ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද? | සිළුමිණ

ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද?

 ලොකු ගාණක් දීලා නම්බර්පෑඩ් එකක් තිබෙන දුරකථනයක් වෙනුවට ටච් කරන්න පුළුවන් ස්මාර්ට් දුරකථනයක් ගත්තාට ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්නේ නැත්නම් මේ ලිපි මාලාවෙන් ඒ සඳහා හොඳ අත්වැලක් ඔබට ලැබේවි.

දුරකථනයේ ප්‍රධාන සැකසුම් සිදුකරගත හැකි සෙටිංස් ගැන වෙත තමයි අපි ගිය සතියේ පූර්විකාව සපයා ගත්තේ. ඇප් ඩ්‍රෝවරයෙන් Settings වෙත පිවිසීම හෝ ඇතැම් දුරකථනවල තිරයේ ඉහළ වෙලාව, සිග්නල් ප්‍රමාණය ආදිය පෙන්වන “ස්ටේටස් බාර්” (Status bar) එක මත ඇඟිල්ල තියලා පහතට ඇදගෙන ඒම (ස්වයිප් කිරීම) සිදු කිරීමෙන් ලැබෙන කොටසේ ඉහළ ඇති දැති රෝද අයිකනය මත ටැප් කිරීමෙන් පහසුවෙන් ඒ වෙත යා හැකියි. සෙටිංස්වල තිබෙන වයිෆයි (WiFi) මත ටැප් කිරීමෙන් වයිෆයි සබල/අබල කිරීම, සබල කිරීමෙන් පසු ඔබ අවට ඇති වයිෆයි සබඳතා ලැයිස්තුවක් ලබා ගැනීම සහ ඔබ දන්නා වයිෆයි රවුටරයකට සබැඳීම සිදු කළ හැකියි.

වයිෆයි කියන්නේ රැහැන් රහිත අන්තර්ජාල සබඳතාවක්. “වයිෆයි රවුටරය” එහි තිබෙන සිම්පතක් හෝ දුරකථන රැහැන් භාවිතයෙන් අන්තර්ජාලයට සබැඳෙන අතර රැහැන් රහිතව ඔබට එම රවුටරයට වයිෆයි හරහා සම්බන්ධවී අන්තර්ජාලය භාවිතා කරන්නට හැකියාව ලැබෙනවා. හැම කෙනෙක් ම මෙසේ සබැඳීම වැළැක්වීමට රවුටර්වල මුරපද (පාස්වර්ඩ්) යොදා තිබෙනවා. ඒ නිසා වයිෆයි සබල කර ඔබේ නිවසේ/මිතුරෙකුගේ වයිෆයි රවුටරයේ නම ටැප් කළ විට පාස්වර්ඩ් එක ඇතුලත් කරන ලෙස ඔබට පවසනවා. ප්‍රසිද්ධ ස්ථානවල නොමිලේ දී ඇති වයිෆයි සඳහා සබැඳීමේදී නම් ඔබ ඒ මත ටැප් කළ වහා ඊට සබැඳෙනවා. එනමුත් බ්‍රවුසරය හරහා ඒ සඳහා ලියාපදිංචි කිරීමෙන් පසුවයි ඔබට එය භාවිතා කළ හැකි වන්නේ.

ඊළඟට ඉංග්‍රීසි B අකුරක් වැනි අයිකනයක් සමඟ බ්ලූටූත් සැකසුම් තිබෙනවා. එය ටැප් කිරීමෙන් ඔබේ දුරකථනයේ බ්ලූටුත් සබල/අබල කිරීමට Turn on Bluetooth ලෙස හෝ ඊට සමාන වැකියකින් ස්විචයක් ලබා දී තිබෙනවා. මෙය සබල කිරීමෙන් ඔබට ඔබ අවට තිබෙන බ්ලූටූත් සක්‍රීය කළ දුරකථන, බ්ලූටූත් හෙඩ්සෙට් ආදී උපාංග දැකගත හැකියි. ඊට පසුව තිබෙන විසිබිලිටි (Visibility) යන්නෙන් ඔබේ දුරකථනය අනෙක් දුරකථන/පරිගණක ආදී උපාංග වලට කෙතරම් වේලාවක් දිස්විය යුතු ද යන්න ලබාදිය හැකියි. එවිට දෙන ලද කාල පරාසයකදී පමණක් බ්ලූටූත් සබල කිරීමෙන් පසු අනෙක් අයට ඔබේ දුරකථනයට සබැඳුම් ආරාධනා (connection request) එවිය හැකි වෙනවා. එසේ ම ඉහත සඳහන් කළ ඔබ අවට උපාංග ලැයිස්තුවේ නමක් මත ඔබ ටැප් කිරීමෙන් ද මෙම ආරාධනාවන් යැවිය හැකි වෙනවා. එසේ යවන ලද හෝ ලැබුණු ආරාධනාවක් සඳහා අවසර දීමෙන් දුරකථන දෙක සම්බන්ධ වීම පෙයාර් (pair) වීම ලෙස හඳුන්වනවා. දැන් ඔබට ඔබේ පින්තූර, වීඩියෝ ආදී ඕනෑම දෙයක් මිතුරාගේ දුරකථනය සමඟ බෙදාහදා ගත හැකියි. pair කළේ බ්ලූටූත් හෙඩ්සෙට් එකක් නම් ඒ හරහා දැන් දුරකථනයේ තිබෙන ගීත ඇසිය හැකියි. අපි ලබන සතියේත් මෙවන් අනෙකුත් සැකසුම් ගැනත් සොයා බලමු.

තඹරු විජේසේකර 

Comments