එකම හඳ රට­වල් දෙක­කදී දුටු හැඟීම ගීත­යට මුල් වුණා | සිළුමිණ

එකම හඳ රට­වල් දෙක­කදී දුටු හැඟීම ගීත­යට මුල් වුණා

 

ඔහු ඉතා අපූර්ව මිනිසෙකි. විටෙක ඔහු ගායකයෙකි, ගී තනු නිර්මාණකරුවෙකි, විටෙක ග්‍රන්ථ කර්තෘවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකි; තවත් විටෙක දාර්ශනිකයෙකි, චින්තකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඉතිහාස ගවේෂකයෙකි. මේ සෑම හැකියාවකින්ම ඔහු පොහොසත්ය. ඔහු භද්‍රජී මහින්ද ජයතිලකය. බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ බට්ටිත්තා ගීතය නිසාය.

‘හන්තාන කඳුපෙළ - හඳට ආ වඩා

සරසවියට පිනි - පොදක් වැටෙනවා

මගෙ හද මැඳුරට - අඳුර ගලනවා

බට්ටිත්තෙක් මගේ දුකට හඬනවා

කෝ ඈ... කොහෙද මගෙ රන් කිරිල්ලී’

භද්‍රජී මහතා වසර 44ක් තිස්සේ ජීවත්වන්නේ ඇමෙරිකාවේය; ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙමට් නම් ප්‍රදේශයේය. ඔහු එහි නාට්‍යකරණය, චිත්‍ර ශිල්පය වැනි විෂයයන් උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරයි. ඇමෙරිකාවේ ජීවත්වුවද වසරකට කීප වරක් ලංකාවට පැමිණෙන්නට ඔහු අමතක කරන්නේ නැත. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණෙන්නේ ඔහු ලියන පොත් ශ්‍රී ලාංකික පාඨකයින් වෙත පිළිගැන්වීමටය. මෙවර ද පැමිණියේ ඔහු රචනා කළ අලුත්ම කෘති තුනක්ද රැගෙනය. සති දෙකක් වැනි ඉතා සුළු කාලයකට පැමිණි ඔහු ඒ සුළු කාලය තුළ අප වෙනුවෙන් ද කාලයක් වෙන් කළේ ඉතාම කැමැත්තෙනි.

“මොනවද මේ අවුරුද්දේ ඔබ එළිදක්වන පොත්”.

“මෙවර කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනයේදී මම පොත් තුනක් එළිදැක්වූවා. එකක් බලකොටු සහ නෞකා. මේ කෘතිය පෘතුගීසින් අපේ රට පාලනය කළ කාලය පිළිබඳව අධ්‍යයනය කර මා ලියූ කෘතියක්. 1505 සිට 1565 දක්වා කාලය තුළ පෘතුගීසි පාලනය නිසා අපේ රටේ සිදු වූ වෙනස පිළිබඳව මෙයින් කියැවෙනවා. මෙහිදී මම චරිත තුනක් වටා මෙම කතාව නිර්මාණය කළා. අනෙක් පොත ‘ගන්දර කලපුව’. මෙය බලකාමී මිනිසුන් පිළිබඳව ලියැවුණු පොතක්. මේ අවුරුද්දේ මම පළ කළ අනෙක් පොත ‘ගිම්හානේ ගීත.’

මෙවර ඔබ ලංකාවට පැමිණීමට හේතු වුණු අනෙක් කරුණු...

රාවණා පුවත පිළිබඳව මා රචනා කළ කෘතියක් ඇසුරින් ලංකාව තුළ බැලේ එකක් නිර්මාණය වෙනවා. ඒ පිළිබඳව සොයා බැලීම එක් කාරණයක්. අනෙක මගේ අක්කා පැවිදි දිවියට ඇතුළත් වුණා. එතුමියගේ සුවදුක් බැලීමත්, මා විසින් වාර්ෂිකව දෙන දානමය පුණ්‍යකර්මයත් නිසා තමයි මෙවර මා ලංකාවට ආවේ. ඒ වගේම හන්තාන කඳු මුදුනේ මගේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා. ඒක සිදු කිරීමට මුල් වුණේ මගේ රසික හවුලේ පිරිසක්. හන්තාන රාජමහා විහාරාධිපති ඇතුල්ගම ධම්මදස්සි නාහිමියන්, අඹතලාවේ සරණංකර හිමියන් ඇතුළු පිරිසක් මේ සඳහා මූලිකත්වය ගෙන තිබෙනවා. හන්තාන උඩුවෙල මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නෙ කුණ්ඩසාලේ අමරනාත් නම් නිර්මාණකරුවා විසින්. මේ සියලුම කාරණා නිසා තමයි මේ සැරේ මම ලංකාවට ආවේ.

කොහොමද ඔබේ ළමා කාලය ගෙවුණේ?

මගේ ගම ගාල්ලේ බද්දේගම. අපේ පවුලේ 7 දෙනෙක් හිටියා. මට අවුරුදු තුනක් වන විට ගීත ගායනයේ හැකියාවක් පෙන්නුම් කළ බව අම්මා පසු කාලෙක මට කියල තියෙනවා. මගේ අයියා (මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක) පුංචි කාලෙ මට චිත්‍ර අඳින්න කියලා දුන්නා. මට අවුරුදු 7දී මගේ මල්ලිට කතන්දර නිර්මාණය කරලා කියල දීලා තියෙනවා. මුලින්ම පාසල් ගියේ විද්‍යාකර විද්‍යාලයට. ඉන් පසුව ආනන්ද ශාස්ත්‍රාලයට ගියා. ගාල්ලේ ඉඳලා අපි නුගේගොඩ පදිංචියට ආවා. අවසන් වශයෙන් මම පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඉන් පසුව මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ රැකියාවකට ගියා. මම නැවතිලා සිටිය තැනට ඉතාම අපූරු දර්ශනයක් පෙනෙනවා. ඒ හඳ ඇති රාත්‍රියට හන්තාන කඳු වළල්ලෙන් හඳ නැඟ එන දර්ශනය. මේ දර්ශනය මම ඉතාම ආශාවෙන් රස වින්දා. ඇමෙරිකාවට මට යන්න ලැබුණේ 1973 දී. එහේදි හොලිවුඩ්වල, හොලිවුඩ් කන්දෙන් හඳ පායාගෙන එන දර්ශනයන් මම රස වින්දා. එකම හඳ තමයි රටවල් දෙකක ස්ථාන දෙකකදී මම දුටුවේ. මෙන්න මේ හැඟීමත් එක්ක තමයි බට්ටිත්තා ගීතය නිර්මාණය වුණේ.

ඇමෙරිකාවේ වැඩිහිටියන්ටත් ඔබ චිත්‍ර ශිල්පය උගන්වනවා නේද?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ ඇමෙරිකානු සමාජයේ වැඩිහිටියන්ට සලකන්නේ නැති බවයි. ඒක බොරු. වයස්ගත වුණාම ශ්‍රී ලංකාව තුළ වැඩිහිටියන් කොන් කරනු ලැබුවත් ඇමෙරිකාවේ එහෙම නෑ. ඇමෙරිකානු වැඩිහිටියන්ගේ මානසිකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් සඳහාම විශේෂ අධ්‍යාපන ක්‍රමයක් එහේ ක්‍රියාත්මක වෙනවා. නාට්‍ය, රංගනය, සංගීතය, චිත්‍ර කලාව වැනි ඕනෑම විෂයක් එහිදී හැදෑරීමේ හැකියාව තිබෙනවා. මේ අධ්‍යාපනය හොඳින් හදාරා ඒ මඟින් රැකියාවක් කරන ඇමෙරිකානු වැඩිහිටියනුත් ඉන්නවා. එවැනි වැඩිහිටියන්ට චිත්‍ර, සංගීතය නාට්‍ය ඉගැන්වීම තමයි මම සිදු කරන්නේ.

ඔබ කලාවේ යෙදිලා ඉන්නවා වගේම ආධ්‍යාත්මික වශයෙන් මනස දියුණු කර එයින් අන් අයට පිහිට වෙනවා නේද?

වියට්නාම ජාතික ගුරුවරයකු යටතේ මානසික බලය අවදි කරන හැටි මම ඉගෙන ගත්තා. සිතට හෝ ශරීරයට කිසියම් පීඩාවක් ඇතිවුණු විට එය සමනය කරගන්නත් මෙම භාවනා ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා. මිනිස් සිරුරේ චක්‍ර අවදිකොට ඒවාට කතා කළ හැකි භාවනා ක්‍රමයක් තමයි මම ඉගෙන ගෙන තියෙන්නේ. මෙයින් බොහෝ දෙනකුට උපකාර කිරීමේ හැකියාව තියෙනවා. එයින් මට විශාල තෘප්තියක් ලබනවා. 

 

Comments