ගැබ් ගෙල පිළිකාවෙන් වළකින්න නොමිලේ පැප් පරීක්ෂාවක් කරගන්න | Page 2 | සිළුමිණ

ගැබ් ගෙල පිළිකාවෙන් වළකින්න නොමිලේ පැප් පරීක්ෂාවක් කරගන්න

කාන්තාවන්ට වැල‍ඳෙන පිළිකා අතර දෙවැනි තැන හිමිවන්නේ ගැබ්ගෙල පිළිකාවට. ගැබ් ගෙල පිළිකාවක් මුල් අවධියේ කිසිදු වේදනාවක් නොදක්වයි. අවධානයෙන් සිටිමින් ඊට අදාළ පරීක්ෂණ කර ගැනීමෙන් ඔබට ගැබ්ගෙල පිළිකාවෙන් වැලකෙන්නට පුළුවන්.

කාන්තාවන් තමන්ගේ රූ සපුව ගැන උනන්දු වෙන තරමට සෞඛ්‍යය ගැන උනන්දු වෙන්නේ නෑ. ගෙදරක බිරිය හා අම්මා වෙන ඇය වෙහෙසෙන්නේ සිය සැමියාගේත් දරුවන්ගේත් සෞඛ්‍ය හා පෝෂණය ගැන. නිවැසියන් ගේ දුක සැප ගැන නිරන්ත‍රයෙන් කැපවෙන ඇයගේ සෞඛ්‍ය ගැන හොයා බලන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා හොඳටම අසාධ්‍ය වුණාට පසුවයි. කාන්තාවන්ට හැදෙන ලෙඩ රෝග අතරින් ‘පිළිකාව’ නිහඬවම ඇය බිලිගන්නා මාරයෙක්. පිළිකා‍ව භයානක වන්නේ එය මුල් අවධියේදී එහි රෝග ලක්ෂණයක් හෝ වේදනාවක් නොදැනෙන හෙයින්. බොහෝ විට පිළිකාවක රෝග ලක්ෂණ මතු වන්නේ එය ශරීරයේ අවයව කරා පැතිර ගිය පසුවයි.

පිළිකා මාරාන්තිකයි එහෙත් කල්තියා හඳුනාගත් විට සුව කළ හැකියි. කාන්තාවන්ට වැල‍ඳෙන පිළිකා අතර පළමු තැන හිමි වෙන්නේ පියයුරු පිළිකාවට. දෙවැනි තැන හිමිවන්නේ ගැබ්ගෙල පිළිකාවට. ගැබ් ගෙල පිළිකාවක් මුල් අවධියේ කිසිදු වේදනාවක් නොදක්වයි. අවධානයෙන් සිටිමින් ඊට අදාළ පරීක්ෂණ කර ගැනීමෙන් ඔබට ගැබ්ගෙල පිළිකාවෙන් වැලකෙන්නට පුළුවන්.

ගැබ්ගෙල පිළිකාව ඇතිවන්නේ ගැබ්ගෙල ආශ්‍රිතවය‍. හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගු කලක් පැවැතීමෙන් ගැබ්ගෙල පිළිකාව ඇති වේ. මෙම පිළිකාව ඇති වීමට පෙර පූර්ව පිළිකා අවධියක් තිබේ. පූර්ව පිළිකා අවධියේදී ‍‍රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෙයින් පැප් පරීක්ෂණයක් මඟින් ‍රෝගය හඳුනාගත් විට නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වළක්වා‍ගත හැකි ය.‍

ගැබ්ගෙල පිළිකාව සඳහා වන පැප් පරීක්ෂණය වයස අවුරුදු 35 ට හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී නොමිලේ සිදු කරගත හැකිය.

ගැබ් ගෙල පිළිකාවෙහි රෝග ලක්ෂණ කිහිපයකි. ඒවා දැන සිටීමෙන් සැකයක් ඇත්නම් ඔබට ද පැප් පරීක්ෂාවක් කරවා ගන්නට පුළුවන.

යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය

ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය

යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම

මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.

මෙම රෝග ලක්ෂණ පිළිකාවක් නොවන රෝග තත්ත්වවලදී ද ඇති විය හැකි බැවින් මේවා දුටු විට සුදුසුකම් ලත් ‍වෛද්‍යවරයකු ගේ උපදෙස් ලබාගැනීම සුදුසු ය.

ගැබ් ගෙල පිළිකා අවධානම වැඩි වන්නේ:

හියුමන් පැපිලෝමා (HPV) වෛරසය ආසාදිත කාන්තාවන්ට.

අඩු වයසින් ලිංගික ජීවිතය ඇරැඹූ කාන්තාවන්ට.

බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට.

අක්‍රියව හෝ සක්‍රීයව දුම්බීමේ යෙදෙන කාන්තාවන්ට

විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට

ලිංගිකව බෝවෙන රෝග හැදුණු කාන්තාවන්ට

ගැබ් ගෙල පිළිකාව සඳහා කල් තියා හඳුනා ගැනීමට (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂණයක් කළ යුතු ය.

පැප් පරීක්ෂාව යනු ගැබ් ගෙල ආශ්‍රිතව සිදු කෙරෙන සරල පරීක්ෂණයකි.

මාස් ශුද්ධිය නොමැති දිනක ඔබේ රෝහලේ සුව නාරි සායනයට පැමිණ මෙම පරීක්ෂණය සිදු කරගත හැකි ය.

වේදනාවෙන් තොර මෙම පරීක්ෂණයෙන් පූර්ව පිළිකා සෛල හඳුනාගත හැකිවේ.

මෙම පරීක්ෂණය නිරෝගී කාන්තාවන් සඳහා ය. ලිංගික සබඳතා පවත්වන සියලු කාන්තාවනට ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5 කට පසු මෙය නිර්දේශ කෙ‍ෙර්. පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අසාමාන්‍ය නම් ගැබ්ගෙල පිළිකා ස්ථිරවම ඇත් දැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සඳහා යොමු කෙරේ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

පරීක්ෂණයෙහි ප්‍රතිඵල සාමාන්‍ය නම් ඔබගේ ඊළඟ පැප් පරීක්ෂණය වසර 5 කින් පසුව සිදු කර ගන්න.

ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පවත්වනු ලබන සුවනාරී සායනයෙන් හෝ රෝහල්වල නාරිවේද සායන මඟින් පැප් පරීක්ෂණය නොමිලේ කරගත හැකි ය. පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය (නො. 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 - දු.අ. 0113159227) හෝ පෞද්ගලික අංශයේ සායනවලින් ද පැප් පරීක්ෂණය කරගත හැකි ය.

ගැබ් ගෙල පිළිකාවෙන් වැලකීමට මේ උපදෙස් පිළිපදින්න.

අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීමෙන් වළකින්න.

ලිංගික සබඳතා පවත්වන සෑම කාන්තාවක් ම අවුරුදු 35 දී පළමු පැප් පරීක්ෂණය සඳහා ප්‍රදේශයේ සුවනාරි සායනයට සහභාගි වෙන්න.

විශ්වාසවන්ත එක් සහකරුවකුට පමණක් ලිංගික දිවිය සීමා කරන්න.

අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත්පාලන කොපු භාවිතා කරන්න.

ලිංගික දිවිය ඇරැඹීමට පෙර වළක්වා ගැනීමට එච්. පී.වී. එන්නත ලබා ගන්න.

විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා
ජාතික පිළිකා මර්දන වැඩසටහන

සාගරිකා

Comments