මගේ ජනා­ධි­පති තාත්තා මහ පොළො­වෙන් මතු වූ මිනි­සෙක් | සිළුමිණ

මගේ ජනා­ධි­පති තාත්තා මහ පොළො­වෙන් මතු වූ මිනි­සෙක්

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසකු රටේ ජනාධිපතිවරයා බවට පත් විණි. ඒ ආ ගමන් මඟ පිළිබඳ ජනතාවට ආදර්ශවත් කතාපුවත් ගෙන හැර දක්වමින් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා‘ කෘතිය ඉකුත් 15 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්විණි. එම කෘතිය පිළිබඳ ඇය සමඟ කළ කතා බහක් ඇසුරින් මේ ලිපිය සකස් විණි.

 ඔබට මේ කෘතිය ලිවීමට ආසන්නතම හේතුව කුමක්ද?

තාත්තාගේ දේශපාලන ජීවිතය ගැන පුවත්පත්වල පල වුණ විස්තර එකතු කරන පුරුද්දක් මට තිබුණ. තාත්තා පිළිබඳව සිදු වූ විශේෂ සිදුවීම් මා ලියා තබා ගත්තා. ඒත් පොතක් කරනවා කියලා හැඟීමක් ඒ වෙනකොට තිබුණේ නැහැ. තාත්තා සෞඛ්‍ය ඇමැතිවෙලා සිටියදී හොඳම සෞඛ්‍ය ඇමැතිවරයා‍ ලෙස ලැබුණ ජාත්‍යන්තර සම්මානයත් සමඟ තාත්තා පිළිබඳ මතක එකතුවක් තිබුණොත් හොඳයි කියලා මට හිතුණා. ඒ අනුව තමයි තාත්තා පිළිබඳව පොතක් ලියනවා කියන අදහස මගේ හිතේ මුලින්ම ඇති වුණේ.

 

 මේ පොත ලිවීමේ අභිප්‍රාය තාත්තාගේ මතකය එකතු කර තැබීම පමණක්මද?

නැහැ. මේ මතකය එකතු කළේ තාත්තා පිළිබඳව මතකය අපේ දරුවනුත් දැන ගැනීම සුදුසුයි කියා හිතුණ නිසා. ඒ වගේම තාත්තාගේ අධිෂ්ඨානය, ප්‍රශ්න අභියෝග හමුවේ ඔහු ධනාත්මකව හිතන විදිය අද තරුණ පරපුරට ඉතාමත් වැදගත් කියා මා දකිනවා. වර්තමානයේ දී අපට අසන්නට දකින්නට ලැබෙනවා අධෛර්යමත් තරුණ ජීවිත පිළිබඳව. මගේ තාත්තාගේ ජීවිත ආදර්ශවලින් තරුණ පරපුරට හොඳ පන්නරයක් ලබා ගන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. බාධක මැදින් යන ගමන තමයි සාර්ථක. ඇත්තටම බාධක නිසා ජයග්‍රහණයට අප සුදුස්සන් වෙනවා. අද බොහෝදෙනා හිතන්නේ බාධකය ගැන විතරයි. බාධකයෙන් පසුව ලැබෙන ජයග්‍රහණය කිසිවෙක් දකින්නේ නැහැ. ඒත් මගේ තාත්තා ඒක දැක්කා. විශේෂයෙන් ඔහුගේ දේශපාලන ජීවිතයේදී මේ බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නුවා. එතුමාගෙන් මට ලැබුණු අදර්ශය, ශක්තිය බාධක මැදින් නැගිටින්නට වෙර දරණ තරුණ පරපුරට ඉතාම වටිනව.

 

 තාත්තාගේ දේශපාලන ජීවිතය පිළිබඳ අමතක නොවන දේ ගැන සිහිපත් කළොත්......?

ඇත්තටම මගේ පුංචි කාලය ගෙවුණේ රටේ පැවති භීෂණය සහ යුද්ධයත් සමඟ. ඊට පස්සේ කාලෙන් කාලෙට පැවැත් වූ මැතිවරණවල මතකය මට තිබුණා. ඒ කාලේ බුද්ධි අංශයට වාර්තා වූ තර්ජනය එල්ල වූ අය අතරේ මගේ තාත්තාගේ නම මුලටම තිබුණා. ඒක අම්මා වගේම අපිත් දැනගෙන හිටියා. ඒත් අපට අනවශ්‍ය භීතියක් තිබුණේ නැහැ. තාත්තාගේ අධිෂ්ඨානශීලී ප්‍රතිපත්ති නිසා අපට තැති ගැන්මක් ආවෙම නැහැ. එතුමාගේ ඉවසීම, අධිෂ්ඨානශීලීව මුහුණ දීම අපට බය අමතක කරවා, අපව දිරිමත් කළා.

 

 එක් එක් කාලවලදී තාත්තාගේ නිලතල වෙනස් වෙනවා. ඒ කියන්නේ ජයග්‍රහණය මෙන්ම පරාජයවීම් අත්විඳින්න සිදුවෙනවා. මේ සම්බන්ධව ඔහු මුහුණ දුන්නේ කොහොමද?

නිලතල අනුව සිදුවන මාරුවීම්වලදී ඔහු විවිධ ස්වරූපයන් ගත්තා. ඒ වගේම විවිධ වගකීම් දැරුවා. වැටීම්, නැඟීම් ඔහු දරාගත්ත ආකාරය වෙනස්. ඒ වගේම ඔහුගේ ක්‍රියාකාරීත්වයත් වෙනස්. ඔහු ඉතුරු කළේම ඔහුගේ ජීවිතයෙන් ගතයුතු ආදර්ශ. දේශපාලනය කියන්නේ හැලැහැප්පීම් රාශියක් මැද යන ගමනක්. තාත්තාගේ දේශපාලන ජීවිතයේ ජයග්‍රහණ වගේම පරාජයනුත් තිබුණා. ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් ඔහු විඳ දරාගත්තා.

 

 ඔබ කියන උපේක්ෂාව අද බොහෝ තරුණ දේශපාලඥයන්ට නැහැ. ඒ පිළිබඳ ඔබේ අදහස?

දේශපාලනයේදී උපේක්ෂාව ඉතාමත් වැදගත්. මං තාත්තාගේ ‍ දේශපාලන ජීවිතයේ ඒ උපේක්ෂාව දැක්කා. උපේක්ෂාව නැතිනම් ජනතාවගේ හදවත් සංසිඳවන්න බැහැ. ඉවසීම නැති, කැළඹුණු දේශපාලඥයකුට ජනතාව කැමැති වෙන්නේ නැහැ. අපේ තාත්තා අපිට කියලා දුන්නේ දරුවනේ පො‍ෙළාවේ පය ගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. එතකොට තමයි ජීවිතය ඉගෙන ගන්නේ කියලා තාත්තා අපට කියලා දීලා තිබුණා. මගේ තාත්තා අපට අවවාදවලින් පමණක් නොවෙයි ජීවිතයෙනුත් පූර්වාදර්ශ දුන්නා. මං කැම්පස් යන කාලේ මම ගියේ බස් එකේ. ප්‍රබල ඇමැතිවරයකුගෙ දුවෙක් කියලා තාත්තා මට කාර්එකේ යන්න අනුබල දුන්නේ නැහැ. මමත් අනිත් ළමයින් වගේ බස් එකේ තමයි ගියේ. ඔහු රටේ පළමු පුරවැසියා දක්වා ගමන් කළේ පොළොවෙ පය ගහල ගිය ගමනින්. ඒ ආදර්ශයයි එතුමාගෙන් අපට ගන්න තියෙන වටිනාම ආදර්ශය.

 

 අම්මාගෙන් තාත්තාගේ ජීවිතයට ලැබුණු පිටිවහල ඔබට මතකද?

මතකයි. මගේ අම්මා තාත්තා පිටුපසින් සෙවණැල්ලක් ලෙස සිටිමින් තාත්තාට උදව් කළා. අදත් එහෙමයි. කවදාවත් තාත්තාගේ දේශපාලන ගමන අවහිර කළේ නැහැ. ඒ මොකද අම්මා අත්දැකීමෙන් දන්නවා තාත්තා හොඳයි කියන තීරණය තමයි ගන්නේ කියලා.

ඒ නිසාම කවදාවත් අම්මා තාත්තාගේ තීරණවලට එරෙහි වුණේ නැහැ. දේශපාලනයේ නිරත වූ මුල් කාලයේදී තාත්තාට ලැබුණේ පුංචි වැටුපක්. ඒත් අම්මා ඒ වැටුපෙන් පිරිමහගෙන අපේ වැඩ කළා. තාත්තා රටේ පළවෙනි පුරවැසියා වෙලත්, අදත් අම්මා තමයි තාත්තාගේ කෑම ටික හදන්නේ. ඒ වගේම අපේ අම්මයි තාත්තායි හැමදාම හිනාවෙලා හිටියා.

ඒ කියන්නේ ප්‍රශ්න කරදර නැතුව නොවෙයි. ඒ හැමදේටම මුහුණ දුන්නේ සතුටු සිතින්. හැමදෙයක් ගැනම සුබවාදීව තමයි බැලුවේ. දේශපාලන හැලහැප්පීම් මැද්දේ වුව ද මේ නිසා අපේ ළමා ලෝකයේ අපිට ජීවත් වෙන්න හැකියාව ලැබුණා. අප කුඩා කාලයේ රටේ භීෂණයක්, යුද්ධයක් තිබුණත් ගෙදර තිබුණේ නිරවුල් සාමාකාමී පරිසරයක්. මේ පරිසරයේ අපේ නිදහස අපි උපරිම භුක්ති වින්දා.

 

 දුවෙක් විදිහට හැම විටම පියකුගේ සෙවණේ රැඳෙන්න කැමැතියි. පියාගේ දේශපාලනය නිසා ඒ පිය සෙනෙහස හිතූ විදියට විඳින්න හැකි වුණාද?

දේශපාලන වැඩ තිබුණා කියලා තාත්තා අපිව අමතක කළේ නැහැ. මට මතකයි තාත්තා සමහර දවස්වල ගෙදර එන්නේ සති දෙකකට වරක්. හුඟක් වෙලාවට මැතිනිත් (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය) එක්ක වැඩ කරන කාලේ ඒ කාර්ය බහුල ජීවිතයට මුහුණ දුන්නා.

ඒ කාලේ අපි අම්මත් එක්ක පොළොන්නරුවේ මහගෙදර තමයි ජීවත් වුණේ. තාත්තා එනවා කියලා අපට ආරංචි වුණහම අපිට හරිම සතුටුයි. මට මතකයි තාත්තා වාහනයෙන් බැස්ස ගමන් නංගියි මායි අත් දෙකට වඩා ගන්නවා. රාජකාරි බහුලයි කියලා කවදාවත් තාත්තා අපි එක්ක කාලය ගතකිරීම අඩුවක් කළේ නැහැ.

 ඔබේ පියා ජනාධිපතිවරු කීපදෙනෙක් සමඟම වැඩ කළා. මේ කාලවලදී සේවය කරන ස්ථාන මෙන්ම හෝරාවනුත් වෙනස් වෙන්න ඇති?

ඔව්. ඇත්තටම මගේ තාත්තා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමඟ වැඩ කළා. ඒ වගේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක්ක වැඩ කළා. ඩී. බී. විජේතුංග ජනාධිපති වරයා සමඟ වැඩ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිතිවරයා සමඟ වැඩ කළා. මේ කාලයේදී මුහුණ දුන්න ගැටලු විවිධයි. ඒවගේම කළ සේවයත් විවිධයි. අපි පවුලක් වශයෙන් ඒ හැමදේටම ඉවසීමෙන් මුහුණ දුන්නා. පියකුගේ ඉදිරි ගමන වෙනුවෙන් දුවකට ඉවසිය යුතු අවස්ථා හා කැප කළ යුතු අවස්ථා තියෙනවා. ඒ හැමදෙයක්ම මං හොඳින් තේරුම් බේරුම් කරගත්තා.

 

 ඔබ කීවා, ඔබ අම්මා සමඟ මහගෙදර ජීවත් වුණා කියලා. ඒ අත්දැකීම් විස්තර කළොත්.....?

ඇත්තටම විස්තෘත පවුල් ක්‍රමය අත්විඳින්න මට හැකියාව ලැබුණා. මං නැන්දලා එක්ක කුඹුරට ගියා. හිතේ හැටියට ගමේ දුව පැන ඇවිද්දා. සොබාදහම හිතේ හැටියට අත්වින්දා.

ඒ වගේම මට ආච්චි අම්මාගෙනුත් ජීවිතයට ලැබුණු ගුරුහරුකම් තිබුණා. මගේ ආච්චි අම්මා ගුරුවරියක්. අම්මා නංගි ලැබුණාට පස්සේ ආච්චි මාව ඇගේ ඉස්කෝලෙට එක්කගෙන ගියා. ඒ කියන්නේ මට පෙර පාසල් යන්න බැරි වුණා.

එ් කියන්නේ මං අවුරුදු තුනේ ඉඳලා ඉස්කෝලේ ගියා. මේ හැම අත්දැකීමක් ම ‘ජනාධිපති තාත්තා‘ පොතේ විස්තර වෙනවා.

 

 ඔබ ‘ජනාධිපති තාත්තා‘ කෘතියේ ආඛ්‍යානය පෙළ ගැස්සුවේ කෙලෙසද?

මගේ පියාගේ ළමා කාලය, තරුණ කාලය, තාත්තා දේශපාලනයේ දී හැසුරුණු ආකාරය, තාත්තාට පැමිණි අභියෝගවලට තාත්තා මුහුණ දුන්න ආකාරය, ඒ වගේම ඒ සියල්ල අබියස ආදරණීය පියෙකු වූයේ කෙලෙසද කියන කාරණා මං මේ පොත තුළින් ගොනු කළා.

 

 අතීතයේ නායකයන් ගැන ලියවුණු කෘති හුදෙක් චරිතාපදානයන්. ඔබට මේ කෘතියෙන් අවශ්‍ය වුණේ , එවැන්නක් කිරීමට ද?

නැහැ. මෙය හුදෙක් දේශපාලන ලියවිල්ලක් හෝ චරිතාපදානයක් නොවේ.පොළොවේ පය ගසා නැගිට ගත් ශ්‍රේෂ්ඨ ජනනායකයකුගේ ජීවිතයේ ආදර්ශයක් මෙන්ම, උත්තම පියෙකු පිළිබඳ දුවකගේ කියවීමක්. මං කොහොමද මගේ තාත්තා දැක්කේ. අන්න ඒ කියවීම ජනතාවටත් කියවන්න මං ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා.

 

 2015 ජනාධිපතිවරණයට තාත්තා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ වෙලාවේ ඔබට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?

ඒ දවස්වල තාත්තාගේ හැසිරීම බොහෝම වෙනස්. වෙනදාට තාත්තා උදේට කොරිඩෝ එක දිගේ සිංදුවක් කිය - කියා යනවා. ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ දරුවන් බලනවා. ඒත් ඒ දවස්වල තාත්තාගේ දින චරියාව වෙනස් වුණා. තාත්තා කල්පනා කර කර ඉන්නවා මං දැක්කා. තාත්තාගේ මූණේ ඉරියව් වෙනස්. මෙහෙම සතියක් විතර ගියාට පස්සේ තාත්තා ගත්ත තීරණය පිළිබඳව අපට කිව්ව. අම්මා ඒකට එකඟ වුණා. ‘දැන් ඔයා අසාධාරණයට ලක් වුණා ඇති. මමත් දරුවොත් ඔයත් එක්ක ඉන්නවා.‘ කියල අම්ම කිව්ව. මේ සමඟ අපේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වුණා. එදා අපිත් එක්කම සිටිය අය පවා අපිව අතහැරියා. ඒත් අපි හිතුවෙත් නැති අලුත් පිරිසක් අපිත් එක්ක එකතු වුණා. තාත්තා මහවැලි, කෘෂිකර්ම, සෞඛ්‍ය යන ඇමැති ධුර දරන වෙලාවෙදි ගත්තේ ඍජු තීරණ. හැමදාම තාත්තට ඍජු තීරණ ගැනීමේ හැකියාව තිබුණා.

 

 මෛත්‍රීපාල සිරිසේන යන නාමය පරම්පරාවෙන් ගොඩ නැඟී ආ නාමයක් නෙවෙයි. එය ඔබේ පියා ස්ව උත්සහයෙන් ගොඩ නඟා ගත් බව ඔබේ කතාවෙන් කියැවෙනවා. ඊට ඔබගේ පවුලෙන් ලබුණ සහය කෙබඳුද?

අපේ තාත්තා බොහෝ කැපවීම් කරලා තමන්ගේ නාමය ගොඩ නඟා ගත්තා. ඇත්තට පුංචිම තැනින් පටන් ගත්ත කෙනෙක්. ඒ වගේම විවෘතව, සොබා දහමත් එක්ක ගමන් කළ කෙනෙක්. ඒකයාි අපට නිතරම කිව්වෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන්න පුරුදු වෙන්න කියල. මේ නිසා අපි හැමෝම තාත්තාගේ කැපවීමත් සමඟ හිටියා. තාත්තා ගෙදර එන්නේ නැත්තේ ඇයි කියලා අහ අහා තාත්තට කරදර කළේ නැහැ. අපි තාත්තාගේ වෘත්තිය පිළිබඳ අවබෝධයෙන් සිටියේ. අම්මත් එහෙමයි.

 

 තාත්තාගේ ජීවිතේ යම් බිඳ වැටීමක් දකින්නට වූ අවස්ථාවක් ගැන සිහිපත් කළොත්....?

මොරගහ කන්ද ජලාශයට මුල්ගල තැබුවාට පස්සේ සතියේ තාත්තාගේ ඇමැතිකම අහෝසි කළා. ඒත් තාත්තා සැලුණේ නැහැ. තාත්තාවත් අම්මවත් හඬා වැටුණේ නැහැ. තාත්තා ධෛර්යෙන් මුහුණ දුන්නා. අද කාලේ තරුණ තරුණියන්ට මේවා වටිනා අත්දැකීම්. ඒකයි මං මේ කෘතියෙන් මෙවැන්නක් ඉදිරිපත් කළේ. 1971 කැරැල්ල අවස්ථාවෙදි තාත්තා හිරේ ගියා. තාත්තා අපොස උසස්පෙළ කරලා තියෙන්නේ හිර ගෙදරදි. ඒත් තාත්තා ඒ සියල්ල තම ජීවිත ගමනට අත්දැකීම් කරගත්තා. අද තාත්තා මේ තත්ත්වයේ ඉන්නේ ඒ බාධක මැදින් ඉදිරියට ආව නිසා.

 

 ‘ජනාධිපති තාත්තා‘ පිදුම කාටද?

මේ කෘතියේ පිදුම සියලුම නායකයන්ගේ දියණිවරුන්ට. ඒ කියන්නේ තාත්තලා වෙනුවෙන් කඳුළු සැලුව නායකයන්ගේ දියණිවරුන්ට. තාත්තලා වෙනුවෙන් කඳුළු සැලූ දියණිවරුන් මට කවදාවත් අමතක කරන්න බැහැ.

 

 තාත්තාගේ දේශපාලන අත්දැකීම්වලින් ඔබට අමතක නොවූ අවස්ථාවක් ගැන සිහිපත් කළොත්....?

ඇත්තටම ඒ මොහොත මතක් වෙනකොට මගේ ඇඟ හිරිවැටී යනවා. තාත්තා පුරන් කුඹුරු අස්වද්දලා, ඒ අස්වැන්න නෙළලා ගෙදර ආවා විතරයි. ඒ 2008 වර්ෂය. මං එතකොට විවාහ වුණ අලුත.

මගේ හිත කීරි ගැහිලා ගියා. ‘මැඩම් මහත්තයාට බෝම්බ තියලා.‘ සේවකයෙක් ඇවිල්ලා කිව්වා. තොරතුර දැනගත්ත වෙලාවෙ ඉඳල මං තාත්තාගේ ෆෝන් එකට දිගින් දිගට ගත්තා. අන්තිමේ තාත්තා කතා කළා. මගේ හිතට සැනසීමක් ලැබුණේ එතකොට. ඒ ගැන අහල කොච්චර සෙනඟ ආවත්, තාත්තාගේ හිනාව නම් අතුරුදන් වුණේ නැහැ.

තාත්තාගේ හිනාව අපට ශක්තියක් වුණා. අසීරුකම් මැද වුණත් අපේ තාත්තා දිරියෙන් ඉදිරියට ආව විදිහ මට විතරක් නෙමෙයි ඉදිරිය ගැන හිතන මුළු තරුණ පරපුරටම මහ විශාල ශක්තියක්.

 

Comments