හර්මන් ලෝස් කුසලානය අප රටට හිමි වී වසර 100 යි | සිළුමිණ

හර්මන් ලෝස් කුසලානය අප රටට හිමි වී වසර 100 යි

 "වම දකුණ - වම... වම දකුණ - වම... වම දකුණ, වම දකුණ, වම දකුණ - වම... නව..-තින්!" පසුගිය දිනක විකාශය වූ 'සිහින වසන්තයක්' ටෙලි නාටකයේ කොටසක පාසල් සිසුන් පිරිසක් සරඹ ව්‍යායාමයක නිරත වූ අයුරු එසේ මා නෙත ගැටුණා. එසේ වුවත් පාසල් දරු-දැරියන් අතර මේ වන විට ක්‍රීඩාවට ඇති උනන්දුව ක්‍රමයෙන් හීන වන බවක්ද දක්නට තිබෙනවා. විශේෂයෙන්ම කැඩෙට් හෙවත් ශිෂ්‍යභට කණ්ඩායම්වලට එක් වීමට උනන්දුවක් දක්වන පිරිස් ඉතා අඩු බවත් අපට පෙනී යනවා. මේ අඩු සහභාගිත්ව ක්‍රමවේදය විශේෂයෙන්ම නාගරිකව දක්නට ඇති ප්‍රමාණය වැඩි ප්‍රවණතාවක් ගන්නවා. මේ කොහොම වුණත් ශිෂ්‍යභට පිරිස් උදෙසා කරනු ලබන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ශිෂ්‍යභට පුහුණු බළකාය විසින් කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාද ශිෂ්‍ය භටයන් වැඩි දියුණු කිරීම සම්බන්ධව මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇති අතර, කඩිනමින් ශිෂ්‍යභට කණ්ඩායම් ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

විශේෂයෙන්ම වසර 35කට පසුව කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම් පාසල්හි යළි ආරම්භ කරන ලෙස දැනුම් දී තිබෙනවා. එක්වරම මතු වී තිබෙන මේ ශිෂ්‍යභට කතාව පිළිබඳ අප අදහස් විමසා සිටියේ ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අජිත් වික්‍රමසිංහ මහතාගෙන්.

පාසල් සිසුන් උදෙසා යුද හමුදා සේවාවක් ලෙස සිදු කරනු ලබන මේ කර්තව්‍යයේ අතීතය බොහෝ ඈතට දිව යන්නක්. එය බ්‍රිතාන්‍ය යුගය දක්වා විහිදෙන බව අපට පෙනී යනවා. එනම් 1881 වසරේ ලංකා පාබළ හමුදාව තුළ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ස්වේච්ඡා ඒකකයක් වශයෙන් ශිෂ්‍යභට ඛණ්ඩයක් ප්‍රථමයෙන් ආරම්භ කර ඇති අතර, එවකට එහි විදුහල්පති ජෝන් බී. කල් මහතා ඊට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. පසුව 1903 වසරේදී පාසල් ගුරුවරුන් මගින් ශිෂ්‍යභට කණ්ඩායම් පුහුණුවීම් කටයුතු සිදු කළ අතර, බ්‍රිතාන්‍ය හා ඉන්දීය භටයන් මඟින් දියතලාව ස්වේච්ඡා යුද හමුදා පුහුණු කඳවුරේදී පුහුණුවීම් පැවැත්වුවා.

1904 වසරේදී ශිෂ්‍ය භටයන් සඳහාම ප්‍රථම වරට මලල ක්‍රීඩා උත්සවයක් පවත්වන ලද අතර, එය පාසල් මලල ක්‍රීඩා උත්සවය නමින් අද දක්වාම පාසල්වල පැවැත්වෙනවා.

මෙහි වඩාත් වැදගත්ම අවස්ථාව උදා වූයේ 1917 වසරේදීයි. ඒ ප්‍රථමයෙන්ම පාබළ හමුදාවේ ශිෂ්‍යභට අනුඛණ්ඩවල අතිදක්ෂ ශිෂ්‍ය භට කණ්ඩායම් උදෙසා පිරිනමන හර්මන් ලෝස් අභියෝගතා කුසලානය මෙරටට ලබා දීමයි. මේ වන විට හර්මන් ලෝස් කුසලානයේ පළමු ප්‍රදානයට වසර 100ක් සපිරෙනවා. පසුකලෙක සිට ශිෂ්‍ය භට බළකායේ ජ්‍යෙෂ්ඨ අතිදක්ෂ ඛණ්ඩය වෙත හර්මන් ලෝස් අභියෝගතා කුසලානය පිරි නැමීමට කටයුතු කළා.

මේ අභියෝගතා කුසලානය දිනාගැනීම සඳහා ශිෂ්‍යභටයන් අතර විශාල උනන්දුවක් ඇති අතර සූරතාව දිනාගන්නා අනුඛණ්ඩයට මෙන්ම පාසලටද විශාල කීර්තියක් හිමි වනවා. එමෙන්ම පාසල අයත් වන බළ ඇණියටද විශාල කීර්තියක් හිමි වනවා. අතීතය දෙස අවධානය යොමු කර බැලුව හොත් අපට පෙනී යන්නේ ප්‍රථම වරට හර්මන් ලෝස් කුසලානය හිමි කරගත්තේ මහනුවර කිංස්වුඩ් විදුහල බවයි.

මෙතරම් ජනප්‍රියත්වයක් තිබූ ශිෂ්‍ය භට බළකායක් පසුගිය වකවානුවේදී එතරම් කරළියට නොපැමිණියේ ඇයිද යන්න ගැනද අප විමසා බැලිය යුතු වනවා. එයින් පළමුවැන්න ලෙස පෙනී යන්නේ මේ වන විට දරු-දැරියන් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීමට ඇති උදාසීනත්වයයි. එමෙන්ම ශිෂ්‍ය භටයන් ලෙස කරළියට පැමිණීමට සිසු දරු -දැරියන් උනන්දු කිරීමට කටයුතු නොකිරීමත් මේ සිදු වීමට බලපා ඇති බව පෙනී යනවා. කෙසේ වුවත් අද වන විට සිසු දරුවන්ට මෙන්ම දැරියන්ටත් ශිෂ්‍යභට බළකායේ ඇති වැදගත්කම බෙහෙවින් වැටහී තිබෙන බවත් පෙනී යනවා.

ශිෂ්‍යභටයන් ලෙස පුහුණු වන සිසු දරු-දැරියන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකියාව ඇත්තන් බවට පත් වීම ගැන විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු වනවා. ශිෂ්‍යභටයන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පුරුදු පුහුණු කරනු ලබනවා. එයින් කනිෂ්ඨ ශිෂ්‍ය භටයන් ලෙස වයස අවුරුදු 12ත් 14ත් අතර දරු-දැරියන් සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයන් ලෙස වයස අවුරුදු 14ත් 16ත් අතර සිසු දරු-දැරියන් වර්ගීකරණය කර තිබෙනවා.

මේ ශිෂ්‍යභටයන් පුරුදු පුහුණු කිරීමෙන් තමතමන්ගේ පෞරුෂත්වය දියුණු කරගැනීමට හැකියාව ලැබෙනවා. එසේම ක්‍රමානුකූල ජීවිතයක් හැඩගස්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කළමනාකරණය දියුණු කරගැනීමට විශේෂ දැනුමක් උපදවාගත හැකියි.

ශිෂ්‍ය භටයකු ලෙස පුරුදු-පුහුණු කිරීමේදී දිනය සැලසුම් කරගැනීම, ශාරීරික යෝග්‍යතාව කෙරෙහිද ආකල්ප වෙනසක් ඇති කරනවා. ඒ පෞද්ගලික සෞඛ්‍යයෙන් අරඹා කණ්ඩායමක් ලෙස සාමූහික වගකීමක් දරන්නට හුරු කිරීමෙන්. තමන්ට ඇති දස්කම් එළිදැක්වීමට මෙන්ම ඉදිරි අනාගතය මනා ලෙස සැලසුම් කිරීමටත් ශිෂ්‍ය භටයන් පුරුදු කරනු ලබනවා.

අද බොහෝ දරුවන් තුළින් ඈත් වෙමින් පවතින ගුණාංග රැසක්ම මේ යටතේ ප්‍රගුණ කළ හැකි වෙනවා. නිහතමානි බව, ආකල්ප වෙනස් කිරීමේ හැකියාව, අය වැය සමව පවත්වාගනිමින් මවුපියන්ට බරක් නොවන ලෙසින් කටයුතු කිරීමට ඇති හැකියාව මේ ශිෂ්‍ය භටයන් වෙතින් අපට දැකගැන්මට පුළුවන් වෙනවා.

විශේෂයෙන්ම අද වන විට රටේ තරුණ පරපුරෙන් උසස් අධ්‍යාපනයට යොමු නොවන බොහෝ පිරිස් ත්‍රිරෝද රථවලට යොමු වීම නිසා අනාගතය අඳුරු තත්ත්වයක් කරා ගොස් ඇති බවක්ද පෙන්නුම් කරනවා. මේ තත්ත්වයන්ට විසඳුමක් ලෙසන් අපට ශිෂ්‍ය භට බළකාය හඳුන්වා දෙන්න පුළුවන්.

ශිෂ්‍යභට බළකායන් නැති පාසල් 5400ක් දිවයින පුරා තිබෙන බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ දැනුම් දීම වී ඇත්තේ සියලු පාසල්වල ශිෂ්‍යභට බළකා ස්ථාපිත කළ යුතු බවයි. එනිසා පාසල් 529ක මේ වසර තුළදී ශිෂ්‍යභට බළකායන් ස්ථාපිත කිරීම මේ වන විටත් සිදු කරගෙන යනු ලබනවා. දැනටමත් පාසල් 356ක බළකා ස්ථාපිත කර අවසන්.

එසේම කනිෂ්ඨ ශිෂ්‍ය භට බළකායන් වසර 35කට පසු මේ වසරේ ආරම්භ කිරීමටත් කටයුතු කළා. එය නියාමන ව්‍යාපෘතියක් ලෙස ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කර තිබෙනවා.

අපේ රටේ බොහෝ දෙනාට දරාගැනීමේ ශක්තිය අඩු වුවත් ශිෂ්‍ය භටයන් ලෙසින් පුරුදු පුහුණු වන්නන්ට මේ ශක්තිය නිතැතින්ම ලැබෙනවා. ජය පරාජය ඇතුළු ඕනෑම අවස්ථාවක නොසැලෙන ශක්තිය ඔවුන්ට උරුම වනවා. එම නිසා අනාගතය සැලසුම් කරගැනීම මේ අයට අසීරු නැහැ.

අදින් වසර සියකට පසුව ආරම්භ කරන ලද හර්මන් ලෝස් කුසලාන සඳහා අද පාසල් අතර ඇත්තේ ලොකු තරගයක් වසර පුරා ඔවුන් මේ සඳහා සූදානම් වනවා ලබන මස 19 වැනිදාම කුසලානය පිරිනමනවා. ඒ රනුටැඹේ පුහුණු පාසලේදී. ඒ සඳහා වාර්ෂිකව 40,000ක් පමණ එහිදී තම දස්කම් පෙන්නුම් කරනවා. තම තමන්ගේ පෞරුෂ වර්ධනයත් එක්කම ජාතික ශිෂ්‍ය භට බළකාය නිසා පාසල් අධ්‍යාපනය ස්ථාපිත කරගැනීම මෙන්ම රටට දැයට වැඩදායක දූ-පුතුන් බිහි කරන්නත් මේ කාර්යය හේතු සාධක වනවා.

තාරක වික්‍රමසේකර

Comments