විජය නන්ද­සිරි බස් එකේ සිංදු කිය කියා නැටුවා | සිළුමිණ

විජය නන්ද­සිරි බස් එකේ සිංදු කිය කියා නැටුවා

 අධ්‍යක්ෂ ප්‍රියන්ත රන්ජන්

මල්වඩම් අනවශ්‍යයයි 100 වැනි දර්ශනය අද

වර්තමානයේ වේදිකා නාට්‍යයක් දර්ශන වාර සියයක් ප්‍රදර්ශනය කිරීම සැබෑම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ප්‍රියන්ත රන්ජන් ගේ ‘මල්වඩම් අනවශ්‍යයයි’ නාට්‍යය අද (24) සවස 3.30 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වෙමින් මෙම ජයග්‍රාහී කඩඉම පසුකරන්නට සූදානම් වෙයි. මේ ප්‍රියන්ත රන්ජන් සමඟ ඒ පිළිබඳව කළ කතා බහයි.

“මෙය මගේ 24 වැනි නාට්‍ය නිෂ්පාදනය. මම ආර් ආර් සමරකෝන් මහතාගේ කැලණි පාලම එතුමා ජීවතුන් අතර ඉන්නාවිට ම නව නිෂ්පාදනය කරමින් තමයි මේ ගමන ආරම්භ කළේ. ඉන්පසු එතුමාගේ ම අහසින් වැටුණු කුමාරයා, දූවිලි, කකුල් හතරේ ඉලන්දාරියා, රිචඩ් මානමුදලිගේ ශාකුන්තලය, මාෂා සහ වලසා වැනි නාට්‍යයත් සමඟ අන්තඃපුරය හොරුකඩයි, කෝලංපුරේ සහ මල්වඩම් අනවශ්‍යයයි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළා.”

මේ නාට්‍යයේ තේමාව පිළිබඳව ගත්තොත්.

“මෙහි කතාව ගලා යන්නෙ පරණ මල් සාප්පුවක් වටා. මිනිහෙක් මැරුණා ම පවුඩර් දාල, තෙල්ගාල මේකප් එකක් කරනවා. සමාජයේ සමහර මිනිස්සු කොටසක් ඉන්නවනෙ මැරෙන්නෙ නෑ වගේ ජීවත්වෙන. ඒත් කෝටිපතියො වෙලා හිටපු මිනිස්සු හිඟන්නො වගේ මැරෙනවා. හිඟන්නො කෝටිපතියො වෙලා මැරෙනවා. අවසානයේ අපි කවුරුත් මැරෙනවා කියන දේ තමයි මෙයින් අවබෝධයක් දෙන්නෙ.”

දර්ශන වාර සියයක් ලොකු අභියෝගයක්.

“ඇත්තට ම මෙම නාට්‍යය සරල හාස්‍යය පමණක් දෙන නාට්‍යයක් නොවන නිසා තමයි මේ තරම් දුරක් පැමිණියේ. මෙහි පිටපත ක්ලයිව් මාටිනස් ගේ. සංගීතය සරත් කුලාංග ගේ. විශ්ව විද්‍යාල මට්ටමින් පවා මෙය අගයුමට ලක්වුණා.

දැනට මිහින්තලය, කැලණිය, රුහුණ, මොරටුව යන විශ්ව විද්‍යාලවල වේදිකා ගත කර තිබෙනවා. මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය ලොකු සහතිකයක් ලබා දුන්නා හොඳ නාට්‍යයක් කියලා.”

මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය නන්දසිරි.

“ඇත්තට ම මේ නාට්‍යයට මුලින් ම විජය අයියා බෑ කිව්වා. පස්සෙ මගේ ඉල්ලීම අහක දාන්න බැරි කමට කැමැති වුණා. ඒත් ඒ තරම් විශ්වාසයක් තිබුණෙ නෑ මේක මිනිස්සුන්ට දැනෙයි කියලා. පළමු ෂෝ එකෙන් පස්සෙ පිට පළාත් වලින් දර්ශන තුනකට කතා කළා. එදි අපි නාට්‍ය ඉවර වෙලා ආපහු එද්දි සතුටට විජය අයිය බස් එකේ සිංදු කිය කියා නැටුවා. මම ආසම නාට්‍යය මේ නාට්‍යය තමයි. මම මේක තනි කරන්නෙ නෑ කියල එදා පොරොන්දු වුණා. ඒත් විජය අයිය අපි අතරින් වියෝ වුණා.”

ඒත් නාට්‍යය තවමත් වේදිකා ගතවෙනවා.

“ඔව්. මම නාට්‍යය නවත්වන්න තීරණය කළා. විජය අයිය නැතිවෙලා සති 2ක පස්සෙ මාතර පල්ලියේ මෙය පෙන්වන්න වෙන් කරලා තිබුණා. ඉතින් ඔවුන් කිව්වා ටිකට් විකුණලා ඉවරයි. මේක නවත්වන්න එපා. විජය අයිය සිහි කරලා නාට්‍යය කරන්න කියලා. පස්සෙ විජය අයියා කළ චරිතය කරන්නේ කවුද කියන ගැටලුව ආවා. තිලක් කුමාර රත්නායක මේ නාට්‍යයේ ‘සිරිල්’ කියන චරිතය කළේ. තිලක් කැමැති වුණා විජය අයියට ගෞරවයක් ලෙස ඒ චරිතය කරන්න.

ඔහුට විජය අයියා වෙන්න බැහැ. ඒත් ඔහු ඒ චරිතයට සාධාරණයක් කළා. දැන් ඔහු දිගට ම එම චරිතය කරනවා. තිලක් සමඟ කුමාර තිරිමාදුර, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, සුරංගි කෝකිලා, කුමාරි සේනාරත්න සහ අනුෂා දිසානායක යන ප්‍රවීණ නළු නිළියන් මෙහි රඟපානවා.”

නාට්‍යය දර්ශන අතරතුර වුණු අමතක නොවන සිදුවීම් ඇති.

“මිනී පෙට්ටි සාප්පුවක් වටා ගෙතුණු කතාවක් නිසා මෙහි මිනියක් තියෙනවා. ඒ ඩමිය නිර්මාණය කළේ චාමර රාජපක්ෂ සහ රෝහණ හේවාවිතාරණ දෙදෙනා. ඒක සුදු රෙද්දකින් වහල තමයි තියෙන්නේ. දවසක් නාට්‍යය පටන් ගන්න කලින් විජය අයියා හම්බ වෙන්න ඕන කියල දෙන්නෙක් ස්ටේජ් එකේ පිටි පස්සට ආවා. මේ ඩමිය දැකල එක්කෙනෙක් සිහි නැතුව වැටුණා. අනෙක් කෙනා පැනල දිව්වා. ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.”

මෙදින තවත් සුවිශේෂී කටයුත්තක් සි‍දුවෙනවාද?

ඔව්. මෙම නාට්‍යයට සම්බන්ධ වන නළුනිළියන්ට වගේ වේදිකාව පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටුකරන ශිල්පීන්ට සම්මාන ප්‍රදානය කිරීමක් ද සිදු කරනවා.

ඒ වගේම කියන්න ඕන අපේ රටේ නාට්‍ය කලාව නිවැරැදිව ඉගෙන ගන්න තැනක් නෑ. ඒ නිසා හවුස් ඔෆ් ඩ්‍රාමා ආයතනයෙන් ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන නාට්‍ය කලාව ඉගෙන ගන්න කැමැති ඕනෑ ම අයකුට ඉගෙන ගැනීමේ පහසුකම ලබාදෙන්න අපි තීරණය කරලා තිබෙනවා. 

 

Comments