම් සංවර්ධනයට දත්ත අවශ්‍යතා | සිළුමිණ

වැව් ගම් සංවර්ධනයට දත්ත අවශ්‍යතා

ජල කළමනාකරණයේදී රහසින් වැරැද්දක් කරන්නේයැයි සැළකෙන පුද්ගලයා, ඔහුටත් නොදැනෙන සේ සැනෙකින්ම තහවුරු කරගැනීමට නම් ඔත්තු බැලවිය යුතුමය. ගමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිලධාරීහු ඔත්තු බැලවීමට නොයායුතුය, ඔත්තු බලවා ගතයුතුය.

ගමේ බහුතරයක් සමග ව්‍යාපෘති මෙහෙයවන්නෝ හොඳහිත පවත්වාගෙන ඇත්නම් කිසිම දෙයකට සෘජු මැදිහත්වීමක් නොමැතිව හිතවත් ගම්මුන්ලවාම ඒ කාර්යය දෙකම ඉටු කරවාගත හැකිය.

මනාව කළ පූර්ව අධ්‍යයනයන්ගෙන් තොරව ලහි ලහියේ එහෙන්් මෙහෙන් එකතු කර ගත් දත්ත යොදා ගනිමින් ව්‍යාපෘති වාර්තා සකස් කොට ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම අද මෝස්තරයක් බවට පත්වී තිබේ. විවිධ විශේෂිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීමේ ක්‍රම බහු විධය. මනෝ විද්‍යාත්මක අධ්‍යයනවලදී හෝ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනවලදී හෝ අවශ්‍ය දත්ත එකතු කිරීමේ ක්‍රම එක හා සමාන නොවෙත්. මනසේ දුර්වලකම් සහ ශාරීරික දුර්වලකම් අතර සම්බන්ධතාවයක් නැත්තේ නොවේ. එහෙත් ඒ විෂය දෙකෙහිම රෝග ලක්ෂණ පෙන්වීම හැමවිටම එකහා සමාන නොවත්. එබැවින් දත්ත එකතු කරන ක්‍රමද වෙනස් වෙත්.

මෙහි ඇති රූප රාමුවෙන් පෙන්නුම් කෙරෙනුයේ ග්‍රාමීය ආර්ථික සහ සමාජයීය සංවර්ධනයට පමණක් අදාල ව්‍යාපෘති සකසා ඒවා ක්‍රියාත්මක කිරීමේදී වුවද අවශ්‍ය දත්ත එකතු කළයුතු ආකාර ගැන පමණි.

මෙහි මුල් හරස් තීරුවේ ප්‍රධාන දත්ත එකතු කිරීම් වර්ග පහෙන් පළමුවැන්න නිරීක්ෂණය කිරීමය. ඒ සඳහා ක්ෂේත්‍රයට වරක් නොව කිහිපවරක්ම යෑම වැදගත්ය. නිරීක්ෂණය කළවිට ව්‍යාපෘතියකට නතුකොටගෙන ඇති ප්‍රදේශය ගැන පැහැදිලි චිත්‍රයක් මනසෙහි ඇඳ ගත හැකිය. ඒත් එක්කම, නියත මැනීම්ද කළ හැකිය. වැවක හොරොව්වක දිය බැස්මේ ගැඹුර, වානේ දිග සහ උස, වෑ කන්දේ පළල ආදිය නියත වශයෙන්ම මැන ගත හැකි ඒවාය. විශේෂයෙන්ම වැව් ප්‍රතිසංස්කරණයෙහිදී ඉංජිනේරුවරුනට නිරීක්ෂණ සහ මැනීම් අත්‍යවශ්‍යය. උදාහරණයක් වශයෙන් වැවක ජල ධාරිතාවය වැඩි කරගැනීම සඳහා වැවකින් හාරාගත් පස් භාවිතා කොට රොන්මඩ දූපත්, ජල ගිලුමට කෙතරම් ඉහළින් ගොඩ ගැසිය යුතුද නැතහොත් එහි අලුත් පස කෙතරම් පහත් කරමින් තැලිය යුතුද යන්න නිගමනය කළ යුතුව තිබේ. ඒ සඳහා තක්සේරු කළ හැකි මුදල් වියදම් කොපමණදැයි යන්න නිගමනය කිරීමටද නියත මැනීම් අවශ්‍යයි.

සමහරවිට "ඔත්තු බැලවීම්" අනුචිත මෙන්ම හාස්‍ය දනවන එකක් යැයි ඔබට සිතෙන්නට පිළිවෙන. නමුත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවිය යුතුය. ලෝක යුද්ධය වැනි තීරණාත්මක බල අරගල වලදී ඒ ක්‍රම යොදාගැනීමේ වරදක් නොමැති නම් ව්‍යාපෘති මෙහෙයවන පිරිසක් මෙය කිරීමේ වරදක් නැත. අනෙක් අතට ව්‍යාපෘති ක්‍රියාත්මක කරවන්නෝම මේ ක්‍රම භාවිතා කරන බව ඔවුන්ට අමතකය. වැවක හොරොව්වක් හොර රහසේ විවෘත කොට පහළ කුඹුරකට ජලය ලබා ගන්නේ කවුදැයි දැන ගැනීමට නම් ඔත්තු බැලවීම අත්‍යාවශ්‍යය විය හැකිය. ජල කළමනාකරණයේදී රහසින් වැරැද්දක් කරන්නේයැයි සැළකෙන පුද්ගලයා, ඔහුටත් නොදැනෙන සේ සැනෙකින්ම තහවුරු කරගැනීමට නම් ඔත්තු බැලවිය යුතුමය. ගමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිලධාරීහු ඔත්තු බැලවීමට නොයායුතුය, ඔත්තු බලවා ගතයුතුය. ගමේ බහුතරයක් සමග ව්‍යාපෘති මෙහෙයවන්නෝ හොඳහිත පවත්වාගෙන ඇත්නම් කිසිම දෙයකට සෘජු මැදිහත්වීමක් නොමැතිව හිතවත් ගම්මුන්ලවාම ඒ කාර්යය දෙකම ඉටු කරවාගත හැකිය.

ලබාගතහැකි ප්‍රධාන ඓතිහාසික දත්ත දෙවර්ගයකි. එනම් ලිඛිත සංඛ්‍යාත්මක දත්ත සහ ලිඛිත විස්තරාත්මක තොරතුරු සහිත දත්තය. මේ දෙවර්ගයටම අයත් දත්ත ප්‍රභේද ඉහත වගුවෙහි දක්වා ඇත. ගමක කුඹුරු ලේඛන, ඉඩම් ආරවුල් සහ දිය හබ පිළිබඳ අදාළ බලධාරීන් වෙත ලියා ඔප්පුකර ඇති පෙත්සම්, සිතියම් සහ සංඛ්‍යාත්මක තොරතුරු ඇතුලත් නිමකල ගම් සැලැසුම් (Final Village Plan), ව්‍යාපෘතියක් දියත් කර ඇති හෝ දියත් කිරීමට හෝ බලාපොරොත්තුවන ප්‍රදේශයට අළලා කලින් කර ඇති විෂය විශේෂිත විද්වත් අධ්‍යයන, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩාකරගෙන ඇති සංඛ්‍යාත්මක කාලගුණ තොරතුරු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සපයා ඇති සහන සේවා තොරතුරු ආදිය ලබාගත හැකි ඓතිහාසික තොරතුරුවලින් සමහරෙකි.

මේ හා සමානව හෝ ඇතැම්විට ඊටත් වඩා වැදගත් වනුයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ප්‍රදේශයක ජීවත්වන මිනිසුන් සමඟ හැකිතරම් සම්මුඛ සාකච්ඡා පවත්වා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමය. ප්‍රධාන වශයෙන් සම්මුඛ සාකච්ඡා, දෘෂ්‍යමාන සම්මුඛ සාකච්ඡා සහ අදෘෂ්‍යමාන සාකච්ඡා වශයෙන් වෙන්කොට දැක්විය හැකිය. ඒවායේ උප ප්‍රභේදද ඉහත සඳහන් වගුවෙහි දක්වා තිබේ.

විශේෂයෙන්ම දෘෂ්‍යමාන සම්මුඛ සාකච්ඡාවලදී තොරතුරු අසන්නා ඉතා සංවරශීලීව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය යුතුය. මුහුණට මුහුණලා කෙරෙන මේ සම්මුඛ සාකච්ඡාවලදී තොරතුරු ඉල්ලා සිටින්නා තොරතුරු ලබා දෙන්නාගේ ගෞරවය රැකෙන ආකාරයෙන් හැසිරිය යුතුය. තොරතුරු අසන්නා ප්‍රශ්න කරන්නෙකුට වඩා තොරතුරු දෙන්නාට සවන්දී සිටින්නකු විය යුතුය. එවිට තොරතුරු සපයන්නා තොරතුරු ඉල්ලන තැනැත්තට ගරු කරනු ඇත.

තොරතුරු එක් රැස් කිරීම ව්‍යාපෘතිය සැකසීමට පමණක් සීමා නොකළයුතුය. බාහිර බලපෑම් නිසා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් යද්දී නොයෙකුත් දුෂ්කරතාවලට පැමිණිය හැකිය. ඒ අනුව එහි නොයෙකුත් වෙනස්කම් කිරීමටද සිදුවනු ඇත. එනිසා වඩාත්ම ප්‍රඥාගොචර වනුයේ ව්‍යාපෘතිය සැකසීමට එකතු කළ දත්ත වලට අමතරව අත්‍යාවශ්‍යම දත්ත යළි යළිත් එකතු කර ගැනීමය. මෙසේ ව්‍යාපෘති කාලය සිසාරාම දත්ත එකතු කරමින් ඒ දත්ත විශ්ලේෂණය කරමින් සිටිය යුතුය. මෙය ද ව්‍යාපෘතිය මෙන්ම ඉදිරියට ගමන් කරමින් තැබිය යුතුය. එවිට ව්‍යාපෘතිය කාලීනව මෙහෙයවීමට පහසුවෙනුද ඇත.

එක් රැස්කර ඇති දත්තවල විශ්වාසනීයත්වය ව්‍යාපෘතියක් මැද හරියේදී සහ ආයුකාල අවසානයේදී මනා ඇගයීමකට ලක් කිරීමට නම් ව්‍යාපෘතිය මෙහෙයවීමේ කාර්යාලය තුළ කාලීන මෙන්ම නිරවද්‍ය දත්ත තිබිය යුතුමය. කිසියම් ව්‍යාපෘතියක් සතුව විශ්වාසනීය දත්ත නොමැතිවිට ඒ ව්‍යාපෘතියට ලැබෙන ඇගයීමද දුබල එකක් වනු ඇත. එවිට පසු කාලයකදී දියත් කිරීමට බලාපොරොත්තුවන තවත් ව්‍යාපෘතියකට එම දුබල ඇගයීමෙන් ලැබිය හැකි ප්‍රයෝජනද අල්ප වෙනු ඇත.

එබැවින් දත්ත එකතුකර ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. නොයෙකුත් වූ දත්ත එකතු කිරීමට අවකාශ තිබූ පලියටම කිසියම් ක්‍රමයක් හෝ දෙකක් හෝ අපරික්ෂාකාරීව අනුගමනය කරමින් දත්ත එකතුකළ යුතු නොවේ. අවශ්‍ය දත්ත මොනවාදැයි මුලින්ම නිගමනය කොට, ඒවා ලබා ගැනීමට වඩාත් උචිත දත්ත එක් රැස්කිරීමේ ක්‍රම භාවිතා කළ යුතුය.

ලබාගෙන ඇති දත්ත කාලීනව වෙනස් වෙවී යන හෙයින් ඒවායේ අගයයන්ද වරින් වර වෙනස්වීම ගැන විමසිල්ලෙන් සිට ඒ දත්ත යාවත් කිරීමත් දත්තවල හිඩැස් ඇත්නම් ඒවා පුරවා ගැනීමත් කලින් එකතු කර නොගත් දත්ත වෙනස් වී ඇත්නම් ඒවා යළි යාවත්කාලීන කිරීමද ව්‍යාපෘති මතපදනම් සංවර්ධන කාර්යයන්හිදී බෙහෙවින්ම වැදගත් වෙනු ඇත. දත්ත එකතු කර ගැනීම ඉහත සඳහන් පරිදි විධිමත් කරගත්විට සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරගෙන යෑම අපහසු නොවනු ඇත.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.