රටේ ප්‍රධානතම පරිසර ගැටලුවට දේවි බාලිකාවෙන් තිරසාර විසඳුමක් Zero waste Project | සිළුමිණ

රටේ ප්‍රධානතම පරිසර ගැටලුවට දේවි බාලිකාවෙන් තිරසාර විසඳුමක් Zero waste Project

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආරාධිතයන් වෙත විදුහල්පතිනිය විසින් පළමු පොහොර උරය පිරිනමන ලද අවස්ථාව ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

අඳුරේ අතපත ගාමින් අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා එක් පහන් සිළුවක් හෝ දල්වමින් අඳුර පලවා හරින්නට උත්සාහ කරන්නාක් මෙන් රටෙහි දැවෙන කසළ ප්‍රශ්නයට සරල විසඳුමක් හඳුන්වා දෙමින් දේවි බාලිකාවන් රටට ලබා දී ඇති ආදර්ශය වැදගත්ය.

වර්තමානයෙහි ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ප්‍රධානතම පාරිසරික අභියෝගය වන කසළ ගැටලුවට විසඳුම් සොයමින් අදාළ බලධාරීන් කල් මරමින් සිටින සමයෙක, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඊට විසඳුමක් දෙමින් රටට ම ආදර්ශයක් සපයන්නට කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලය සමත්ව සිටී. ඒ එදිනෙදා පාසල් භූමියෙහි එක්රැස් වන ගස්වල කොළ රොඩු මෙන් ම පාසල් බොජුන් හලෙහි ඉතිරි වන ඉඳුල් ද එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන Zero waste ව්‍යාපෘතිය රටට හඳුන්වා දෙමිනි.

කොළඹ හා තදාසන්න නගරබද පාසල්වල එකතු වන කුණු කසළ තවදුරටත් නගර සභාව මඟින් බැහැර නොකරන බවට නගර සභාව නිවේදනයක් නිකුත් කළේ පසුගිය වසරේදීය. දිනකට පාසල් බිමෙහි එක් රැස්වූ කොළ කුණු රොඩු හා ඉඳුල් වැනි ඝණ අපද්‍රව්‍ය කිලෝ 50 - 60 ක් දෛනිකව ඉවත් කරන්නට නොහැකි වුව හොත් පාසලේ සොඳුරු පරිසරයටත් දැරියන්ගේ සෞඛ්‍යයටත් ඇති වන තර්ජනය සුළුපටු නොවන බව වටහාගත් විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මිය කසළ කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අලුතින් සිතන්නට පටන් ගත්තාය. දෛනිකව පාසලේ එකතු වන කුණු කසළ ඉවත නොදා එක් රැස් කර කොම්පෝස්ට් පොහොර තනා වත්තේ වැවෙන පලතුරු, එළවුළු සහ මල්ගස්වලට පොහොර ලෙස යොදා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇරැඹීඹට ඇය අදිටන් කළාය. ඒ සඳහා පාසලේ තාක්ෂණවේද අධ්‍යයන අංශයේ සහය ලබා ගැනීමට ඇය තීරණය කළාය.

ක්‍රමවත්ව කසළ කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණය හා පුහුණුව සිසු දැරියනට ලබා දෙමින් එම කාරියට මූල පුරන්නට ඇය විවිධ ආයතන හා පුද්ගලයන් වෙතින් උපදෙස් පැතුවාය. ඒ පිළිබඳ තොරතුරු සොයමින් විවිධ අත්හදාබැලීම් කරන අතරතුරය විදුහල්පතිනියට මහරගම නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී අනුරුද්ධ වීරවර්ධන මහතා හමුවූයේ. තමන්ගේ කුණු කසළ අනුන්ට බරක් වන්නට ඉඩ ‍නොදී ඵලදායී අයුරින් වැඩක් ගන්නට වෙහෙසෙන දේවි බාලිකාවන්ට අත හිත දෙන්නට වීරවර්ධන මහතා ඉදිරිපත් වූයේ සතුටිනි. ඔහුගේ ද, ගුරු දෙගුරුන්ගේ ද උපකාර මත 2017 සැප්තැම්බර් හය වැනිදා තාක්ෂණවේදය හදාරන ශිෂ්‍යාවන් විසින් Zero Waste Project නමින් සිය කාබනික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘථිය ආරම්භ කරනු ලැබිණි. උසස් පෙළ තාක්ෂණවේද අංශයේ අධිපතිනි කාංචනා විජේකෝන් සහ ජෛව පද්ධති තාක්ෂණ විෂය භාර ආචාරිනී කේ.වයි. සුරංජි මහත්මියගේ උපදෙස් මත ජෛව පද්ධති තාක්ෂණය හදාරන සිසුවියෝ Zero waste වැඩසටහන ක්‍රියාවට නංවති. ජපානයේ පිළිගත් කසළ කළමනාකරණ ක්‍රමවේදයක් අනුව මේ කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරේ. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආචාරිනී කේ. වයි. සුරංජි මෙනෙවිය සැකෙවින් විස්තර කළේ මෙසේය.

දිනකට පාසලෙහි එක් රැස්වන ඝන අපද්‍රව්‍ය කිලෝ ග්රෑම් 50ක් - 60ක් පමණ සතියේ දින පහ අනුව වෙන් වෙන්ව එකතු කෙරේ. අනතුරුව පලතුරු හා එළවුළු පොතු මී කිරි ලුණු ඊස්ට් දුඹුරු සීනි සහ සෝයා සෝස් සමඟ මුසු කර ක්ෂුද්‍ර ජීවී ද්‍රාවන දෙකක් සාදා ගනු ලැබේ. මේ ද්‍රව්‍ය දෙක දහයියා සහ සහල් නිවුඩු සමඟ මිශ්‍ර කර එම ඝන මාධ්‍යයේ ක්ෂ්ද්‍ර ජීවීන්ගේ ගහණය වර්ධනය කර ගැනේ. මේ ඝන මිශ්‍රණය පාසල් බිමෙන් එකතු කර කුඩා කැබලි බවට පත් කරගත් ඝන අපද්‍රව්‍ය හා ඉඳුල් සමඟ මිශ්‍ර කර පාත්තියක් සකස් කරගනු ලැබේ. මේ මිශ්‍රණය සහිත පාත්තිය සති 3 - 4 දක්වා තබන විට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි ඇති කාබනික ද්‍රව්‍ය ඉක්මනින් දිරාපත් වේ. එලෙස දිරා යන කාබනික අපද්‍රව්‍ය පොහොර බවට පත් වේ. ඒ අනුව ඉහත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියෙහි අතුරු ඵලයක් ලෙස කොම්පෝස්ට් පොහොර නිපදවේ. මෙලෙස සති 4ක් ඇතුළත කොම්පෝස්ට් පොහොර කිලෝග්රෑම් 50ක් පමණ දැනට නිෂ්පාදනය කෙරෙන අතර ඒවා පාසල් භූමියෙහි සිටුවා ඇති පලතුරු, එළවුළු සහ මල් පාත්තිවලට පොහොර ලෙස යොදා ගන්නා බව සුරංජි මහත්මිය පවසයි. පාසලේ භාවිතයෙන් පසුව ඉතිරි වන අතිරික්ත පොහොර විදුහලේ ගුරු මණ්ඩලයට හා බැහැර පුද්ගලයන්ට අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු යොදන බවද ඇය කියයි.

‍එලෙස නිපදවන ලද පළමු කොම්පෝස්ට් පොහොර මලු කිහිපයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ත සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවි රත්නවේල් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් වෙත විදුහල්පතිනිය විසින් පිරිනමන ලදි.

සුළුවෙන් ඇරැඹුවද මේ Zero waste කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාකාරීත්වය අතින් සුළුපටු වූවක් නොවේ. කසලවලින් පොහොර නිෂ්පාදනය දක්වා සිදු කෙරෙන ක්‍රියාවලිය සඳහා සැබැවින් ම කම්හලක් ඇවැසිය. ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ගොඩනැඟිල්ලක් සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වෙයි. එහිදී එම බරෙන් නිදහස් වන්නට දේවි දියණියන්ට අතහිත දෙන්නට පාසලේ දැරියක ගේ පියකු වන ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවී රත්නවේල් මහතාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලැබිණි. ඔවුන් විසින් ඉදි කරන ලද කුඩා කම්හලෙහි කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දැරියන්ට සහාය වීමට තවත් දැරියකගේ පියකු වන ශාන්ත මහතා ඉදිරිපත් විය. ජෛව තාක්ෂණවේදය විෂයය භාර ගුරුතුමියන් හා දැරියන්ගේ වෙහෙස මහන්සියෙන් පොහොර නිපදවෙන මේ zero waste කුඩා කම්හල ලංකාවේ ප්‍රථම වරට පාසලක ඇරැඹූ පොහොර නිෂ්පාදන කම්හලද වෙයි.

නිරතුරු පරිසර හිතකාමී පිළිවෙතක් අනුගමනය කරන දේවි බාලිකා විද්‍යාලය ජෛව තාක්ෂණ අංශයේ විද්‍යාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගන්නේ පාසලෙහි ඉදිකර ඇති ජීව වායු ඒකකයෙනි. පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් 100% ක්ම මිදුණු දේවි බාලිකාව අද ඔවුන් විසින් ම වවාගත් එළවුළු මල් හා පලතුරුවලින් ස්වයංපෝෂිත වෙමින් සිටී. ආරම්භයේ පටන්ම විධිමත් අධ්‍යාපනය අතින් දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වා දුන් දේවි බාලිකාවන්ට, අවිධිමත් විෂය මාලාවන් හඳුන්වා දෙමින් සැඟවුණු විෂය මාලා තුළින් පරිපූර්ණ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සිය අරමුණ වූ බවද විදුහල්පතිනිය පවසයි.

පාසල් විෂය මාලාවට අමතරව ක්‍රීඩා නැටුම්, ගැයුම් වැයුම්, මැහුම් ගෙතුම්, කෘෂිකර්මය, ගෘහ විද්‍යාව, පරිගණක තාක්ෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම වෘත්තියාභිමුඛ අධ්‍යාපන පාඨමාලා ද හඳුන්වා දෙමින් පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ශිෂ්‍යාවනට ලබා දෙන බවද ඇය කියයි.

අඳුරේ අතපත ගාමින් අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා එක් පහන් සිළුවක් හෝ දල්වමින් අඳුර පලවා හරින්නට උත්සාහ කරන්නාක් මෙන් රටෙහි දැවෙන කසළ ප්‍රශ්නයට සරල විසඳුමක් හඳුන්වා දෙමින් දේවි බාලිකාවන් රටට ලබා දී ඇති ආදර්ශය අතිශයින් වැදගත් වන්නක් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. සම්මත විභාග ප්‍රතිඵල අතින් 100%ක සාමර්ථ්‍යයක් දක්වන දේවි බාලිකා විදුහල තමා සතු කුඩා ඉඩකඩ හා අවම සම්පත් ප්‍රයෝජනයට ගෙන අරඹා ඇති මේ වැඩසටහන රටෙහි දැවෙන ප්‍රශ්නයකට කදිම විසඳුමක් සපයන්නට සපයන ලද මාහැඟි ආදර්ශයක් වන බවද ඒ මහතා කීය.

මේ වසර අවසානය වන විට මෙතෙක් පැවැති ඉගැනීම් - ඉගැන්වීම් ක්‍රමය වෙනුවට නව තාක්ෂණ ක්‍රමවේද මඟින් දැනුම වර්ධනය කර ගැනීමට හැකිවන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් රටේ සෑම පාසලකට ම හඳුන්වා දෙන බවද ලේකම්වරයා කීය. ඒ මඟින් අවිධිමත් විෂය මාලාවන් හඳුන්වා දෙමින් රැකියාභිමුඛ අධ්‍යාපන රටාවකට රට මෙහෙයවනු ඇත. කටපාඩමින් විභාග සමත්වන හිස් උගතුන් වෙනුවට රට දැය සමයට වැඩදායක අර්ථවත් උගතුන් බිහි කිරීම එම වැඩපිළිවෙළෙහි අරමුණ බවද ලේකම්වරයා පවසයි. ලංකාවේ ප්‍රථම ආදර්ශ පාසල් කසළ කළමනාකරණ හා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් දේවි බාලිකා විද්‍යාලය එම සිහිනය යථාර්ථයක් බවට පත්කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබාදී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.