ආදායම් වැඩිකර ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසංශනීයයි | සිළුමිණ

ආදායම් වැඩිකර ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසංශනීයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට ශ්‍රී ලංකා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග ප්‍රසංශනීය යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජය වෙත වසර 2016 – 2019 තුන් අවුරුදු කාලසීමාව සඳහා ලබාදීමට අනුමත වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක විස්තීරණ ණය මුදලේ තුන්වැනි වාරිකය නුදුරේදීම ලබාදීම පිළිබඳව මේ මාසයේ මැද භාගයේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්ෂික සමුළුවේදී කතිකා කරනු ලබන බව ද අරමුදල පවසයි.

වසර 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලන තත්ත්වය හා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහභාගිවීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට තීරණය කරන ලදී. ඒ වසර 2016 ජූනි මස 03 වැනිදාය.

විස්තීරණ ණය

මෙය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ වර්තමාන පංගුවෙන් සියයට 185කට සමාන වේ. විස්තීරණ ණය පහසුකම යටතේ වි. ගැ. හි. මිලියන 119.9ක (ආසන්න වශයෙන් එ. ජ. ඩොලර් මිලියන 168.1ක) පළමුවන කොටස ජා. මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සමඟම ශ්‍රී ලංකාව වෙත මුදාහැරීය. ඉතිරි මුදල් ප්‍රමාණය වසර තුනක කාලයක් පුරා කොටස් හයකින් මුදාහැරෙනු ඇති අතර, එහි අවසන් කොටස 2019 අප්‍රේල් මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. විස්තීරණ ණය පහසුකමට අදාළ පොලී අනුපාතය වර්තමානයේදී වාර්ෂිකව සියයට 0.05ක් වන වි. ගැ. හි. සඳහා අදාළ වන පොලී අනුපාතය වන මූලික පොලී අනුපාතයට පදනම් අංක 100ක් එකතු කිරීමෙන් ගණනය කෙරෙයි. ඒ නිසා විස්තීරණ ණය පහසුකම මත වූ පොලී අනුපාතය දැනට වෙළෙඳ පොළේ පවත්නා අනුපාතවලට වඩා කැපී පෙනෙන ලෙස අඩු මට්ටමක පවතියි.

ජා. මූ. අරමුදල 2016 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය ඇගයීම සඳහා වරින්වර විමර්ශන කටයුතු සිදු කෙළේය.

ශ්‍රී ලංකා බලධාරින් විසින් එදා ජා. මූ. අරමුදලෙන් විස්තීරණ ණය පහසුකමක් ඉල්ලුම් කිරීමේ තීරණයට විදේශීය අංශයේ මෙන්ම දේශීය අංශයේ වූ සිදුවීම් හේතුවිය. විදේශීය වශයෙන්, විශේෂයෙන්ම චීන ආර්ථිකයේ මන්දගාමී ක්‍රියාකාරිත්වයත්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත්, මැදපෙරදිග පැවති අහිතකර භූ-දේශපාලනික වාතාවරණයත් සමඟ ගෝලීය ආර්ථික අවිනිශ්චිතභාවයක් නැවත ඇති වී තිබීමත් බලපෑවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති සාමාන්‍යකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු නැඟී එන වෙළෙඳ පොළ සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන් වෙතින් අරමුදල් ඉවතට ගලායාමක් සිදුවිය. ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ මිල අඩු මට්ටමක පැවතීම හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන වෙළෙඳ පොළවලින් වූ ඉල්ලුමෙහි වර්ධනය මන්දගාමී වීම සහ ප්‍රාග්ධන ගෙවීම් හේතුවෙන් විදේශීය අංශය මත සැලකිය යුතු පීඩනයක් ඇති වූ අතර, ඒ තුළින් ගෙවුම් තුලනයේ සමස්ත හිඟයක් ඇති විය. රජය සහ මහ බැංකුව විසින් ගෙවුම් තුලනය සහ දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ මත වූ පීඩනය අඩු කිරීමට උපකාරී වන ක්‍රියාමාර්ග ගන්නා ලදී.

විශේෂයෙන්ම, විනිමය අනුපාතිකය වඩා නම්‍යශීලීව තීරණය වීමට ඉඩ හැරී තිබුණි. ඉල්ලුම් කළමනාකරණ උපකරණ ලෙස නව විචක්ෂණශීලී නියාමනයන් හඳුන්වාදීමත්, 2015 වසර අවසානයේ සිට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමත් සිදු කැරිණි. එනමුත්, රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශවල ව්‍යූහාත්මක ගැටලු දිගින් දිගටම පැවතුණු අතර ජා. මූ. අරමුදලේ සහයෝග‍යත් සමඟ මෙම ව්‍යූහාත්මක ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් වූ බව රජයේ මතය විය.

විස්තීරණ ණය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන්, ජා. මූ. අරමුදලේ නිලධාරීන් පිරිසක් 2016 මාර්තු, අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබීය. 2016 අප්‍රේල් මස පැවැති ජා. මූ. අරමුදලේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ නිලධාරී කණ්ඩායම සහ ජා. මූ. අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා පවත්වන ලදී. තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සාර්ථකව නිමකිරීමත්, රජය විසින් ණය පහසුකම් ලබාගැනීමට පෙර සම්පූර්ණ කළ යුතු කාර්යයන් ඉටු කිරීමත්, ශ්‍රී ලංකවේ බලධාරීන් විසින් අභිප්‍රාය පළ කිරීමේ ලිපිය 2016 මැයි මසදී අත්සන් තැබීමත් සමඟ ජා. මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2016 ජූනි 03 වන දින විස්තීරණ ණය පහසුකම අනුමත කරන ලදී.

ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීම මඟින් එදා රජයේ මැදිකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ඔවුන්ගේ සහයෝගය පිළිබිඹු විය. රාජ්‍ය ණය වගකීම් සඳහා සහ ගෙවුම් තුලනය වෙත ඇති පීඩනය ලිහිල් කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අවකාශ වැඩිදියුණු කරගැනීමට රජය විසින් බදු ප්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය සඳහා මූලික සහ පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සැලසුම් කැරිණි. එමඟින් රජයේ ප්‍රධාන සමාජීය සහ සංවර්ධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත. මේ අනුව සමස්ත අය වැය හිඟය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.යේ) ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 ක් දක්වා ක්‍රමානුකූලව අඩුකර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

වියදම පිළිබිඹු කෙරෙන මිල යාන්ත්‍රණ සහ විනිවිදභාවයෙන් යුතු පාලනය සමඟින් රාජ්‍ය සංස්ථාවල වාණිජමය ශක්‍යතාවක් ඇති කිරීම කෙරෙහි ද ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි අවධානය යොමු වේ. විස්තීර්ණ ණය පහසුකමෙහි සහයෝගයෙන් සිදුකෙරෙන ආර්ථික වැඩපිළිවෙළ යටතේ විදේශිත සංචිත ක්‍රමානුකූලව ඉහළ නැංවීමට මෙන්ම උද්ධමනය මැදි තනි අගයක පවත්වාගෙන යාමටද අපේක්ෂා කැරිණි. අනෙකුත් මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළ වෙළෙඳ ආරක්ෂණය අඩුකිරීම සහ නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම ඇතුළත් විය. මේ අතර මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කරණය වෙත යොමුවීමට අපේක්ෂා කළ අතර නම්‍යශීලි විනිමය අනුපාත ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙනයෑම සිදුකෙළේය.

සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය

විස්තීරණ ණය පහසුකම අනුමතවීමත් සමඟ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා වෙනත් බහුපාර්ශවික සහ ද්විපාර්ශවික මූලාශ්‍රයන්ගෙන් අමතර අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කැරිණි. ඒ නිසා, විස්තීරණ ණය පහසුකමෙහි අනුග්‍රහය ලැබෙන ආර්ථික වැඩසටහනෙහි ප්‍රතිඵල සාර්ව ආර්ථික ස්ථායිතාව වැඩි දියුණු කිරීමට, වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීමට, වෙළෙඳ තරගකාරිත්වය හා බාහිරාභිමුඛ බව වැඩි කිරීමට සහ අභියෝගාත්මක ගෝලීය වටපිටාව තුළ බාහිර අංශයේ ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීමට හේතුවිය. මෙය ඉහළ සහ සර්ව සහභාගිත්වයක් සහිත ආර්ථික වර්ධනයක් සඳහා උපකාරී වූ අතර, එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්‍යතාව උපයෝජනයට අවකාශ සලසා දී ඇත.

තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකමෙහි සහාය සහිතව ශ්‍රී ලංකා බලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික වැඩසටහනෙහි තෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජේවු ලී (Jaewoo Lee) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ නිලධාරින් කණ්ඩායමක් 2017 වස‍ෙර් සැප්තැම්බර් මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා කාලය තුළ කොළඹට පැමිණියේය. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරින්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමයි. මෙම සංචාරය අවසානයේදී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදි.

“විස්තීරණ ණය පහසුකමෙහි තෙවන ආර්ථික කාර්ය සාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව රජය සමඟ නිලධාරි මට්ටමේ එකඟතාවන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඔක්තෝබර් මාසයේදී වොෂින්ටන් නුවර පැවැත්වෙන ජා.මූ. අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.

“සමස්තයක් ලෙස සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර තත්ත්වයක පැවතුණි. 2016 අග භාගයේ සිට පවතින නියඟය සහ මේ වසර මුලදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වර්ධනය මන්දගාමී වීම සහ උද්ධමනාත්මක පීඩන වර්ධනය වීම සිදුවිය. 2017 වසර සඳහා ආර්ථික වර්ධනය සියයට 4.5 මට්ටමට වඩා අඩු වනු ඇති අතර, ඉදිරි වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීම සහ යටිතල පහසුකම් ව්‍යාපෘති වේගවත් වීම හේතුවෙන් ඉදිරි වසරේදී වර්ධනය නැවතත් යථා තත්ත්වයට පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

නියඟය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආහාර හා ඉන්ධන වැඩි වශයෙන් ආනයනය කිරීම තුළින් වසර තුළදී ජංගම ගිණුමේ හිඟය යම් ප්‍රමාණයකින් පුළුල් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය හේතුවෙන් වෙළෙඳ පොළ විශ්වාසය වර්ධනය වීමත් සමඟ ප්‍රාග්ධන ලැබීම් අඛණ්ඩව පැවතුණි. කාලගුණය සම්බන්ධ සැපයුම් අවහිරතා වියැකි යෑම නිසා මතුපිට උද්ධමනය මැදි තනි අගයක තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජා.මූ. අරමුද‍ෙල් සහයෝගය සහිතව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා, 2017 වසරේ ජූනි මාසය අවසන් වන විට අදාළ සියලු කාර්ය සාධන ඉලක්ක සපුරාලීමට සහ පාර්ලිමේන්තුව විසින් දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරින් දැරූ ඉහළ දායකත්වය දූත මණ්ඩල‍ෙය් පැසසුමට ලක්වේ. කෙසේ වූවත්, විශේෂයෙන්ම රජය සතු ව්‍යවසායන්ට සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ප්‍රගතිය මිශ්‍ර ස්වභාවයක් ගෙන ඇත.

“ශක්තිමත් ආදායම් පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය අඩුකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. 2018 වසරේ අය වැය තුළින් ඉදිරිපත් කරනු ලබන සමාජීය සහ සංවර්ධන වියදම් මූල්‍යයනය කිරීම සඳහා බදු පදනම තවදුරටත් පුළුල් කිරීම අවශ්‍ය වේ. මේ සඳහා නීති රෙගුලාසි සහ අත්පොත්, කාර්යක්ෂම බදු පරිපාලනය සහ මාධ්‍ය හා තොරතුරු ව්‍යාප්තිය හරහා බදු ගෙවන්නන්ගේ ඉහළ දැනුම්වත්භාවය සහ පෙර සූදානම යනාදී කරුණු පෙරදැරි කරගෙන දේශීය ආදායම් බදු පනත අපහසුවකින් තොරව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතුය. ණය කළමනාකරණ ශක්‍යතාවය ශක්තිමත් කිරීම සහ මධ්‍යකාලීන ණය උපාය මාර්ග සංවර්ධනය කිරීම, ණය බර කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා ඉදිරියේදී උපකාරී වනු ඇත.

උද්ධමන පීඩන අධීක්ෂණය

උද්ධමන පීඩන අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව සිටිය යුතු අතර, උද්ධමනය සහ ණය වර්ධනය සීමා කිරීමට අවශ්‍ය වේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම්ව සිටිය යුතුය. මහ බැංකුව විසින් ක්‍රමානුකූලව සිදුකරනු ලබන සංචිත නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගත යුතු වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු වාණිජ ව්‍යවසායන්හී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම ඉතා වැදගත් ප්‍රමුඛතාවයක් වේ.

රජය සතු වාණිජ ව්‍යවසායන්හී විශාල මූල්‍ය වගකීම් මඟින් රාජ්‍ය මූල්‍ය අවදානම් පෙන්නුම් කරනු ලබන අතර එය, කාර්ය සාධන දර්ශක අධීක්ෂණය ඉහළ නැංවීම, රජය සතු වාණිජ ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කිරීම සහ ඉන්ධන හා විදුලිබල මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම තුළින් කළමනාකරණය කරගත යුතු වේ. තරගකාරිත්වය වැඩි කිරීමට සහ පෞද්ගලික අංශය මුල්කරගත් වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක වන වර්ධනය වෙමින් පවතින වෙළෙඳ සහ ආයෝජන වටපිටාව සඳහා වූ පුළුල් පදනමකින් යුත් උපායමාර්ග ද දූත මණ්ඩලයේ පිළිගැනීමට ලක්වේ.

දූත මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අනෙකුත් රාජ්‍ය නිලධාරින් සහ වෙළෙඳ ප්‍රජාව, සිවිල් සමාජ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන්ද හමුවිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.