විලෝපික පාඨකයා | සිළුමිණ

විලෝපික පාඨකයා

අතනින් මෙතැනින් කියවන, අවිධිමත් පාඨකයෙකු වන මම අන්තර්ජාලයෙහි කරක් ගසන විට මෙබඳු විචාරක කියුමක් දුටුවෙමි.

“Reading is a Predatory activity”

මේ කියමන, ‘කියවීම යනු විලෝපික ක්‍රියාවලියකි’ යනුවෙන් සිංහලට පෙරළා ගත හැකි ය.

විලෝපිකයන් යනු සිංහයන්, කොටියන් වැනි ගොදුරු අල්ලා මරා කන සතුන් යැයි සිතන විට සාහිත්‍ය කෘතියක් කියවීම හෝ රස විඳීම මෙවැනි රෞද්‍ර ක්‍රියාවලියක් වන්නේ කෙසේද යන විස්මය අප තුළ පැන නඟී. විලෝපිකයන් තම ගොදුරු අල්ලා ගන්නා ආකාරය අපි Animal Planet හෝ Youtube වැනි මාධ්‍යවල දැක ඇත්තෙමු. තම ගොදුරු පසුපස හඹා ගොස්, ඔවුන් මත කඩා පැන, නිය පසුරින් අල්ලා ගෙන, බිම පෙරළා, සොල්ල සොල්ලා, හම ඉරා, මස ඉරා, ලේ වගුරුවා තම ගොදුර මරා කෑම විලෝපිකයා අනුයන ක්‍රියාවලියයි.

සාහිත්‍ය කෘතියක් කියවීම මෙවැනි දඩයක්කාර, ඝාතක ක්‍රියාවලියක් යැයි කීම අප තුළ කම්පනයක් ඇති කරයි. පාඨකයා යනු සහෘදයෙකු නොවේද කියා අපට නොසිතෙන්නේ ද? ඇතැම් විට සමහර විචාරකයෙකුගේ ‘දෙඤ්ඤං බැටේ’ විචාරය නම් මෙවැනි ප්‍රවේශයකට සම කළ හැකි ය. ඒ අනුව ‘කියවීම යනු විලෝපික ක්‍රියාවලියකි’ යන්න මුග්ධ හා සාහසික ප්‍රකාශයක් යැයි යමෙකුට හැඟී යාම සාධාරණ ය.

එහෙත් මේ ප්‍රකාශය සෙමෙන් විමර්ශනය කර බැලීමේදී අපට කාරණා කිහිපයක් වැටහෙන්නට පටන් ගනී. එනම්,

1. කවියා (මෙහිදී මම කවියා යනුවෙන් හඳුන්වන්නේ නවකතාකරුවන්, කෙටිකතාකරුවන්ද ඇතුළු සියලු සාහිත්‍යධරයන්ය) යනු යම් උත්කෘෂ්ඨ සත්‍යයක් ලෝකයට සංහරණය කරන්නා වූ දිව්‍යමය ප්‍රාදුර්භූතයක් නොවේ.

2. ‘කියවීම’ නමැති ක්‍රියාවලියේදී පාඨකයාට ද සක්‍රිය කාර්යභාරයක් ඇත.

3. නිර්මාණයේ කතුවර අධ්‍යාශය සොයන්නේ නම් ඊට අමතරව ‘පාඨක අධ්‍යාශය’ ද සෙවිය යුතු ය. එනම් පාඨකයෙකු යම් සාහිත්‍ය නිර්මාණයක් වෙත එළඹෙන්නේ යම් අධ්‍යාශයක් ඇතිවය. ඔහු/ ඇය නිර්මාණය විමසන්නේ තම පාඨක අධ්‍යාශය සිත්හි දරාගෙන ය.

4. සාහිත්‍ය නිර්මාණයක් කැලේ වසන කුළු මීමෙකු මෙන් ලෙහෙසියෙන් තම විලෝපිකයාට හෙවත් පාඨකයාට අවනත නොවෙයි. ඒ නිසා හොඳ සාහිත්‍ය නිර්මාණයක් වෙත විලෝපිකයෙකු මෙන් යළි යළිත් කඩා පැනීම අවශ්‍ය වෙයි. එලෙස කඩා පැන ඒ සාහිත්‍ය නිර්මාණය දමනය කර එහි පිරිවිතර විමසන්නට පාඨකයාට සිදු වෙයි.

අපි මේ ප්‍රතිවේදයන් තරමක් විස්තරාත්මකව විමසා බලමු.

කවියාගේ කවිත්වය හෝ නිර්මාණශීලිත්වය පැන නඟින්නේ කොතැනින් ද? කෙසේද? මෙම පැනයට පිළිතුරු සැපයීමේදී පෙරපර දෙදිගම සාහිත්‍ය විචාර වාද තුළ කවියා යනු දිව්‍යමය වරදානයකින් මෙන් ලැබූ, විදුරු මිණක් වන් ප්‍රඥාවෙන් ද ප්‍රතිභාවෙන් ද සමන්විත උත්කෘෂ්ටයෙකු යැයි කෙරෙන හැඟවීම් සුලභය. මේ නිසා කවියා සෙස්සන් කෙරෙන් දුරස්වූ හෝ ඔවුනට අවිෂය වූ උත්කෘෂ්ඨ යථාර්ථයක් තම නිර්මාණය හරහා අවශේෂ මනුෂ්‍යයන්ට මේ යැයි ඔසවා පෙන්වන දිව්‍යමය ප්‍රාදර්භාවයකි. කවියා හෙළිදරව් කරන මේ උත්කෘෂ්ඨ යථාර්ථය පාඨකයා විසින් එකත්පස්ව සිට සාදර ගෞරවයෙන් යුක්තව සමාදන් විය යුතු ය. අනුමෝදන් විය යුතු ය.

එහෙත් කියවීම යනු විලෝපික ක්‍රියාවලියකි යන කියමන මේ මතයට අභියෝග කරයි. විලෝපිකයා තම ගොදුර පෙළමින් එහි අභ්‍යන්තරයට පිවිසෙන්නේ යම් සේ ද පාඨකයා ද කවිය වෙත ආක්‍රමණශීලීව හා සක්‍රීයව ප්‍රවේශ වෙමින් එය විමසිය යුතු ය. කවිය විමසීම යනු කවියා විසින් කවිය තුළ ගැබ් කළ ආලෝචනාවන් විමසීම පමණක් නොවේ. කවර විභවයන් ඒ නිර්මාණය තුළ වර්ධනය කළ හැකිව තිබිණි ද? කවියාට මඟ හැරුණු අන්තර්දෘෂ්ටීන් මොනවාද? භාෂාවේ ශක්‍යතාවන් හා සංරචනයේ ශක්‍යතාවන් තුළින් කවියට ලැබී ඇති අර්ථ කාරක ගුණ මොනවාද යනුවෙන් නිර්භය ලෙස කවිය විමසීම මේ විලෝපික පාඨක භාවයෙන් අදහස් කෙරේ. ඒ අනුව කවිය සංස්කරණය කොට අලුතින් ලිවීමට පවා පාඨකයා නොපසුබට විය යුතු ය.

මේ අනුව පාඨකයා යනු කවියා පොවන තෛලය පමණක් ගිල ගන්නා අක්‍රිය ප්‍රතිග්‍රාහකයෙක් නොවේ.‍ කවිය කියවීම, රස වින්දනය, විචාරණය, විශ්ලේෂණය පමණක් නොව සංශ්ලේෂණය ද (Synthesis) සිදු කරන සක්‍රිය ප්‍රබුද්ධයෙකි‍. කවිය හරහා අලුත් දේ සංශ්ලේෂණය කරන මේ විලෝපික පාඨකයා එහෙයින් ම කවියා හා උරෙනුර ගැටී ක්‍රියා කරන නිර්මාණකරුවෙක් ද වෙයි.

මේ අනුව හොඳ පාඨකයා කවරාකාර විය යුතු ද යන්න පිළිබඳ අදහසක් අපට මේ විලෝපික පාඨකයා පිළිබඳ ප්‍රවාදයෙන් සූචනය කර ගත හැකි ය. හොඳ විලෝපිකයෙකු වන්නේ තියුණු නිය පසුරු, දත් හා ජව වේග ඇති සවිමත් විලෝපිකයාය.

එලෙසම විශිෂ්ට පාඨකයා වන්නේ කියවීමෙන් ලත් බහුශ්‍රැත භාවය හා පරිචය ඇති, පරිකල්පන ශක්තියෙන් හෙබි, තියුණු වූ භාව ඉන්ද්‍රිය හා අන්තර් ඥානයකින් හෙබි විදග්ධ පාඨකයෙකි. කවියාගේ නිර්මාණය නැවැත ලිවීමට වුවත් නොපසුබට විය යුත්තේ ඉහත ආකාර‍යේ විශිෂ්ට පාඨකයකු යැයි උපකල්පනය කිරීම සාධාරණය.

කවියක හෝ වෙනත් සාහිත්‍ය නිර්මාණයක ‘කතුවර අධ්‍යාශය’ පිළිබඳව බෙහෙවින් සාකච්ඡා වී ඇත.‍ මෙවැනි කෙටි ලිපියක් එවැනි සාකච්ඡාවකට ඉඩ හසර නොසපයයි. මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘සහෘද සාක්ෂිය’ (2008) කෘතිය මේ පිළිබඳව සාරවත් සාකච්ඡාවක් සිදු කරයි.

මේ විලෝපික පාඨකයා පිළිබඳ ප්‍රවාදයෙන් මා කියන්නට හදන්නේ පාඨකයාට ද ආධ්‍යාශයක් ඇති බව ය. ගොදුරු දඩයම් කිරීමේදී විලෝපිකයාගේ මූලික ආධ්‍යාශය ‘මාංසය’ යි. විලෝපිකයා සැනෙකින් තම ගොදුර මුවෙකු, හාවෙකු හෝ ගෝනෙකු වේවා මාංසයක් බවට පරිවර්තනය කරයි. මේ මාංසය භක්ෂණය කිරීමේ පරමාධ්‍යාශය නම් කුස ගින්න නිවා ගැනීමයි. සිංහයන් කොටියන් වැනි සාමාන්‍ය විලෝපිකයෝ තම ගොදුරේ මාංසය උපුටා ගෙන අනුභව කිරීමෙන් පමණක් සන්තර්පණය වෙති. එහෙත් ‘විලෝපික පාඨකයා’ ඊට වඩා දරුණු සත්ත්වයෙකි. ඔහුගේ කුසගින්න පැන නගින්නේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් ලෙස නොවේ. සංස්කෘතික අවශ්‍යතාවක් ලෙස ය. ඔහුගේ/ ඇයගේ සංස්කෘතිය, සම්ප්‍රදාය, දෘෂ්ටිවාද හා පෞද්ගලික අගතීන් හරහා ඔහුගේ සාහිත්යික කුසගින්න පැන නඟී. එපමණක් ද නොව කෘතිය ස්වාධීන, වියුක්ත ඒකකයක් ලෙස ගෙන එයින් පමණක් ඔහු සන්තර්පණය නොවේ. මේ විලෝපික පාඨකයා ‘සංස්කෘතික සූපවේදියෙකි! කෘතියේ මාංසය උපුටාගෙන ඔහු ඊට තමා රිසි පරිදි රසකාරක හා වෙනත් දේ එකතු කර එය පිසගෙන අනුභව කරයි.

ඔහු අමු මස් කන්නෙක් නොවේ. මාංසයෙන් ‘ඉස්ටු’ හදාගෙන කන්නෙකි. වෙනත් විධියකින් කිවහොත් පාඨකයා හැම විටම නිර්මාණය තම පුද්ගල භාවය නමැති උරගලෙහි ගටා බලන්නෙකි. එහි වරද නිවරද විනිශ්චය කිරීම මේ ‍ලිපියේ විෂය පථයට අදාළ නොවේ. මා කියන්නේ තම හොටින් ගත් මාළුවා තමා වසා සිටින අත්තෙහි ගසන පිළිහුඩුවෙකු මෙන් පාඨකයා ද තමා අබිමුව ඇති නිර්මාණය තම පුද්ගලභාවය නමැති අත්තෙහි ගසන්නට පසුබට නොවන බවයි. මේ කියුම ගැන තවත් විදර්ශනා කරන විට වැ‍ටහෙන දෙයක් නම් කවියක් හෝ හොඳ සාහිත්‍ය නිර්මාණයක් වෙත විලෝපිකයෙකු මෙන් යළි යළිත් කඩා පැනීම අවශ්‍ය බවයි. හොඳ සාහිත්‍ය නිර්මාණය කැලේ වසන නොදැමුණු කුළුමීමෙකුට සමාන කළ හැකි ය. එය පාඨකයාට තබා නිර්මාණකරුවාටවත් තමා මුළුමනින් දමනය කරන්නට ඉඩ නොදෙයි. අඟින් ඇන, පයින් ගසා විලෝපිකයා පන්නා දමන කුළුමීමෙකු මෙන් හොඳ සාහිත්‍ය නිර්මාණය ද පාඨකයාට මුළුමනින් ම අවනත නොවෙයි. දමනය නොවෙයි. නැවැත නැවැත එළඹී එය පරීක්ෂා කර බැලීමට පාඨකයාට ද සිදුවෙයි. කොතෙක් බැලුවත් වටහා ගත නොහැකි සංදිග්ධතාවක් හොඳ නිර්මාණය සතු ය. මෙය නිර්මාණයේ ‘අදම්‍යතාව’ හෙවත් දමනය නොකළැකි බව ලෙස මහාචාර්ය අමරකීර්ති හඳුන්වයි.

මෙලෙස සමීපව පරීක්ෂා කරන විට පෙනෙන්නේ ‘කියවීම විලෝපික ක්‍රියාවලියකි’ යන්න අප හිතන පරිදි සාහසික ප්‍රකාශයක් නොව ‘පාඨකයා’ හා ‘කියවීම’ යන සංකල්පයක් අලුතින් නිර්වචනය කරන ප්‍රකාශනයක් බවයි. කියවීම යනු හුදු වචනවල වාච්‍යාර්ථ දැන ගත් පලියට කළ හැක්කක් නොවන බව ද එයට පුහුණුවක් හා අධ්‍යාපනයක් තිබිය යුතු බව ද මේ කියමන අපට උගන්වයි.

වනාන්තරයේ විලෝපිකත්වය මෙන් නොව පාඨක ලෝකයේ විලෝපිකත්වයේදී පාඨකයා කෘතිය කෙරෙහි දක්වන්නේ සමාදර බවකි. වනාන්තරයේදී ගොදුර විලෝපිකයාට ගොදුරු වන්නේ ගැලවී පලා යා නොහැකි නිසා ය. එහෙත් පාඨක විලෝපිකත්වයට ගොදුරු වීමට කෘතිය සැදී පැහැදී බලා සිටී. සහෘද සාක්ෂිය කෘතියේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් උපුටනු ලබන සාහිත්‍ය විචාරක මාර්ක් විලියම් රොවේගේ පහත කියුම මෙය ඔප්පු කරයි.

“යමෙකු කියවීම විෂයයෙහි කෙතෙක් අධ්‍යාපනය ලබා ඇත්ද ඒ තරමට සාහිත්‍ය කෘතියකින් ලැබෙන ප්‍රදානයන් ද වැඩිය. පාඨකයා කොතරම් බුද්ධිමත් ද ඒ තරමට ම ඔහුට හෝ ඇයට කියන්නට දේ කෘතිය සතුව තිබේ.”

(අමරකීර්ති, 2008)

අවසන් වශයෙන් කිව යුත්තේ මේ කිසිවක් පරම හෝ අවසන් නිගමන නොවන බව ය. එමෙන් ම මේවා විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනවල ප්‍රතිඵල ද නොවේ. යමෙකුට මේවා ‘කවියෙකුගේ ‍ හිතලු’ ලෙස සලකා බැහැර කළ හැකි ය. එය පාඨක අයිතියයි. එහෙත් මේ හිතලු කවියෙකුගේ යැයි සිතීම පිළිබඳව මා තුළ ආහ්ලාදයක් හට ගැනීම නම් වැළැක්විය නොහැකි ය.

Comments