කොළඹට ආවේ විසි දෙලක්ෂයක් අතර දක්ෂයෝ | සිළුමිණ

කොළඹට ආවේ විසි දෙලක්ෂයක් අතර දක්ෂයෝ

ප්‍රශාන්ත ඇල්පිටිය

මේක දැවැන්ත සුවිශාල කාර්යභාරයක්. රනිල් වික්‍රමසිංහ මහතාටත් ඕන වුණේ මේ වගේ දැවැන්ත කාර්යයකට අතගහන්න.

 

අවුරුදු තිස්තුනක ඉතිහාසය දිහා හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි. 1984 දී එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පටන් ගන්න පුළුවන් වුණා. මට ගොඩක්ම සතුටට හේතුව තමයි අවුරුදු 33 කට පස්සෙත් මේ තරගාවලිය සංවිධානය කරන්න ලැබීම ගැන.

මේ අවුරුදු තිස් තුන තුළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා.

මේ අදහසේ වස්තු බීජය?

මීට අවුරුදු තිස් තුනකට කලින් මාව අධ්‍යාපන අමාත්‍යංශයට බඳවා ගත්තේ එවකට අධ්‍යාපන ඇමැතිවරයා වූ වත්මන් අග්‍රාමාත්‍යවරයා. අපි ඒ දවස්වල කල්පනා කරමින් හිටියා ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන දූදරුවන්ට උණුසුම් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් ජාතික මට්ටමේ වැඩසටහනක් ගැන. ඊට පස්සේ තමයි ජාතික පාසල් ක්‍රීඩා සංකල්පය හදලා මේ කාර්යයට මුල පිරුවේ.

රනිල් වික්‍රමසිංහ මහතා එක පාරම ඔබේ අදහසට කැමති වුණාද?

එතුමාට ඕනෑවෙලා තිබුණේ ලංකාවේ පාසල් ක්‍රීඩාව උච්චතම ස්ථානයට ගෙන එන්න ඕනෑම දෙයක් කරන්න. ඒ නිසා හොඳට හිතලා බලලා වැඩ කරන්න නිදහස දිලා තිබුණා. ඒ නිදහසේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ. පළමු සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා විදියට එකතු වුණේ නැසීගිය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. මේහැම අවස්ථාවකදී ක්‍රීඩා උළෙල සාර්ථක කර ගන්න රනිල් වික්‍රමසිංහ මහතා අපේ පසුපසින් ඉඳලා උදව් උපකාර කළා.

මේ අදහස ඔබ ඉදිරිපත් කරනකොට ලැබුණු ප්‍රතිචාර මොනවගේද?

මේක දැවැන්ත සුවිශාල කාර්යභාරයක්. රනිල් වික්‍රමසිංහ මහතාටත් ඕන වුණේ මේ වගේ දැවැන්ත කාර්යයකට අතගහන්න. එතුමා සාවධානව මෙයට අවධානය යොමු කරනකොට වට පිටාවෙන් ගැටලු මතු නොවුණාම කියන්න බෑ. හැබැයි මගේ අරමුණ වුණෙත් වත්මන් අගමැතිවරයාගේ අරමුණ වුණෙත් මොන බාධක, ගැටලු අවලාද මතු වුණත් අපේ පාසල් දූ දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා හැකියාවන්ට වේදිකාවක් හදන්න.

මේ ක්‍රීඩා උළෙලට අත ගහනකොට මූලික අරමුණු සහ පරමාර්ථ වුණේ?

ක්‍රීඩාව කියන දේ බොහෝම සංවිධානාත්මක තියෙන්න ඕනා කියන තැනයි අපි හිටියේ. ඒ වගේම මේවා නරඹන්නත් ප්‍රේක්ෂකයන් ඉන්න ඕනෑ. ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ තරග නීතිරීති යටතේ තරග තියෙන කොට දූදරුවන්ට මේවා ගැන ඇල්මක් හා විශ්වාසයක් ගොඩනැඟෙනවා. මේ විශ්වාසය මත තමයි දෙමාපියන්, ගුරුවරුන් ඇතුලු සමස්ත සමාජය එකතු වෙන්නේ. මේ දේවල් හරියට ඉෂ්ඨ සිද්ධ වෙනකොට අපේ අරමුණවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මේ තුළින් බිහිකර ගැනීමට හැකිවෙනවා.

මේ අවුරුදු තිස් තුනක අතීතයේ ස්වර්ණමය යුගය?

යම් යම් කාල වකවානුවල පසුබැසීම් තිබුණා. සමහර කාලවල මමත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටියේ නෑ. ගිය අවුරුද්දේ ඉඳලා විශේෂ උපදේශකවරයකු විදියට කටයුතු කරනවා.

මේක තමයි ලෝක ස්වභාවය. යම් යම් දේවල නැඟීම් - බැසීම් තියෙනවා. හැමදාම කිසිම දෙයක් ටොප් එකේ ම තියෙන්න බෑ. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා වගේ තමයි උස් පහත්වීම් තියෙනවා.

මේ තරගාවලියේ ප්‍රතිලාභ විශේෂයෙන් ජනතාව තුළ ක්‍රීඩාව ගැන උනන්දුවක් සහ ආශාවක් ඇති කිරීම මේවගේ දේවල් දකින කොට මවුපියන් දරුවන්ව ක්‍රීඩාවට යොමුකරන්න විශේෂ ආසාවක් උනන්දුවක් දක්වනවා. නැත්නම් හුඟ දෙනෙක් ප්‍රසිද්ධ ක්‍රීඩා කිහිපයක් තෝරගෙන ඒ පසුපස යනවා.

මේ ක්‍රීඩා උළෙලෙ ක්‍රීඩා 28 ක් තියෙනවා. මේ උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් එකතු වෙනවා. 1984 ක්‍රීඩා 16 කින් පටන් ගත්තේ. ලබන අවුරුද්දේ ඉඳලා තව ක්‍රීඩා දෙකක් එකතු වෙනවා. කොට්ඨාශ - කලාප - දිස්ත්‍රික් - පළාත් තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසි දෙලක්ෂයක් තරග කරලා තමයි මේ පිරිස අවසන් තරගවලට ඇවිත් ඉන්නේ.

මේවගේ දැවැන්ත තරගාවලියට යටිතල සහ මානව සම්පත් පහසුකම් ප්‍රමාණවත්ද?

 

ඇත්තටම මේවායේ තමයි ගැටලු තියෙන්නේ. අධ්‍යාපන ඇමැතිතුමා ප්‍රකාශ කරනවා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගන්නවා කියලා. මේ වගේ මානව සම්පත් සහ යටිතල පහසුකම් ගොඩනගාගෙන යනකොට මේ ගැටලු විසඳා ගන්න පුළුවන් වෙයි. අපේ ලේකම්තුමා කියන්නෙත් කකුල්වලින් අදින වැඩ ඕනා තරම් තියෙයි ඒවා ගණන් ගන්නේ නැතුව වැඩ කරගෙන යන්න කියලා.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.