කොටුව දුම්රිය ස්ථානය සියවස සපුරයි | Page 2 | සිළුමිණ

කොටුව දුම්රිය ස්ථානය සියවස සපුරයි

 ‘මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. අවසාන වේදිකාවට හෙවත් 5 වැනි වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ කොටුවට පමණයි’

ඒ අදින් වසර 100කට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ යකඩ කටින් නිකුත් වූ හඬකි. 1917 වසරේ ඔක්තෝබර් මස කොළඹ කොටුව යනුවෙන් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලද කොටුව දුම්රිය ස්ථානය මේ වන විට දුම්රිය ගමන් අරඹා වසර 100ක් සපුරා ඇත. මේ දුම්රිය ස්ථානයේ අතීතය ඊටත් වඩා ඈතට දිව යන්නක් බව අපට මේ වන වාර්තා වී ඇත.

වර්ෂ 1815 වන විට ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වී හමාරය. වැඩි ලාභයක් ලැබිය හැකි ආර්ථික වගාවක් ලෙස කෝපි වගා කිරීම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත විය. උඩරට ගැමියන් භුක්ති විඳි ඉඩම්වල අයිතිය පවරාගත් ඉංග්‍රීසි ජාතිකයෝ මුළු මධ්‍යම කඳුකරයම කෝපි වැවිලිකරුවන් අතර බෙදා දුන්හ.

කෝපි නිෂ්පාදනය හා ප්‍රවාහනය පිළිබඳව මුහුණදුන් ගැටලුවලට විසඳුම් සෙවූ වතුහිමියෝ තම මවුරටේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වෙමින් තිබුණු දුම්රිය සේවය කෙරෙහි අවධානය යොමු කරන්නට වූහ. ඒ අනුව වතු හිමියෝ ලංකාවේ දුම්රිය සේවයක් ආරම්භ කරන ලෙස යටත්විජිත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.

එලෙස ආරම්භ වූ දුම්රිය සේවාවේ මඟී ප්‍රවාහනය සඳහා ප්‍රථම දුම්රිය ගමන සිදු වූයේ 1865 ඔක්තෝබර් 02 දින පෙරවරු 07.00ටය. එම දුම්රිය මැදි 10කින් සමන්විත වූ අතර, සහභාගි වූ මඟී පිරිස 84කි. මෙලෙස සටහන් වන දුම්රිය ගමනාගමනයේ ආරම්භය වශයෙන් වර්තමාන මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට බඩු ගබඩා සංකීර්ණය ඇති ස්ථානය කොළඹ දුම්රිය ස්ථානය ලෙස යොදාගනු ලැබුණේ 1867 දෙසැම්බර් මස 24 දින සිටය. කොළඹ ඉදි වූ පළමු දුම්රිය ස්ථානය කලම්බු ටර්මිනල් නම් විය. ඉන් පසුව 1908 වසරේ මරදාන දුම්රිය ස්ථානයත් 1917 වර්ෂයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් බිහි විය.

2017 ඔක්තෝබර් මස සියවස් පූර්ණය සමරන කොළ‍ඹ කොටුව දුම්රිය ස්ථානය අනෙකුත් දුම්රිය ස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. භාණ්ඩ ප්‍රවාහනය උදෙසා ආරම්භ කෙරුණු දුම්රිය ගමනාගමනය මේ වන විට මඟී ප්‍රවාහනයේද ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය මඟී ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයද වේ. මුහුදුබඩ දුම්රිය ගමනාරම්භයන් හැර දිවයිනේ අනෙකුත් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ගමනාරම්භයන් සිදු කරන ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 320ක් ක්‍රියාත්මක වන අතර, මඟීන් ලක්ෂ 02ක් පමණ ගමන්බිමන් සිදු කරයි. මාසික ආදායම මිලියන 100කි. වේදිකා 5 කින් ඇරැඹුණු කොටුව දුම්රිය ස්ථානයේ අද වේදිකා 11කි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ස්ථාපිත කර වසර 100ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 03 දින පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පසු දින දානමය පින්කමක් සිදු කර ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් මියගිය පාසල් සිසුන්, දුම්රිය සේවකයින් සහ වෙනත් අවස්ථාවල මියගිය මඟීන් හා දුම්රිය සේවකයන් සඳහාද පින්පෙත් පමුණුවන ලදී. මේ ශත සංවත්සරයට සමගාමීව කොටුව දුම්රිය ස්ථානයේ 1 වේදිකාවට සමීපව නව පිවිසුම මාර්ගයක්ද නව ප්‍රවේශ පත්‍ර කවුළු 3ක්ද විවෘත කරන ලදී. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි. එදින ‘ෆෙඩ්රික් නෝත්’ගේ නමින් යුත් වසර 90ක් පමණ පැරැණි තවමත් ධාවන තත්ත්වයේ තිබෙන ඉපැරැණි ගල් අඟුරු දුම්රිය එන්ජිමක් මැදිරි දෙකක් සමඟ ධාවනය කරන ලද අතර, තැපැල් ඇමැති එම්එච්ඒ හලීම් මහතා විසින් සියවස් සමරුවට නිමිත්තෙන් මුල් දින කවරයක් හා මුද්දරයක් නිකුත් කරනු ලැබිණි. මේ අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්එම් අබේවික්‍රම මහතා ප්‍රමුඛ දුම්රිය ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද තැපැල්පති රෝහණ අබේරත්න මහතාද සහභාගි වූහ.

කොළඹ කොටුව දුම්රිය ස්ථාන අධිකාරි සරත් පතිරණ මහතා පවසන්නේ දුම්රිය ස්ථානය සාමාන්‍ය වේලාවන්හිදී ප්‍රමාණවත් වුවත් කාර්යාල වේලාවන්හිදී මඟීන්ට සේවාවන් සැලසීමට එය ප්‍රමාණවත් නොවන බවයි. එසේම සේවක සංඛ්‍යාවේද හිඟයක් තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟයක් තිබෙන බැවින් මඟීන්ට ඇතැම් වේලාවලදී පෝලිම්වල බොහෝ වේලාවක් සිටීමට සිදු වන බව පෙනේ.

සියවසක් ගෙවූ පසු නව පණක් ලැබූ නමුත් තවමත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් වුවද මඟියාට නිසි ලෙසින් ඉටු නොවන සේවාවන් තුනක් ගැන පැවසිය යුතුමය. ඒ නිරතුරුවම මඟී පැමිණිලි ලැබෙන බැවිනි.

එයින් පළමුවැන්න: දුර-බැහැර සිට පැමිණෙන දුම්රියවල ප්‍රමාදයන් දැනගැනීමට නොහැකි වීමයි. ඒ ගැන විමසූ විට 'ප්‍රමාදයි' යන පිළිතුර හැර පැමිණෙන ආසන්න වේලාවක් හෝ ප්‍රමාදය කෙතෙක්ද යන්න ගැන හෝ මඟියාට සෑහීමකට පත් වන පිළිතුරක් නොලැබේ. දෙවැන්න: පැමිණෙන දුම්රියයන්ගේ ගමනාරම්භය දුර සේවා දුම්රියයන්ගේ පමණක් දැනුම් දීමය. තුන්වැන්න වන්නේ: දුර සේවා දුම්රියවල දෙවැනි පන්තියේ මැදිරි ඇත්තේ දුම්රියේ ඉදරිපස හෝ පසුපස යන්න සඳහන් නොකිරීමය. මේ නිසා කල් වේලා ඇතිව පැමිණ ප්‍ර වේශ පත්‍ර ලබාගත් මඟීන් දැඩි අපහසුතාවන්ට පත් වන අවස්ථා දක්නට ඇත.

ඉටු කළ හැකි ඒ ප්‍රධාන සේවාවන් තුනත් ඉටු කරන්නේ නම් එය සියවසක් ගෙවුණු පසු මඟියාට ලබා දෙන නව සේවාවක් වනු ඇත.

තාරක වික්‍රමසේකර
සේයාරූ - විමල් සිල්වා

Comments