සිංහල සින­මා­වට පායා ආ සඳ­ව­තිය - සන්ධ්‍යා | සිළුමිණ

සිංහල සින­මා­වට පායා ආ සඳ­ව­තිය - සන්ධ්‍යා

කලක පටන් සිය අතීත මතකයන් පෙළින් පෙළ අමුණමින් සිහින මතකයන් ගෙත්තම් කරන අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා, සිංහල රිදීතිරය සිය රූපශ්‍රීයෙන් ප්‍රභාමත් කළ සරාගී සිහින රාජිණිය සන්ධ්‍යා කුමාරි පිළිබඳව මෙසේ හඬ අවදි කළාය.

රුක්මණි දේවියගෙන් පස්සෙ සිංහල සිනමාවට පායා ආ සඳවතිය ඇය යි. කොටින්ම ඒ යුගයේ ‘රන් තාරකාව’ (glamour Star) සන්ධ්‍යා කුමාරි කිව්වොත් මම වඩාත් නිවැරදියි. සිංහල සිනමාවේ බොහෝදෙනා බාරගන්න මැළිවුණ අභියෝග වලට නිර්භීතව මුහුණ දුන්න සිනමා නිළිය සන්ධ්‍යා. මම සිනමාවට පිවිසෙන කාලයේ පුදුමාකාර රසික ප්‍රසාදයක් ඇය කෙරෙහි තිබුණා. ඒ කාලයේ ප්‍රේක්ෂක රසික ප්‍රජාව ඇයට තරම් වෙන කෙනෙකුට ආශා කළාද කියලත් සැක හිතෙනවා. ඒ තරම් ආකර්ෂණයක් ඇය කෙරෙහි තිබුණා.

පිරිමි විතරක් නෙමෙයි, ගැහැණු අයත් එහෙමයි. කොටින්ම තරුණියන් ඇය වගේ ලස්සන වෙන්න, අඳින්න පළඳින්න පෙලඹුණා. ඒවගේම මුහුණට මුහුණ ඇයව දැකගන්න පුදුමාකාර ආශාවක් ඇල්මක් කැමැත්තක් ඔවුන් තුළ තිබුණා. විශේෂයෙන්ම කැමරා ශිල්පීන් හැම මොහොතකම ඇගේ රූපය ගැන හරියට වර්ණනා කරමින් කතා කළා. ඇයව රූගත කිරීමට ලැබීම තමන් ජීවිතයේ ලද විශාලතම භාග්‍යයක් ලෙසයි ඔවුන් සැලකුවේ. බොහෝ විට රූගත කිරීම්වලට සහභාගි වුණාම කැමරා ශිල්පීන් එක්ක කතා කරන පුරුද්දක් මට තිබුණා. කැමරා කාච ගැන, කැමරා කෝණ භාවිතා කරණ හැටි,ආලෝක යොදාගන්න හැටි, ලයිට් සෙට් කරන විදිය ගැන මම ඔවුන් එක්ක බොහෝවිට කතා කරනවා.

ඒවගේ එක්තරා අවස්ථාවක දක්ෂ කැමරා ශිල්පීයකු වන වී. වාමදේවන් මහතා මට කියනව “මාලනී දන්නවද , සන්ධ්‍යා ඉන්න ප්‍රේම් එක ලයිට් අප් කරල කැමරාවට මං ඇහැ තියාගෙන බලන් ඉන්නෙ හරිම ආශාවකින්. සන්ධ්‍ය ඉන්න ප්‍රේම් එක මොන පැත්තකින් ලයිට් අප් කරලා බැලුවත් බලන් ඉන්න ලස්සනයි. පුදුමාකර ෆීචස් එයාගෙ තියෙන්නේ. ඇහැ අහකට ගන්න හිතෙන්නෙම නැහැ”. ඇත්තටම ‘තිර පෞරුෂය’(Screen personality ) කියන්නේ ඒකට යි. ඒ අතින් මං දැක්ක වාසනාවන්තම නිළිය ඇයයි. වාමදේවන් මහත්තය වගේම, දයා විමලවීර, විලියම් ඔලම්ස්, කේ.ඩී දයානන්ද, ඩොනල්ඩ් කරුණාරත්න, තිමති වීරරත්න,..වගේ කැමරා ශිල්පීන් පවා ඇය ගැන කතා කළේ හරිම ආශාවකින් කැමැත්තකින්.

දවස් ගණනාවක් වුණත් බලන් ඉඳල හරි ඇයව කැමරාවට හසුකර ගන්න ඔවුන් නොයිවසිල්ලෙන් හිටියේ. කොටින්ම ඇයව කැමරා කරන්න ඔවුන් සිහින මැව්වා. සිනමා නිර්මාණ ගණනාවක් ඇගේ ලස්සන නිසා බොහෝසෙයින් ජනප්‍රියත්වයට පත්වුණා. ඒ වගේම විශාල රසික ප්‍රජාවක් සිනමා නිර්මාණ බලන්න එන්න පටන් ගත්තා. මේ නිසා සිනමා කර්මාන්තය කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන්න ඇයගෙන් ලැබුණු දායකත්වය අති විශාලයි.

ලස්සන විතරක් නෙමෙයි සුවිශේෂී රංගන හැකියාවක් ඇය සතුව පැවතියා. ඇස්වලින්, නහයෙන්, අැහි බඹවලින්, තොල්පෙතිවලින් ඉතාම සියුම් ආකාරයෙන් ඉංඟිත නිරූපණය කිරීමේ පුදුමාකාර හැකියාවක් ඇයට තිබුණා. ඇයගේ බැල්ම නෙත් සිත් වසඟ කරන අඳුනක් වගේ. මේ නිසා ශෘංගාරාත්මක සිනමාවට නැතුවම බැරි නිළිය බවට ඇය පත් වුණා. සමහර තිර කතා රචකයන් ඇය හිතේ රඳවාගෙන තිර රචනා ලිව්වා. ඕනෑම මට්ටමක චරිතයක් රඟපෑමේ හැකියාව වගේම නොපැකිලිව ඒවා භාරගන්නත් ඇය බය වුණේ නැහැ. හරිම නපුරු දුෂ්ට චරිතවල සිට බොහෝම අහිංසක, කරුණාවන්ත, කෙළිළොල් දඟකාර පෙම්වතිය දක්වා චරිතයන්ට පණපොවමින් ඇය එකහා සමානව දක්ෂතා දැක්වූවා.

නොබියව ඕනෑම චරිතයක් බාරගෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ඇය කළ රංගනය ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි අපිවත් කුල්මත් කළා. ශක්තිමත් කළා. පටාචාරා හි ඇය නිරුවතින් කළ රංඟනය බෙහෙවින් කතාබහට ලක් වුණා පමණක් නෙමෙයි ලොකු කැළඹීමක් පවා ඇති කළා. මම නම් කවදාවත් හිතන්නෙ නැහැ ඒ කළ රංඟනය වැරදියි කියලා. ඇය කළේ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීම පමණයි. ඒ දිහා සදාචාරත්මක කෝණයෙන් බලලා කතා කිරීම වැරදියි.

පටාචාරා චරිතය හරියට ම ඇය කළා. චිත්‍රපටිය දැකල මිනිස්සු මෙහෙම කලබල වුණා නම් ඇත්ත පටාචාරා දැකල මිනිස්සු කොහොම කළ බල වෙන්න ඇත්ද? ඇයට ගල්මුල්වලින් ගසන්නට ඇත්තේ ඒ නිසා. පටාචාරා චිත්‍රපටයේ කැමරා ශිල්පි දයා විමලවීර සන්ධ්‍යා එහි නිරුවතින් රඟපෑ බව පිළිගත්තා. ඇය ඩමියක් පාවිච්චි නොකර තමන්ම ඒ අභියෝගයට මුහුණ දෙමින් කළ කැප කිරිමට ගල්මුල් වැනි නින්දා අපහස ඇයට එල්ල වුණත් බොහෝම උපේක්ෂාවෙන් ඇය ඊට මුහුණ දුන්නා. ඇත්තටම වෙන්න ඕන ඒ කැපකිරීම ඇගයීමට ලක්කිරීමයි. නමුත් සිදු වුණේ වෙන දෙයක්. ඉන් පසුවත් ඇය ශෘංගාරාත්මක චිත්‍රපට කිහිපයකම රඟපෑවා.

මේ කාලේ ඇගේ ලස්සන කැලැන්ඩරයක් මුද්‍රණය කරලා හරියට ජනප්‍රියවෙලා තිබුණා. අපේ ගෙවල් ළඟ හිටපු කම්කරු මහත්තයෙක් ඒ කැලන්ඩරයක් අරගෙන ඇවිත් අපේ අම්මට දීල කියනවා “ නංගි දැන් කැලැන්ඩරවලත් ඉන්නව නේද” කියලා. එතකොට මම සිනමාවට ඇවිත් වැඩි කාලයක් නැහැ. රඟපාන්න පටන් ගත්ත විතරයි. ඔහු ඒකේන් අදහස් කළේ මමත් සන්ධ්‍යා කුමාරි වගේ කියන එකයි. මට ඒ කතාව අහල අදහගන්න බැරි වුණා. පුදුම තරම් සතුටක් ඇති වුණා. ඒ ලස්සනත් එක්ක සන්සන්දනය කරනව කියන එක හිතන්නවත් බැහැ. ඉතිං මං සන්ධ්‍යා කුමාරි වගේ කිව්වම මට ඊට වැඩිය සතුටක් තිබුණේ නැහැ. ඇත්තටම ඇය ඒ තරම්ම ලස්සනයි.

සන්ධ්‍යා මුළු ජීවිතයම කැප කළේ සිනමාව වෙනුවෙන්. ඇය රඟපෑ චිත්‍රපටවල වාර්තාගත අන්දමින් ආදයම ඉහළ ගියා. ඇය සතු ඒ අකර්ෂණීය ගුණය තරු ගුණය කියල හඳුන් වන්න පුළුවන්. ඒ තරු ගුණය ඉතාම ඉහළින් තිබුණු සිනමා තාරකාව ඇයයි. හුඟක් දෙනා සිනමා කර්මාන්තය වටා රොද බැඳගත්තේ ඇගේ නිර්මාණ හරහායි.

පෞද්ගලිකව මට ඇය සමඟ රඟපෑමට අවස්ථාව හිමි වුණේ බොහොම අඩුවෙන්. මම ඇයත් එක්ක රඟපෑවේ ‘කවුද හරි’ (1969), ‘නිලා’(1977), ‘සකුන්තලා’ (1977), ‘අනූපමා’ (1978), ‘හිතට දුකක් නැති මිනිහා’ (1991) වගේ චිත්‍රපට කිහිපයක පමණයි. අදත් ගාමිණී අයියත් එක්ක ඇය කළ රංගනයන්, ගීත දකින විට පුදුමාකාර ආස්වාදයකින් හිත පිරී යනවා. ඇත්තෙන්ම ඒ පරපුරේ ඉහළින්ම වැජඹුණු නිළියක් හැටියට සන්ධ්‍යා අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. අපට සිටි ඉහළම පෙළේ තාරකාවක් විදියට මම අදටත් ඉතාමත් ගෞරවයෙන් ඇයව සිහිපත් කරනවා.

විශේෂයෙන්ම ‘ධීවරයෝ’ චිත්‍රපටයේ ඇය මාළු දෙන්නෙක් අතින් අරගෙන හැරිල බලන ඉරියව්ව මට තාම මතකයි. ලස්සන කෙලිලොල් තරුණියගේ චරිත කරන ගමන් වැල්ලේ ගැහැණියක් විදියට ඒ කළ විශිෂ්ට රංගන අදටත් බොහෝදෙනාගේ මතකයේ රැඳී තිබෙනවා. නමුත් පසුකාලීන බොහෝ විචාරකයින් වගේම මගේ අදහස වෙන්නෙත් ඇයට ඒ වෙනුවෙන් නිසි ඇගයීමක් නොලැබුණ බවයි. 60 දශකයේ මෙරට සිනමාව උත්කර්ෂයට නංවපු සිනමා තාරකාව ඇයයි. සිනමාව නිසා ඇය බැබළුණා නෙමෙයි, ඇය නිසා සිනමාව බැබළුණා. මෙරට සිනමාව ජනප්‍රිය සිනමාවක් බවට ඔසවා තැබීමේ යතුර බවට ඇය පත්වුණේ ඇයයි.

කර්මාන්තයක් විදියට අපේ සිනමා කර්මාන්තය හරිම පුංචි වුණාට, ඇගේ රූපයත් එක්ක අපිට ඉන්දීය සිනමාව එක්ක වුණත් තරග කරන්න පුළුවන් කියන අදහස ඇති වුණා. ඉන්දියානු රංගන ශිල්පිනියන් තරම්ම දක්ෂ කමක් ලස්සන රූපයක් ඇය සතුව පැවතුණා. සන්ධ්‍යා, දකුණු ඉන්දීය දෙමළ අධ්‍යක්ෂවරුන් යටතේ වගේම හින්දි දෙමළ අනුකාරක චිත්‍රපටවල පවා රඟපෑවා. නමුත් ඇය අනෙක් නිළියන් වගේ ඒ උරුවට රඟපාන්න ගියේ නැහැ. ඇගේ අනන්‍යතාව රැකගනිමින් ඈ රංගනයේ නිරත වුණා. එය නිළියක වශයෙන් සන්ධ්‍යාගේ අගය කළ යුතු සාධනීය ලක්ෂණයක්. නිදසුනක් ලෙස ‘දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ’ චිත්‍රපටයේ ශෂිකලා රඟපෑ චරිතය තමයි ඇය ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයේ රඟපෑවේ.

නමුත් ඇය සිය රංගන පෞරු්ෂය ශෂිකලාගේ චරිතයට යටපත් වීමට නොදී රැක ගත්තා. ඒ නිසාම ශෂිකලා එවක පැවති ‘සරසවිය’ සම්මාන උළෙලකට පැමිණි අවස්ථාවක ‘සැනසුම කොතැනද’ චිත්‍රපටය නරඹා එහි සන්ධ්‍යා කළ රංගනය අගේකර, ඇය තමාට වඩා හොඳින් එහි රංගනයේ නිරතවන බව පවසා සිටියා. ‘ධීවරයෝ’ හැරුණු කොට ‘සැනසුම කොතැනද’ සන්ධ්‍යාගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපටයක්. ඇය එහි රඟපෑවේ මධුරි නම් වූ දඟකාර යුවතියකගේ චරිතයක්. එහි ප්‍රධාන නිළිය ජීවරාණි කුරුකුලසූරිය වුවත් රංගනය අතින් වඩාත් කැපී පෙනුණේ සන්ධ්‍යා. මෙහි රඟපෑම් සඳහා සන්ධ්‍යාට 1967 සරසවිය සම්මාන උළෙලේදී විශේෂ කුසලතා තිළිණයක් හිමි වූණා.

ප්‍රවීණයකු වීමේ තරගය කියන එක කාටත් ස්වාභාවික ව දැනෙන හැඟීමක්. සන්ධ්‍යටත් ඒක තිබුණා. නමුත් ඇය නවක නිළියන් එක්ක වැඩ කරද්දි බොහොම සුහදව කටයුතු කළා. ඇය වෙහෙස ගත්තේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් හැකි උපරිමයෙන්ම කරන්නයි. ‘කවුද හරි’ චිත්‍රපටයේ එක අවස්ථාවක් තිබුණා, මගේ කම්මුලට ගහන්න. නමුත් ඒක එයාට කරන්න හිතදුන්නේ නැහැ. ඒ අවස්ථාව ගන්න හතර පස් වතාවක් රූගත කළා හරිගියේ නැහැ. පස්සේ වටේ ඉන්න, කැමරා ශිල්පීන්, නළු නිළියන්, එයාගෙ අම්මා “සන්ධ්‍යා හරියට කරපන්, හරියට කරපන් කියන්න ගත්තා. නමුත් ඇයට හරියට කම්මුල හරහා ගහන්න බැරි වුණා. රඟපෑමක් නිසා මටත් ඒක ඉවසගෙන ඉන්න වුණා. ඇයගෙ හිත හරිම සංවේදියි. ඒක මං හොඳට දැකල තියෙනවා. සංවේදී අය දැක්කම අද වගේම එදත් එක එක විදියට අසරණ කරන්න උත්සාහ කළා. ඇයත් එවැනි දේට මුහුණ දුන්නා.

හොලිවුඩ් සිනමාවේ ‘මැරලින් මොන්රෝ’, ‘බ්‍රිජ්රිජට් බ්‍රාඩෝ’, ‘මාගරට් ලැක්වුඩ්’, ‘ක්‍රිස්ටීන් මිලර්’, ‘එලිසබත් ටේලර්’, ‘ලීනා ටර්නර්’, ‘ෂොෆියා ලොරෙන්’ වගේ අපේ සිනමාවේ ශෘංගාරාත්මක සං‍ෙක්තය සන්ධ්‍යා කුමාරියි. ඉතිං එයා හැරිල බැලුවත් ඇති. අපි ඒ ගැන ලියන්න කියන්න මැළිවෙන්නේ ඇයි ද කියන්න මං දන්නෙ නැහැ. නමුත් එවැනි පෙලඹීමක් අත්‍ය අවශ්‍යයි කර්මාන්තමය සිනමාව ජයගන්න නම්. ඕනම සිනමාවක් ඉදිරියට යන්න ඉවහල් වෙන්නේ මෙවැනි සංකේත. බොලිවුඩ් සිනමාව ගත්තත් එහෙමයි. ෂීනත් අමන්, මීනක්ෂි, මධුබාලා, ප්‍රවීන් බායි වගේ අයගෙන් ආරම්භවී රේඛා හරහා වර්තමාන සියලුම නිළියන් නියෝජනය කරන්නේ මේ ප්‍රවනතාවයි. බොලිවුඩ් සිනමාව වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න බලපෑවේ ශෘංගාරාත්මක ආකර්ෂණයයි. කවුරුත් කැමති ලස්සන දේ දකින්නයි. එහි කිසිදු වරදක් මං දකින්නේ නැහැ. මම වීරපුරන් අප්පු චිත්‍රපටයේ රංගනයේ යෙදුනෙ තනපට නැතිව. එහි එක් අවස්ථාවක රවී ව දැකලා මං බයවෙලා දුවනවා. ඒ දුවද්දි මගේ පියයුරු හෙල්ලෙන නිසා මං පපුවට අත තියන් දුවන්න ගත්තා. මොකද මට එහෙම හුරු නැහැ. ඒ ෂොට් එක 35ස් වතාවක් විතර ගන්න ඇති. අවසානයේ ආචාර්ය පීරිස් කට් කට් කියල “ළමයො අපි හැමදාම එකම විදියට ඉන්නෙ නැහැ. ලස්සනට ඉන්න කාලේ ඒ ලස්සන පෙන්නන්න” කියලා.

හොලිවුඩ් සිනමාවේ මැරලින් මොන්රෝ, බ්‍රිජ්රිජට් බ්‍රාඩෝ,ෂොෆියා ලොරෙන්ලට ඒ අයගෙ නිර්මාණ කරන්න, ඒ අයගෙ දක්ෂතාවයන් ඉදිරියට ගෙනියන්න ඕන තරම් පහසුකම් තිබුණා. අපේ රටේ තිබුණු අඩු පහසුකම්, අඩු නිර්මාණවල හැටියට ඇය ඒ දක්ෂකම අපේ රටෙත් පෙන්නුවා. එහෙම පහසු කම් නො තිබුණු යුගයක විශාල ජනතා ආකර්ෂණයක් දිනාගන්න ඇයට පුළුවන් වුණු එකයි වටින්නේ.

අපි කතාවට කියනවනෙ එයාගේ මහුණට ඒ රූපයට කැමරාව ආදරේ කරනව කියලා. අන්න ඒ විදියෙ වාසනා ගුණයක් තිබුණු රන් තාරකාවක් සන්ධ්‍යා කුමාරි. හරියට ඇය කැමරාවටම ඉපදුනා වගේ. මොන කොනෙකින් බැලුවත් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඇයට හොඳ ඡවි කල්යානියක්(skin) තිබුණා. මුහුණේ කිසිම කැලලක් තිබුණෙ නැහැ. මේකප් නැතුව වුණත් ඇය හරිම ලස්සනයි. ඇත්තටම ඇය මේ රටේ වාසනාවට පහළ වුණු නිළියක්. නමුත් ඒක ඇගේ නම් අවාසනාව වෙන්න ඇති. ඇය වෙන රටක ඉපදුනා නම් අපි මැරලින් මොන්රෝ, ෂොෆියා ලෝරන් ගැන කතා කරන තරම්ම ඇය ගැනත් කතා කරාවි. වර්තමාන සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට යන්න ඇය වැනි නිළියන් පිළිබඳව අධ්‍යනය කිරීම හුඟක් වටිනවා. මේ විදියට විශාල සිනමා ආකර්ෂණයක් දිනා ගෙන සිනමා කර්මාන්තය ඔසවා තැබීමට ඇය කෙතරම් කැපවීමක් කළත් ඊට නිසි ඇගයීමක් ලැබුණද කියන ප්‍රශ්නාර්ථය අදත් අප හමුවේ තිබෙනවා.

 

Comments