ඇතුළේදී එකඟ වී එළියේ මර හඬ තැළීම | සිළුමිණ

ඇතුළේදී එකඟ වී එළියේ මර හඬ තැළීම

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට බෙදන එකක් බවට හොරණෑ පිඹින්නන්ගේ හඬ ලත් තැන ම ලොප් වන ලකුණු පෙනෙන්නට තිබේ.

පසුගියදා මල්වතු මහ නාහිමියන් ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට සිදුවූයේ ලැජ්ජාවට පත් වන්නට ය.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ගැටලු තැන් පෙන්වා මල්වතු මහ නාහිමියන්ගෙන් තමන්ට වුවමනා පිළිතුර ලබා ගැනීම ගුණවර්ධන මහතාගේ අපේක්ෂාව විය. එය ඉටු නොවී ය.‍ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදු දහමට හිමි තැන වෙනස් නොවන බවත් ඒකීය රාජ්‍යය එලෙසට ම පවතින බවත් ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ද ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය හෙළි කර තිබේ. එසේ තිබියදී නැති ගින්නක් ඇවිළවීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇත.

මල්වතු මහ නායක තිබ්බොටුවාවේ සුමංගල හිමියන් කළ කරුණු දැක්වීම ව්‍යවස්ථා භීතියෙන් රට කැලඹීමට උත්සාහ කරන ඒකාබද්ධ විපක්ෂයට මෙන් ම ඇතැම් භික්ෂු පාර්ශ්වවලට එල්ල වූ තියුණු කස පහරක් වැන්න.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කරන්නට සුදානම් වූ මොහොතේ ද මෙවැනි විරෝධයක් ඇති වූ බවත් එහි ප්‍රතිඵලය ලෙස රට ආපස්සට ගිය බවත් විශාල විනාශයක් රටට සිදු වූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ හ. මල්වතු පාර්ශ්වයෙන් මෙතෙක් මහනායක ධූරයට පත්වූ භික්ෂූ පරම්පරාව සලකා බලන විට උන්වහන්සේ ප්‍රබුද්ධ යතිවරයාණ කෙනෙකු හැටියට ඉතිහාසයේ සටහන් වනු නියත ය. තරුණ නීතිඥවරයකු හැටියට බණ්ඩාරනායක මහතා මුලින් පෙනී සිටියේ පෙඩරල් ක්‍රමයක් වෙනුවෙනි. පසුව ඔහු තම ස්ථාවරය වෙනස් කළේ ය. 56 දේශපාලන ජයග්‍රහණයෙන් පසුව භාෂා ප්‍රතිපත්තිය නිසා සිදුවූ වරද නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ඉදිරිපත් කෙරිණ. මෙයට එරෙහිව සංවිධානය වුණු උද්ඝෝෂණවලට නායකත්වය දුන්නෝ භික්ෂූහු ය.

“භික්ෂූන් ඉදිරිපිට දී ගිවිසුම ඉරා දැමූ බණ්ඩාරනායක මහතා සංවේගයෙන් යුක්තව ප්‍රකාශ කළේ එහි අනිටු විපාක අනාගතයෙහි දී අත්විඳීමට සිදුවන බව ය. ඩඩ්ලි ‍- චෙල්වනායගම් ගිවිසුමට අත්වූයේ ද එම ඉරණම ම ය. ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ යැයි කියමින් වමේ පක්ෂ ද ගිවිසුමට එරෙහිව අවස්ථාවාදී ලෙස වීදි බට හ.

බණ්ඩාරනායක මහතා කී පරිදි ම ජාතික එක්සත්කම තහවුරු කිරීමට අසමත්වීමේ ප්‍රතිඵලය ලෙස ලක්ෂ ගණනක් ජීවිත හානි සිදු විය. උතුරේ ජන ජීවිතය යළි ගොඩ නැඟීම අසීරු තත්ත්වයකට පත් විය. මුළු රට ම දරුණු අර්බුදයක ගිලී ගියේ ය.

මල්වතු මහ නාහිමියන් නිවැරදිව ප්‍රකාශ කළේ රටට සිදුවූ විනාශය යළිත් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බව ය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දිගින් දිගට ම උත්සාහ කළේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇති වැරදි පෙන්වා දීමට ය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනයක් ද කමිටු නියෝජනය කළ හෙයින් වැරැද්දක් තිබේ නම් එයට ඔවුන් ද වගකිව යුතු බවත්, වැරදි නිවැරදි කර ගැනීම සඳහා දායකවෙමින් රටට ඔබින ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඔවුන්ගේ වගකීම බවත් මහ නාහිමියෝ නිවැරදිව පෙන්වා දුන් හ.

මහ නායක හිමියන්ගේ මතය විවේචනය කරන භික්ෂු පාර්ශ්ව කිහිපයක් ද වෙත්. වඩාත් හාස්‍යජනක කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමේ අරමුණ ඇති ව මනෝරාජිත ව්‍යාපෘතියකට කර ගසා සිටින මැදගොඩ අභයතිස්ස හිමියන් මල්වතු මහනායක හිමියන්ගේ අදහස් විවේචනය කිරීම සඳහා ඒකාබද්ධයේ මාධ්‍ය හමුවීමකට එක්වීම ය. එසේ හෙයින් එම විවේචනය රට ගැන ඇල්මකින් කරන එකක් නොව දේශපාලන යටි අරමුණකින් කරන එකක් ලෙස සැලකීමට සිදුවේ.

මීට සතියකට පමණ පෙර ආගමික උපදේශක කමිටුව යැයි කියා ගන්නා භික්ෂූන් පිරිසක් ද ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවේ ඒකීය වචනය ඉංග්‍රීසියට සහ දෙමළට පරිවර්තනය කර තිබීමේ දෝෂයක් තිබේ යැයි කියමින් ඒකීය රාජ්‍ය සංකල්පය වෙනස්කර ඇතැයි චෝදනා කළහ. ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවේ වචනයක එල්ලීගෙන නගන ඝෝෂාවල කිසිදු පදනමක් නොමැති බව ‍ෙපනේ. යුනිටරි ස්ටේට් (Unitary State) යන ඉංග්‍රීසි යෙදුමෙහි අරුත් වෙනසකට ලක්ව ඇති බව විවේචකයෝ සිතා මතා වසන් කරති.

උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයන් වීමේ අනතුරක් පවතී. එවිට එක්සත් රාජධානිය තවදුරටත් එසේ පවතිනු ඇති ද යන ගැටලුව ඇතිවේ. ඒකීය රාජ්‍යය යන සිංහල යෙදුමට සමාන අරුත් ඇති ඔරුමත්තනාඩු දෙමළ වදන යෙදීමෙහිද වරදක් නොපෙනේ.

එ නිසා, අතුරු වාර්තාවේ ඉංග්‍රීසි සහ දෙමළ පරිවර්තනවල ගැටලු ඇති බව කීම සාවද්‍ය මතයක ප්‍රතිඵලයකි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් වන අතර ම මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත ඒකීය රාජ්‍යයකි. මෙයින් පැහැදිලි වන්නේ බලය උපරිම අයුරින් විමධ්‍යගත කෙරෙන ඒකීය රාජ්‍යයකට අවශ්‍ය ව්‍යුහාත්මක පදනම මේ වාර්තාවෙන් සහතික කර ඇති බව ය. ඒකීය රාජ්‍යය හෙවත් ඔරුමත්තනාඩු යනු නොබෙදූ සහ බෙදිය නොහැකි රාජ්‍යයකි. සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බව අතුරු වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙයි. සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය පෝෂණය කර සුරක්ෂිත කිරීම රජයේ වගකීම බව වාර්තාවේ දැක්වෙයි.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මහජන අදහස් ලබා ගැනීමේ කමිටු වාර්තාවේ නිර්දේශ අතර, රජය නිර්ආගමික වීමේ යෝජනාව ද බුද්ධාගම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ දැනට තිබෙන ‍ෙඡ්දය වෙනස් නොකළ යුතු ය යන යෝජනාව ද තිබිණ. අතුරු කමිටු වාර්තාව මේ පළමු යෝජනාව සැලකිල්ලට නොගත් බව විවේචකයෝ අමතක කරති. ව්‍යවස්ථා

සම්පාදන ක්‍රියාවලියේ දී මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස කටයුතු කරයි. අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ඒකමතික කැමැත්තෙනි. මෙහෙයුම් කමිටුව විෂයන් හයක් යටතේ අනුකමිටු පත් කළේ ය. මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සකස් කරන ලද්දේ අනුකමිටු යෝජනා පදනම් කර ගනිමිනි.

විරුද්ධ පක්ෂය ද නියෝජනය කරමින් කමිටු සාමාජිකයන් පත් කිරීම මෙහි විශේෂත්වයයි. අතුරු කමිටු වාර්තාව ද අවසාන වාර්තාව නොවේ. විවිධ අදහස් අනුව එය ද සංශෝධනය වේ. අවසාන වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු ය. එසේ ම ජනමත විචාරණයකට ද ඉදිරිපත් කරනු ඇත.

කරුණු මෙසේ තිබියදී ඇතුළේ දී එකඟවූ කරුණු සම්බන්ධයෙන් එළියේ මර හඬ තැළීම යනු දේශපාලන අවස්ථාවාදය ප්‍රදර්ශනය කිරීමකි.

තිඹිරියාගම බණ්ඩාර
[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.