තොරතුරු දැනගැනීමේ අයිතිය සහ රාජ්‍ය අංශය මුහුණදෙන අභියෝග | සිළුමිණ

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ රාජ්‍ය අංශය මුහුණදෙන අභියෝග

 පුරවැසියාට පොදු අධිකාරීන් සතු තොරතුරුවලට ප්‍රවේශ වීම සඳහා ඇති අයිතිය ව්‍යවස්ථාපිත ලෙස තහවුරු කිරීම සඳහා සම්මත කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් පුරවැසියාට හිමි විය යුතු අයිතිය පසුගිය පෙබරවාරි 04 දා සිට තහවුරු කෙරිණි. එහෙත් තොරතුරු කොමිසම පිහිටුවීම සහ එය සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම පුරවැසියාට තොරතුරුවලට ප්‍රවේශය ලබාදීම යන කාර්යයන්වලදී රාජ්‍ය නිලධාරීන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුව තිබේ.

මේ මගින් අපේක්ෂා කරන්නේ පොදු අධිකාරීන්වල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් සාමාජීය වශයෙන් පැනනැගී ඇති බැවින් රටේ මහජනතාවට රාජ්‍ය පාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදුජන ජීවිතයේදී සක්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරීමයි. මේ පනතේ ප්‍රතිලාභ ජනමාධ්‍යවේදීන්ට වඩා පොදුවේ රටේ පුරවැසියන්ට හිමි වනු ඇත. මේ නීතිය මගින් පොදු අධිකාරීන්වලට අදාළ තොරතුරු දැනගැනීම සඳහා පුරවැසියාට පූර්ණ අයිතිවාසිකම් ලැබුණද, සමාජීය වශයෙන් මේ පනතෙහි වැදගත්කම පිළිබඳව සහ ඒ මගින් ගත හැකි ප්‍රතිලාභය පිළිබඳව පුරවැසියා තුළ ඇත්තේ අඩු දැනුවත්භාවයකි. එම නිසා ඉදිරියේදී පුරවැසියා දැනුවත් කිරීම සම්බන්ධයෙන් වන විශාල කාර්යභාරය මීළඟට ඇති දැවැන්ත අභියෝගය වනවාට කිසිදු සැකයක් නැත.

මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයට, තොරතුරු කොමිසමට මෙන්ම සමස්ත රාජ්‍ය අංශයට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වන බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අතර පළමු අභියෝගය වන පසුගිය පෙබරවාරි 03 වන දින පනත ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු යෙදිය යුතුය යන ව්‍යවස්ථාපිත නිශ්චය මේ වන විටත් පූර්ණ කර තිබේ. මේ සඳහා සමස්ත රාජ්‍ය අංශය සූදානම් විය යුතු ආකාරය පිළිබඳ මෙන්ම රාජ්‍ය තන්ත්‍රයම ආවරණය වන පරිදි අවශ්‍ය වන මූලික චක්‍රලේඛ, රෙගුලාසි සකස් කිරීම අවසන් කිරීම හා ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සැලකිය යුතු මට්ටමකින් සම්පූර්ණ කර තිබීම වැදගත් පියවරකි.

මේ නීතිය මගින් පුරවැසියාට ලැබෙන්නේ කුමනාකාර ප්‍රතිලාභයක්දැයි තවමත් ප්‍රමාණවත් ලෙස සමාජගත වී නැති තත්ත්වයක් තුළ ඒ පිළිබඳව රටේ පුරවැසියා දැනුවත් කිරීමේ පුළුල් කාර්යභාරයක්ද, ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ තොරතුරු කොමිසමට පැවරී තිබේ. බැලූ බැල්මට එය සරළ කාරණයක් ලෙස පෙනී ගියද පොදුජනයා දැනුවත් කිරීම ඉතා සංකීර්ණ සහ වියදම් සහිත වගකීමක් වනු නිසැකය. සියලු දිස්ත්‍රික්කවලට ගොස් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීමෙන් පමණක් මේ කාර්යය සිදු නොකළ හැකි බව පැහැදිලි වන අතර, එම වැඩමුළු සමගම පොදුජන මනස ස්පර්ශ කළ හැකි නවීන මාධ්‍ය මේ සඳහා යොදාගැනීමටද සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති රාජ්‍යයක් වන අසල්වැසි ඉන්දියාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කරගැනීමෙන් පසු බහුවිධ මාධ්‍ය ආශ්‍රයෙන් පුරවැසියා දැනුවත් කිරීම සඳහා පුළුල් ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කර තිබිණි. ඒ සදහා දියුණු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මෙන්ම දැනුවත් කිරීමේ වෘත්තාන්ත චිත්‍රපට පවා නිෂ්පාදනය කර තිබේ. ඒ අනුව තොරතුරු පනත ක්‍රියාවට නැඟීමෙන් පමණක් නොනැවතී පුරවැසියා තුළ ප්‍රමාණවත් දැනුවත්භාවයක් ඇති කිරීමේ අභියෝගාත්මක වගකීම ඉටු කිරීමද ඉතිරිව තිබේ. මේ නීතිය මගින් තමන්ට ලැබී ඇති අයිතිවාසිකම පිළිබඳව පුරවැසියාට ප්‍රමාණවත් දැනුවත් බවක් නොලැබුණ හොත් පුරවැසියාගේ අවශ්‍යතා ඉටු නොවන, පනතේ අරමුණ සඵල නොවන තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකිය.

මේ කරුණුවලට වඩා බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ අභියෝග රැසකට රාජ්‍ය අංශයට, රාජ්‍ය නිලධාරීන්ට මේ පනත ක්‍රියාවට නැඟීමත් සමග මුහුණ දීමට සිදු විය හැකිය. ඒ පිළිබඳව බොහෝ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තුළ හෝ ප්‍රමාණවත් අවබෝධයක් ඇතැයි සිතිය නොහැකිය. මෙය අලුත්ම නීතියක් සහ අත්දැකීමක් වන නිසා තොරතුරුවලට ප්‍රවේශවීම සඳහා පුරවැසියාට අයිතිවාසිකම් සලසා ඇති මේ නීතියෙන් ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය පිළිබඳව මෙන්ම තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය පිළිබඳව පොදු අධිකාරීන්වල විවිධ ස්ථරවලට අයත්වන නිලධාරීන්හට දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුළුල් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ද, මතුව ඇත. මෙහිදී මූලික වශයෙන්ම පුරවැසියා දැනුවත් කිරීම සඳහා කළයුතු දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුතු කළ යුතුව තිබේ.

පනතට අනුව පොදු අධිකාරීන් සතු සියලු වාර්තා සූචිගත කර නාමාවලියක් සැකසිය යුතු වේ. පනතේ ප්‍රතිපාදන අනුව දැනට පවත්නා වාර්තා 10 වසරක් සහ පනත ක්‍රියාත්මක වීමෙන් පසු එන වාර්තා වසර 12ක් සංරක්ෂණය කර තබාගැනීමට සිදු වේ. මේ තොරතුරු සූචිගත කරන්නේ කෙසේද? රාජ්‍ය ලේඛනාරක්ෂණයට අදාළව1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂණ පනත යටතේ රාජ්‍ය අංශයේ ලේඛන සහ අධිලේඛන කළමනාකරණය යනුවෙන් රීති පනවා තිබිණි. මෙහිදී තොරතුරු දස වරසරක් තබාගත යුත්තේ කෙසේද? හෙළි නොකළ යුතු තොරතුරු තබාගන්නේ කෙසේද? ඒවා තම තමන්ගේ පොදු අධිකාරීන්වල ආකෘතියට සහ අවශ්‍යතාවට අනුකූලව සූචිගත කිරීම කළ යුතු ආකාරය, වාර්තා ඩිජිටල් ආකෘතියට ගැනීම මෙන්ම නොදෙන වාර්තා වර්ග කිරීමේ ක්‍රියාවලිය කෙසේ කරන්නේද යනාදිය පිළිබඳව රාජ්‍ය ආයතන විසින් නිශ්චිත තීරණයන්ට එළඹිය යුතුය.

පනතේ 8 (1) සහ 8 (2) වගන්ති අනුව කොමිෂන් සභාව බලාත්මකවී මාස 6 ක් ඇතුලත සියලු අමාත්‍යංශවල ඇමතිවරුන් කොමිසමට වාර්තාවක් සැපයිය යුතුව තිබේ. අමාත්‍යංශයේ කර්ත්‍රව්‍ය සහ ක්‍රියාකාරකම්, අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතනවල තොරතුරු රාජ්‍ය භාෂාදෙකෙන්ම මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතුය. එහි 9 වන වගන්තිය අනුව රුපියල් ලක්ෂ 5ට වැඩි සියලු දේශීය අරමුදල් සහිත ව්‍යපෘති ආරම්භ කිරීමට මාස 3කට පෙර හෝ ආරම්භ කර ක්‍රියාත්මක වන කාලය තුළදී සහ අමෙරිකානු ඩොලර් මිලියන 1ට වැඩි විදේශීය අරමුදල් ලැබෙන ව්‍යාපෘතිවල සියලු තොරතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මාස 3කට පෙර ප්‍රකාශයට පත්කළ යුතු වේ.බොහෝ ව්‍යාපෘති රුපියල් ලක්ෂ 5කට වැඩි ව්‍යාපෘති වන බැවින් ඉහත පරිදි තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතු ව්‍යාපෘති සංඛ්‍යාව අතිවිශාලය. මෙහිදී අදාළ වන්නේ ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපෘති පමණක් නොවන අතර මිල දී ගැනීම්, විවිධ සේවා ආදි බහුවිධ ක්ෂේත්‍රවලට අදාළව යෙදවෙන අරමුදල්ද අයත් වේ. මේ කටයුත්ත වර්තමානයේ සැලසුම් අංශය මගින් කෙරෙන ක්‍රමවේදවලින් කළ නොහැකි විය හැකිය. ඒ අනුව ආයතන ප්‍රධානීන්ට විශාල වගකීමක් පැවැරී තිබේ.

සෑම පොදු අධිකාරියක් විසින්ම ආයතනයේ කාර්යයන් පිළිබඳ වාර්ෂික වාර්තාවක් කොමිසමට යැවිය යුතු වේ. එනිසා සෑම ආයතනයක් විසින්ම පනත ක්‍රියාත්මක වන දිනයේ සිටම සියලු තොරතුරු වාර්තා කර නොගන්නේ නම් මේ වාර්තාව සකස්කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. පනතේ 10වන වගන්තියට අනුව ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව, සැපයූ තොරතුරු, 5 වන වගන්තිය අනුව ප්‍රතික්ෂේප කළ තොරතුරු සැපයීමෙන් ලද ආදායම පිළිබඳ තොරතුරු, පනත වර්ධනය කිරීම සඳහා අදාළ වන යෝජනා සම්බන්ධ තොරතුරුද මේ වාර්තාවට ඇතුළත් විය යුතුය.

රාජ්‍ය ලේඛන සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත යටතේ 1984 අගෝස්තු 31 වන දින නිකුත් කර ඇති රජයේ කාර්යාලවල ක්‍රියාත්මත චක්‍ර ලේඛන අපහරණ විධිවිධාන නමැති 313 ගැසැට් පත්‍රය අනුව දැනට ලේඛන අපහරණය කළ නොහැකි වේ. තොරතුරු පනතට අනුව තොරතුරු දස වසරක් තබාගැනීමට සිදු වනු ඇත. ඒ මඟින් ජාතික ලේඛනාරක්ෂක පනතේ විධිවිධානත් අභිභවා ගොස් ඇති ආකාරය පැහැදිලි වේ. ඒ අනුව රජයේ කාර්යාලවල තොරතුරු අපහරණ නීති සංශෝධනය කිරීමට සිදු වනු ඇත. රාජ්‍ය නිල රහස් පනත යටතේ නිශ්චය කර ඇති තොරතුරු හෙළිදරවු කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් බව සඳහන් වේ. එම ප්‍රතිපාදනයද මේ පනතට යටත් වේ.

සමහර විශාල ආයතනවල තොරතුරු සැපයීම එක් නිලධාරියකුට කළ නොහැකි බැවින් තොරතුරු නිලධාරීන් කීපදෙනකු පත් කිරීමටද සිදු විය හැකියි. දැනට රාජ්‍ය ආයතනවල තොරතුරු වසර පහක් සංරක්ෂණය කරන අතර මේ පනත ක්‍රියාත්මක වීමත් සමග වසර 12 ක තොරතුරු සංරක්ෂණය කිරීමට සිදු වීම නිසා බොහෝ ආයතනවල ඉඩකඩ ප්‍රශ්න ඇති විය හැකියි. ඒ සදහා විද්යුත් ක්‍රමවේද භාවිත කරන්නේ නම් එයට අවශ්‍ය තාක්ෂණික උපාංග මිල දී ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන රාජ්‍ය අංශය සතුව තිබේද යන්න ගැටලුවක් වේ.

පෞද්ගලික ලිපිගොනු වැනි වසර 12කින් පසුත් සංරක්ෂණය කළ යුතු සමහර ලිපිගොනු, වාර්තා යම් ආයතනයක් සතුව තිබිය හැකිය. එනිසා සියලු රාජ්‍ය ආයතනවලට විශේෂ වූ මෙවැනි වාර්තා පිළිබඳ අවධානයකින් කටයුතු කිරීමට සිදු වනු ඇත. මේ පනතට අනුව පුරවැසියා යම් තොරතුරක් ඉල්ලන මාදිලියෙන් එය ලබාදීමට සිදු වේ. එම නිසා විද්යුත් ආකෘතියෙන් පමණක් තොරතුරු ගබඩා කර තිබීම කළ නොහැකි වේ. ඒ අනුව මේ තොරතුරු නීනිය ක්‍රියාත්මක වීමත් සමඟ විද්යුත් රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැඟීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වනු ඇත. එහෙත් පුරවැසියා විද්යුත් ආකෘතියකින් යම් තොරතුරක් ඉල්ලුව හොත් එය ලබාදීමටද පොදු අධිකාරිය සූදානම් වී සිටිය යුතුය. මේ නිසා මෘදු සහ දෘඪ වශයෙන් සෑම තොරතුරක්ම ගබඩා කර තබාගැනීමට සිදුව තිබේ.

සමහර ආයතන යටතේ ආයතන විශාල සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් මේ සඳහාද නිලධාරීන් යොමු කළ හොත් නිලධාරි හිඟයක් ඇති විය හැකි අතර අලුතින් නිලධාරීන් බඳවාගැනීමට සිදු වන තත්ත්වයක් උදා විය හැකිය. පනතේ 8.1 වගන්තියට අනුව අමාත්‍යාංශ විසින් අර්ධ වාර්ෂික වාර්තා පොදු අධිකාරීන් විසින් පළ කළ යුතු වේ. සමහර ආයතනවල තොරතුරු ඉල්ලූ විට ඒ තොරතුරු නැති වන අවස්ථාද තිබිය හැකිය. එයට හේතුව වන්නේ එම තොරතුරට අදාළ රාජකාරි ලැයිස්තුවක් නිසි පරිදි කිසිවකුටත් ලබාදී නොතිබීමයි. ඒ නිසා සියලු කාර්ය සහ රාජකාරි නිල වශයෙන් පවරා ඇති ලේඛන පවත්වාගෙන යෑමට රාජ්‍ය ආයතනවලට සිදුව තිබේ. දැනට මේ තත්ත්වයේ පවතින බොහෝ ආයතන ඇති අතර, ඒවා නිසි තත්ත්වයට ගැනීමේ අභියෝගයක් මතුව ඇත. ඒ අනුව යම් ආයතනයක් ඒ ආකාරයෙන් රාජකාරි ලැයිස්තු සකස්කර නොතිබේ නම් තොරතුරු ලබාදීමේදී විවිධ ගැටලුවලට මුහුණදීමට සිදු වේ. ඒ අනුව නිලධාරීන් සඳහා රාජකාරි විධිමත්ව පවරා තිබේද යන්න පසුවිපරම් කිරීමේ අවශ්‍යතාවද මේ සමඟ වැඩි වෙමින් තිබේ.

මේ අතර ප්‍රමාණයෙන් විශාල ආයතනවල ඇති, පුහුණුව ලබන ලද තොරතුරු නිලධාරීන් වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ ස්ථාන මාරු වී ගිය විට විවිධ ගැටලු ඇති විය හැකි වේ. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන, එහෙත් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇති අතර එම ආයතනවල නිලධාරීන්ට ගෙවන වැටුප් එළිදරව් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ඒ ආයතනවල එම වර්ගයේ තොරතුරු පාර්ලිමේන්තුවට පමණක් දුන් අවස්ථා දකින්නට තිබේ. සමහර එවැනි ආයතනවල බඳවාගැනීම් පටිපාටි හෝ නැති අවස්ථා තිබිය හැකි අතර, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ පාලනයටත් නතු නොවන එවැනි අවස්ථාවලදී විවිධ ගැටලු මතුවිය හැකි වේ. සමහර ආයතනවල සියලු සේවකයන් අනාවරණය නොකිරීමේ ගිවිසුම් අත්සන් කර ඇත. එවැනි අවස්ථාවල කොමිසමේ නිර්දේශ ලබාගත යුතු වන අතර, එවැනි ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් කොමිසමට ලැබීමෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇති විය හැකිය. මේ තත්වයන්ගෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය අංශයට මෙවැනි විවිධ ගැටලු විශාල ප්‍රමාණයක් නිරාකරණය කරගනිමින් ඉදිරියට යෑමට සිදු වනු ඇති බවයි.

 විජේසිංහ දිසානායක 

Comments