විදෙස් චිත්‍ර­ප­ටය | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

දරුවන් ගොදුරු කරගන්නා භයංකර කවටයා

අස්වාභාවික බවටත් භයංකර බවටත් ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙන බවට ඇති හොඳම සාක්ෂිය සැප්තැම්බර් 8 වැනි දින සිට තිරයේ දිග හැරෙන ‘ඉට්’ ය. (IT) 1986 වසරේ ‘ඉට්’ නමින් ම ස්ටෙෆන් කිං විසින් රචනා කළ නවකතාව ඇසු‍රින් ‘ඉට්’ නිර්මාණය විය.

සිනමා ‍පටය ඇරැඹෙන්නේ බිල් ඩෙන්බ්‍රෝ විසින් හත් හැවිරිදි සොයුරු ජෝර්ජ්ට තනාදෙන කඩදාසි බෝට්ටුවක නොනවතින ගමනකිනි. ඉඳිකටුවක් ඇඳ ගන්නා චුම්බකයක් සේ කඩදාසි බෝට්ටුව ඇදී යන්නේ කවටයකු ලෙස සැරසුණු පුද්ගලයකු වෙත ය. ජෝර්ජ් ද බෝට්ටුව පසුපස යන අතර කවටයා තමන් බොම් ග්‍රේ හෙවත් පෙනිවයිස් ද ඩාන්සිං ක්ලවුන් ‍(ඉට්) ලෙස හඳුන්වයි.

අගලට ගිය බෝට්ටුව ගැනීමට යාමේදී ජෝර්ජීගේ අත කවටයා විසින් ඩැහැගෙන ඔහු කසළ කාණුවට ඇද ගනී. අටමසක් ගත ව‍ූවත් ජෝර්ජී පිළිබඳ කිසිවක් දැන ගැනීමට නොලැබේ. ඩෙන්ඩ්‍රෝ දුකට පත් මා පියන් සැනසීමට සොයුරා පිළිබඳ නිරන්තරයෙන් ම සොයා බලනු ලබයි. සොයුරාගේ සිරුර ගොහොරු බිමක තිබී හමුවූ බවට ආරංචියක් ලැබුණත් එය සැබෑවක් යැයි පිළිනොගනී. ඔහු විශ්වාස කරන්නේ සොයුරා තවමත් ජීවත්වන බව ය.

ඩෙන්ඩ්‍රෝ සිය මිතුරන් කණ්ඩායම ඒ ගැන සොයා බැලීමට යොදවයි. ඔහුට සොයුරා හමු වෙනවාද? මේ සියල්ලටම වග උත්තරකරු වන්නේ ‘ඉට්’ (පෙනිවයිස්) ය. පෙනිවයිස් සෑම විසි හත් වසරකට වරක් ම කසළ කාණුවෙන් මතුවන්නේ නගරයේ දරුවන් ගොදුරු කර ගැනීමට ය.

ඩෙරී, මේන් ඇතුළු ඩෙන්බ්‍රෝගේ මිතුරු කැල මේ ලේ පිපාසිත ඉපැරැණි, දරුණු, විවිධ හැඩයක් ගත හැකි මිනී මරුවා විනාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් ඇති කර ගනී. ඔවුන්ගේ ආත්ම ශක්තිය අවසානයේ ජය ලබාවි ද? ‘ඉට්’ සිනමා පටය නිමවන්නේ ප්‍රේක්ෂකයන්ට පිළිතුරු ලබාදෙමිනි.

මිනිත්තු 135 ක් පුරා තිරයේ දිග හැරෙන ‘ඉට්’ සිනමා පටයේ වියදමවූ ඩොලර් මිලියන 35 මෙන් නව ගුණයටත් වඩා වැඩි ආදායමක් (ඩොලර් මිලියන 371.3 ක ආදායමක්) මේ වනවිටත් ලබා ඇත. අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා ම ‘ඉට්’ දෙවැන්නක් පිළිබඳව ද මේ වනවිටත් අවධානය යොමු වී තිබේ.

ඇන්ඩ්‍රෙස් මුස්කෙට් අධ්‍යක්ෂවරයාගේ දෙවැනි ත්‍රාසජනක සිනමාපටය මෙයයි. ඔහුගේ ත්‍රාසජනක ප්‍රථම සිනමාපටය මමා (2013) මුළු ලොවේම කථා බහට ලක්වූවකි. සිනමා පටයේ තිර පිටපත කාලයත් සමඟ වැඩි දියුණු වී 2016 දී රූගත කිරීම් ඇරැඹිණි.

කතාවේ සඳහන් ‘ඩෙරී’ නගරය කැනඩාවේ, ඔන්ටාරියෝවේ පෝට් හෝප් නගරයේ ප්‍රතිනිර්මාණය විය. සිනමාපටය රූගත කෙරෙන තුරුම කැනේඩියානු ධජය වෙනුවට ඇමෙරිකානු ධජය වෝල්ට් සන් වීදියේ නගර සභාවේ ඉහළට වන්නට ඔසවා තිබිණි. වීදිවල කඩ සාප්පු සම්පූර්ණයෙන් ම කණපිට හැරිණි. ටැටූ උපකරණ අඩංගු සාප්පුව ඩෙරී අයිස්ක්‍රීම් සාප්පුව බවට පත් කෙරිණි.

පෝට් හෝප් නගර ශාලාව ඩෙරී පොදු පුස්තකාලය බවට පත්විය. පෝට් හෝප් සංචාරක මධ්‍යස්ථානය ඩෙරී කාර්යාලය විය. ප්‍රධාන සිනමා ශාලාවේ ‘බැට්මන් ඇන්ඩ් ලේදල් වෙපන් 2’ ප්‍රදර්ශනය කෙරිණි. වෝල්ටන් වීදියේ ගෝල්ඩ් සපත්තු සාප්පුවේ හරක් මස් අලෙවි සලක් විය. මෙමෝරියල් උද්‍යානයේ පෝල් බන්යන්ගේ ප්‍රතිමාව ඉඳිවිය.

‘ඉට්’ හෙවත් ‍’පෙනිවයිස්’ ලෙස මෙහි රඟන්නේ බිල් ස්කාර්ස්ගාඩ්ය. ස්වීඩ්න් ජාතික නළුවකු හා මෝස්තර නිරූපණ ශිල්පියකු වන විසි හත් හැවිරිදි බිල්ට පෙනිවයිස් ලෙස කළ දුෂ්ට රංගනය මේ වනවිට ඉමහත් ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතී.

සිනමාපටයේ වර්ෂ 1600 ට පෙර දර්ශන රූගත කෙරුණු අතර පෙනිවයිස් ස්වරූපයෙන් මිදී සැබෑ ස්කාර්ස්ගාඩ් ලෙස රඟපෑමට සිදුවූ අතර එයට ඔහු මුහුණදී ඇත්තේ අසීරුවෙනි. බිල් ලෙස රැඟූ ජේඩින් ලීබර්ගර් වැනි සිනමා පටයේ රඟන ළාබාලම නළුවන් පෙනිවයිස් වූ ස්කාර්ස්ගාර්ඩ් ඉදිරියේ සැබැවින් ම රඟපා ඇත්තේ මහත්සේ බියෙනි. ළමා නළුවන් බියෙන් සැලෙන විට ස්කාර්ස්ගාර්ඩ් හදවතින් ම ඒ ගැන දුක් වී තිබේ.

දාහතර හැවිරිදි ජේඩීන් වෙස්ලි ලීබර්හර් සිනමා පටයේ, ජෝර්ජීගේ සොයුරු බිල් ලෙස රඟයි. බෙන් චරිතයට පණ පොවන්නේ ජෙරම් රේ ටේලර් ය. ඔහු ද දාහතර හැවිරිදි ය. පහළොස් හැවිරිදි සොයියා ලිලිස් (බෙවර්ලි), දාහතර හැවිරිදි ෆින් වොල්ෆ්හාඩ් (රිචඩ්), දාහතර හැවිරිදි ජැක් ග්‍රේසර් (එඩ්වඩ්), සොළොස් හැවිරිදි චෝස්න් ජාකොබ්ස් (මයිකල්), නිකොලස් හැමිල්ටන් (හෙන්රි), ජැක්සන් රොබට් (ජෝර්ජ්/ ජෝර්ජී) ලෙස සෙසු චරිත රඟති.

‘ඉට්’ මුල සිටම බියෙන් වුවත් රසිකයන් මහත් වුවමනාවෙන් වැලඳ ගත් සිනමා පටයකි. එහි පළමු ට්‍රේලරයම අන්තර්ජාතිකව මිලියන 197 ක් පැය 24 කදී නරඹා තිබේ. එය වාර්තා බිඳ හෙළීමකි. මින් පෙර ‘ද ෆේට් ඔෆ් ද ෆියුරියස් (2017) මිලියන 139 ක ජනකායක් නරඹා තිබිණි. 

Comments