කිතුල් පිටිවලින් අයිස්ක්‍රීම් | සිළුමිණ

කිතුල් පිටිවලින් අයිස්ක්‍රීම්

කිතුල්පිටි නිෂ්පාදන යන්ත්‍රයක් මුලින්ම හැදුවේ මමයි වසරක් ගියත් තවමත් පේටන්ට් බලපත්‍රය නෑ

පසුගිය සතියේ ගාලුපුරයේ සිරි නරඹන්නට ගිය අතරතුර තෙහෙට්ටුව මදකට නිවාගන්නට කුඩා වෙළෙඳසැලකට ගොඩවුණෙමු. වෙළෙඳසැලෙන් අයිස්ක්‍රීම් මිලට ගැනීමට ගිය අවස්ථාවේ අප නෙත ගැටුණු විශේෂ නිෂ්පාදනයක් විය. එය අලුත්ම අයිස්ක්‍රීම් වර්ගයකි. “කිතුල්පිටි අයිස්ක්‍රීම්”. අප මවිතයට පත් වුණෙමු. කවුන්ටරයෙන් විමසීමක් කළ විට ඔවුන් පවසා සිටියේ කිතුල්පිටි අයිස්ක්‍රීම් 100% ස්වභාවික නිෂ්පාදනයක් බවයි. අතරමඟදී එම නිෂ්පාදනයේ සඳහන් දුරකථන අංකයට කතා කර නිෂ්පාදනය කරනු ලබන ස්ථානයට ගියෙමු. නිෂ්පාදකයා ඉතා ළෙංගතුව අප පිළිගත් අතර ඔහු සමඟ සංවාදයේ යෙදුණෙමු.

ඔබේ තොරතුරු පවසන්න.

මගේ නම සුසන්ත. මගේ මුල් ගෙවල් ගාල්ලෙ නෙළුවෙ. ඒ කියන්නෙ සිංහරාජ වනාන්තරය මායිම්ව තමයි ගම පිහිටලා තියෙන්නෙ. මට පුංචි කාලෙ ඉඳල ම පුංචි පුංචි අත්හදා බැලීම් කරන්න ලොකු උනන්දුවක් තිබුණා. නමුත් දැන් මට ජීවත් වෙන්නෙ ගාල්ලෙ හපුගල.

කිතුල්පිටි අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න ඔබ හිතුවේ ඇයි?

එක්වරම හිතට ආපු අදහසක් නෙමෙයි. මම මුලින් ම කළේ මිරිස්, තුනපහ වගේ කුළුබඩු වර්ග පැකට් කර විකිණීම. කාලයක් තිස්සේ මේ ව්‍යාපාරය කරගෙන අතරතුර ගමේ ඉඳල හපුගල දැනට මම පදිංචි වෙලා ඉන්න ගෙදර එනකොට ගමෙන් කිතුල් කොටයක් බයිසිකලේ බැඳගෙන එන්න මම පුරුදුවෙලා හිටිය. කොහොමහරි ඒ කිතුල් කොටේ කෑලිවලට පළලා කිතුල්පිටි අරගෙන යම්යම් නිෂ්පාදන කරන්න පුරුදු වුණා. ඉස්සෙල්ලම මම ඒ කිතුල් පිටි වලින් යෝගට් එකක් නිෂ්පාදනය කළා. මම කාලාන්තරයක් තිස්සේ පර්යේෂණ කරලා තමයි හොඳම තත්වයේ යෝගට් එකක් නිෂ්පාදනය කළේ. මුලදි නියම ප්‍රමිතියට ආවේ නෑ. පස්සේ ටිකෙන් ටික නිෂ්පාදනය කරන විට යෝගට් 100 ක් නිෂ්පාදනය කළාම 25 ක් හොඳ තත්ත්වයේ තිබුණා. ඒ විදියට මම උත්සාහය අත්හැරියෙ නෑ. මේ විදියට තමයි කිතුල්පිටි වලින් යෝගට් නිෂ්පාදනය ආරම්භ කළේ. ඉන්පසුව අයිස්ක්‍රීම් හැදුවා.

අයිස්ක්‍රීම්වලට තියෙන ඉල්ලුම කෙබඳු ද?

ඇත්තටම අයිස්ක්‍රීම්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න තරම් මට ප්‍රාග්ධනයක් නෑ. දකුණු පළාතේ ගාල්ල අවට සැම වෙළඳසැලකම වගේ මගේ නිෂ්පාදනය අලෙවි වෙනවා. විශේෂයෙන් ම ගාල්ලෙන් පිට පළාත්වලට ප්‍රවාහනය කරන්න තරම් ඊට අවශ්‍ය වන කූලර් සහිත වාහන මගේ ළඟ නෑ. ගාල්ලෙන් පිටපළාත්වලත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මම මීට මාස කීපයකට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ වෙළඳ ප්‍රදර්ශනයේ වෙළඳ කවුළුවක් වෙන්කරගෙන මගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කළා. බොහෝ පිරිස් ඇවිත් මට ප්‍රශංසා කළා මෙවැනි නිෂ්පාදනයක් නිපදවීම සම්බන්ධයෙන්. මම බලාපොරොත්තු වුණ ප්‍රමාණයටත් වඩා ලොකු අලෙවියක් තිබුණා.

මෙය 100% ස්වාභාවික නිෂ්පාදනයක් යැයි කියන්නේ කොහොමද?

ඒ මෙයට ස්වභාවික කිතුල් පිටි පමණක් ම යොදන නිසයි.

විශාල තොගයක් නිපදවන්න ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය හොයා ගන්නේ කොහොමද?

මගේ මුල් ගෙවල් තියෙන්නෙ ගාල්ලෙ නෙළුවෙ. ගාල්ලෙ නෙළුව කියන්නෙ සිංහරාජ වනාන්තරේ මායිම. ඒ අවට තියෙන ගම් තමයි දෙල්ලව, බටුවන්ගල, දේවාලේගම වැනි ගම්මාන.කිතුල්ගස් විශාල වශයෙන් ඒ ප්‍රදේශවල තියෙනවා. දැනටමත් මා සතුව නිෂ්පාදනය කරල ගබඩා කරපු කිතුල් පිටි විශාල තොගයක් තියෙනවා. ඊටත් අමතරව කිතුල්ගල මහියංගනය යන ප්‍රදේශවලිනුත් මට කිතුල්ගස් ලබාගන්න පුළුවන්. ඒ නිසා මොනතරම් ඉල්ලුමක් තිබුණත් කිතුල්පිටි ප්‍රශ්නයක් එන්නෙ නෑ.

කිතුල්පිටි ගන්න භාවිතා කරන ක්‍රමවේදය කුමක් ද?

මුලින් ම කිතුල්පිටි ලබා ගන්නෙ කිතුල් ගසේ මැද කොටස (බඩේ) කුඩා කෑලිවලට කපලා වංගෙඩිවල දාලා කොටනවා. ඒ පිටි රෙදි කැබැල්ලකට දමා වතුර දාලා පෙරලා ඉතිරිවන සාරයයි කිතුල්පිටි ලෙස ලබා ගන්නේ. සාමාන්‍යයෙන් මෙම ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රමයක්. කිතුල් යායකින් කිතුල්පිටි කිලෝ 5ක් පමණ තමයි මේ ක්‍රමය තුළින් ලබාගන්න පුළුවන්. පසුව මා විසින් ම ලංකාවේ ප්‍රථමවරට කිතුල්පිටි ලබාගන්නා යන්ත්‍රයක් නිෂ්පාදනය කරනු ලැබුවා. එම යන්ත්‍රානුසාරයෙන් කිතුල්පිටි ලබා ගැනීම පෙරට වඩා ඉතාමත් ඵලදායි වුණා. කලින් කිතුල් යායකින් කිතුල්පිටි කිලෝ 5 යි ලබාගන්න පුළුවන්කම ලැබුණේ. නමුත් යන්ත්‍රානුසාරයෙන් ලබා ගැනීමේදී එය කිතුල් පිටි කිලෝ 50 ක් දක්වා ඉහළ ගියා. ලංකාවේ කොහේවත් මෙවැනි යන්ත්‍රයක් නෑ. මෙය මා විසින් ම විවිධ අත්හදා බැලීම් කරලා නිපදවනු ලැබූ යන්ත්‍රයක්.

ඔබට මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් තිබෙනවාද?

පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ලිපි ලේඛන සකස් කරලා යවලා දැනට වසරකට ආසන්න කාලයක් වෙනවා. ඒත් මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබාදෙන ක්‍රියාවලියට වසරකට ආසන්න කාලයක් යනවා. ඉක්මණින්ම එය ලැබේවි යැයි අපේක්ෂා කරනවා.

පිටි වැඩියෙන් තිබෙන ගස් හඳුනා ගන්නේ කොහොමද?

මුලදි නම් එහෙම හඳුනාගන්න විශේෂ ක්‍රමවේදයක් තිබුණේ නෑ. ඒත් දැන් අත්දැකීම් අනුව ඉතාමත් පහසුවෙන් එය තීරණය කරන්න පුළුවන්. ගෑනුගහ සහ පිරිමිගහ කියලා ගස් වර්ග දෙකක් තියෙනවා. පිරිමිගහ කියල කියන්නෙ ගොඩක් උසට වැවෙන මහතින් අඩු ගස්. ඒවා කිතුල්පිටි ලබා ගැනීමට යොදා ගන්නෙ නැහැ. ගෑනු ගස් කියලා කියන්නෙ ගොඩක් උසට වැඩෙන්නෙ නැති කඳ මහතින් යුත් ගස්. ඒවායේ තමයි කිතුල් පිටි අධික වශයෙන් තියෙන්නෙ.

අනෙක් කාරණාව තමයි මේ කිතුල්පිටි ලබාගන්න කියලා කිසිසේත් ම පරිසරයට හානියක් වෙන්නෙ නෑ. කිතුල්ගසේ සියලුම සාරය ලබාගත් පසුව තමයි කිතුල් පිටි ලබා ගන්නෙ. ඒ කියන්නෙ මුලින් ම කිතුල් ගසේ මල භාවිතා කරල “තෙලිදිය” ලබාගෙන ඒවායෙන් කිතුල් පැණි නිෂ්පාදනය කරනවා. තෙලිදිය ලබා ගැනීමෙන් පසු නැවත ඒ ගස ප්‍රයෝජනයට ගන්නෙ නෑ. ඉන් පසුවයි කිතුල්පිටි ලබාගන්නෙ. ඒක නිසා මේ ක්‍රියාවලිය මඟින් කිතුල් ගසෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා. කිතුල් ගසක කිතුල් මල් 15 ක් 20 ක් පමණ හැදෙනවා. ඒ හැම මලකින් ම කිතුල් පැණි ලබා ගැනීමෙන් පසුවයි කිතුල් පිටි ලබා ගන්නෙ.

අයිස්ක්‍රීම්වලට අමතරව මොනවද කරන අනෙකුත් නිෂ්පාදන?

කිතුල්පිටි අයිස්ක්‍රීම්වලට අමතරව කිතුල්පිටි යෝගට්, කිතුල්පැණි, කිතුල් හකුරු ප්‍රධාන වශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඊටත් අමතරව කිතුල්පිටි පුඩිං එකක් නිෂ්පාදනය කරනවා.

වෙළඳපොළේ තියෙන අනෙකුත් අයිස්ක්‍රීම් වර්ග සමඟ තරගකිරීම අමාරු නැද්ද?

අනෙක් අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදාගන්නෙ එළකිරි. නමුත් මම ඒ වෙනුවට යොදා ගන්නෙ කිතුල් පිටි. එය ගොඩක් ලෙඩ රෝගවලට ඖෂධයක් ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරනවා. ඊට අමතරව කිරි සහ කිතුල් පිටි මිශ්‍ර කරල හදන අයිස්ක්‍රීම් එකකුත් තියෙනවා. පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුව කැමති අයිස්ක්‍රීම් එකක් මිලට ගැනීමට හැකියාව තියෙනවා. මිල ගණන්වලත් ලොකු වෙනසක් නැහැ. ලීටර් එකේ අයිස්ක්‍රීම් එකක් රු. 350කටත්, මිලිලීටර් 500 එකක් රුපියල් 200 කටත්, ලීටර් 4 එකක් රුපියල් 1400 කටත් අයිස්ක්‍රීම් කෝන් එකක් රුපියල් 50 කටත් වෙළඳපොළෙන් පාරිභෝගිකයාට මිලට ගැනීමට හැකියාව ලැබෙනවා.

0714550333 යන අංකයෙන් විමසා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.

සුගත් ලියනගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.