සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා පිටිය ජය බිමක් කරගත මාරිස්ස්ටෙල්ලා-වලල ඒ. රත්නායක | සිළුමිණ

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා පිටිය ජය බිමක් කරගත මාරිස්ස්ටෙල්ලා-වලල ඒ. රත්නායක

ප්‍රශාන්ත ඇල්පිටිය

පොළොව යට වැළලී තිබෙන මැණිකක අගය දැනෙන්නේ එය සොයා ගෙන ඔප මට්ටම් කළ විටය. එසේ ම යමකු තුළ සැඟව පවත්නා සහජ ක්‍රීඩා කෞශල්‍යය රටට - ලෝකයට පෙනෙන්නේ ද, එය වැරවෑයමෙන් ඉස්මතු කරගත් තරමටය.

එසේ මතුකරගත් ක්‍රීඩා කෞශල්‍යය රටක් ජාතියක් නියෝජනය කරන්නට නම් ඊට හයිය හත්තිය තිබිය යුතුය. අපේ රටේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම කතාබහට ලක්වන ලෝක පූජිත ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට සවිය සහ ශක්තිය දෙන පාසල් මේ දැවැන්ත කාර්යය පසුපස වන බැවිනි. මෙයින් පළමුව ක්‍රීඩාවත්, දෙවනුව ඊට දායක වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවනුත් තෙවැනුව ඊට දායක වූ පාසල් ද බැබලෙන්නට මඟ හසර පෑදෙනු කොතෙකුත් අපි දැක ඇත්තෙමු. එහෙත් අප බොහෝ විට හඳුනා ගන්නේ අපට පෙනෙන ක්‍රීඩාව හෝ එහි නිරතවන්නන් මිස ඊට සවිය බලය සපයන පාසල නොවේ. ගහට පොත්ත මෙන් බැඳී පවතින මෙකී සබැඳියාව එකට ගැට ගසන්නට ගන්නා උත්සාහයකි මේ.

පසුගිය වසර කිහිපයේම ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙළිබිමේ ජයකෙහෙළි නංවමින් ඉදිරියට පැමිණි මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අඛණ්ඩව හත්වතාවක් සහ වලල ඒ. රත්නායක විද්‍යාලය ශූරතා 16 ක්ම ජය ගැනීමට සමත්ව තිබේ. මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මෙම ශූරතා හිමිකර ගත්තේ 2010 - 16 අතර කාලයේදිය. එම ශූරතා හතම බාලක අංශයෙනි.

වලල ඒ. රත්නායක විද්‍යාලය සිය ශූරතා ජය ගත්තේ 2000 - 16 අතරය. මීට බාලක සහ බාලිකා දෙඅංශයම අයත්ය. එහිදී 2001, 02, 06, 07, 08 වසරවලදී සමස්ත බාලක - බාලිකා ද්විත්ව ශුරතා ඔවුන් හිමිකර ගැනීම විශේෂත්වයකි.

ඔවුන් ප්‍රථම සමස්ත ශූරතාව හිමකර ගත්තේ 2000 වසරේදිය. එය බාලිකා ශූරතාවයයි. ඔවුන් ප්‍රථම වරට බාලක සමස්ත ශූරතාව ජය ගනු ලැබුවේ 2001 වසරේදීය. එවර බාලිකා ශුරතාවත් ඔවුහු හිමිකර ගත්හ.

වලල ඒ. රත්නායක විද්‍යාලය මේ වන විට අවස්ථා 11 කදී සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා බාලිකා ශූරතා හිමිකර ගෙන තිබේ. ඒ 2000, 01, 02, 03, 06, 07, 08, 09, 12, 15 සහ 16 වසරවලදිය. ගිය වසරේදී එනම් 2016 දී බාලක තෙවැනි ස්ථානයයි.

මේ අතර වලල ඒ. රත්නායක විද්‍යාලය සමස්ත බාලක ශූරතා 05 ක් හිමිකර ගෙන තිබේ. ඒ 2001, 02, 06, 07, 08 වසරවලදීය.

අදහස්