ඔයාට හොඳම හොඳ නෑනා කෙනෙක් හම්බ වේවි | සිළුමිණ

ඔයාට හොඳම හොඳ නෑනා කෙනෙක් හම්බ වේවි

මඳ වේලාවක් බලා සිටියද, ගෙතුළට දිව ගිය අරවින්ද් පිටතට නොපැමිණියෙන් ෆියෝනා සඳැල්ලට පිවිසෙන දොර වසා නිවස තුළට ගියාය. නිවස තුළ පවතින නිහඬතාවය නිසා මහත් පාළුවක් දැනේ. ඇය රූපවාහිනිය ක්‍රියාත්මක කර හිඳ ගත්තද, එය බැලීම පවා ප්‍රිය නොවූයෙන් එය ද නිවා දැමුවාය. දුරකතනය අතට ගත් ඇයට ස්මිතා

සිහියට නැගිණ. ඇයට දුරකතන ඇමතුමක් දීමට සිතා සිටියද, එයට නොහැකි විය.

“මං හරි නරකයි. ගිය ගමන් කෝල් කරන්න කියලා ස්මිතා කී සැරයක් කිව්වද? මට මොකක්ද වුණේ කියලා

හිතන්න ඇති.”

ෆියෝනා ස්මිතාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තාය. ඇය ඇමතුම හා සම්බන්ධ වුයේ බොහෝ වේලාවක් එය නද දුන් පසුවය.

“මං චුට්ටක් නිදාගත්තා ෆියෝනා.”

ස්මිතා පැවසුවාය.

“ඔයා කතා කළාද කියලා මං රාඝව්ගෙනුත් ඇහුවා. කරදරයක් නැතිව ආවද කෙල්ලෙ?”

“ආවා. මාත් ටිකක් නිදා ගත්තා.”

“මං හිතුවා. අසාර් බැන්නෙ නැද්ද කාලෙකින් ගෙදර ඇවිල්ලත් නිදා ගන්නවා කියලා?”

ස්මිතා සිනාසුනාය.

“බනින්න එයා ගෙදර ඉන්න එපායැ?”

“ඇයි? අසාර් කොහේ ගිහින්ද? අනුමානයක් නෑ. එහෙමනම් ගෙදර යන්න ඇති.”

“නෑ.”

ආත්මානුකම්පාව නිසා ෆියෝනාගේ දෙනෙත් වලට කඳුළු නැගිණ. අසාර් සිය මවටත්, පියාටත්, සහෝදරයින්ටත් දක්වන බැඳීම පිළිබඳව තමා ස්මිතා පිළිබඳව පැවසූ සියලු දෑ ඇයට සිහියට නැගෙන්නට ඇත.

“එහෙනම් කොහේ ගිහින්ද?”

“දන්නෙ නෑ.”

“දන්නෙ නෑ?”

“නෑ ස්මිතා. මම දන්නෙ නෑ. අසාර් ගැන මං දන්නවා කියලා හිතාගෙන හිටියට මං එයා ගැන කිසිම දෙයක්

දන්නෙ නෑ.”

“සන්සුන් වෙන්න ෆියෝනා. අසාර් විතරක් නෙමෙයි. පිරිමි හැමෝම එහෙම තමයි. අපි ඒගොල්ලො ගැන දන්නවා කියලා හිතාගෙන හිටියට අපි මොනවද දන්නෙ කියලා හිතෙන්නෙ කාලයක් ගියාට පස්සෙ.”

ස්මිතා පැවසුවේ කලකිරීමෙනි. ඇගේ සැමියා ඇයට බොහෝ ආදරය කළ ද, ඔහු සති අන්තයට නිවසට පැමිණීමත්, ඒ පැමිණියද. ඔහුගෙන් කිසිදු සහයෝගයක් නොමැති වීමත් පිළිබඳව ඇය ශෝක වූවාය.

“කෝ රාඝව්?”

මෙම කතා බහෙන් මිදෙන අදහසින් ෆියෝනා මාතෘකාව වෙනස් කළාය.

“රාඝව් චුට්ටකට එළියට ගියා. ෆියෝනා නැතිව මුළු ගේම විතරක් නෙමෙයි ජීවිතේම පාළුයි කියලා අද දවසෙම රාඝව් කිය කියයි හිටියෙ. ඇත්තමයි ෆියෝනා මීට අවුරුදු ගාණකට කලින් අපි හමුවෙලා තිබුණ නම් මම ඔයාව මගේ නෑනා කර ගන්නවා.”

“අම්මෝ... හිතන්නවත් එපා.”

ෆියෝනා සිනාසුනාය.

“හැමදේම සිද්ද වෙන්නෙ සිද්ද වෙන්න ඕන විදියටයි. ඔයාට හොඳම හොඳ නෑනා කෙනෙක් හම්බ වේවි.”

“එහෙම වෙන්න ඉස්සර වෙලා මේකා කසාදයක් බඳින්න එපායැ?”

“ඇත්තටම රාඝව් ගර්ල් කෙනෙක් එක්ක සම්බන්ධයක් නැද්ද?”

“තිබුනා. ඒ මාස තුනකට විතරයි. ඒ ගර්ල් ලංකාවට ගියාට පස්සෙ ආයෙම රාඝව්ගෙ ජීවිතේ පාළු වුණා.

ඇත්තමයි ෆියෝනා. රාඝව් ඔයාට කොච්චර ආදරෙන් හිටියද කියලා මම දැනගත්තෙ ඔයා ගියාට පස්සෙ.”

“ඇත්තටම ඔය දෙන්නම මට ආදරෙන් හිටියා තමයි.”

“ෆියෝනා. විසිටර් කෙනෙක් ඇවිත් වගෙයි. අපි පස්සෙ කතා කරමු.”

ස්මිතා පැවසුවාය. ඒ හා සමගම දුරකතනය විසන්ධි විය. ෆියෝනා හිඳ ගත්වනම බොහෝ වේලාවක් කල්පනා කළාය. සැබවින්ම රාඝව් තමාට බොහෝ සමීප වූ බව ඇයට කෙසේවත් අමතක කිරීමට නොහැකි විය. ඔහු සමග හව්රා පාළම බලන්නට ගිය ගමනකදී තමා විවාහක ගැහැනියක බව පැවසුවද, රාඝව් එය කිසිසේත්ම පිළිනොගත්තේය.

“ඔයා එන්න කලින්ම ඔයා බැඳපු කෙනෙක් කියලා අක්කා කිව්වට ඇත්තමයි ඔයා දකිද්දිවත් මං ඒක හිතුවෙ නෑ ෆියෝනා. මම හිතුවෙ අක්කා මාව රවට්ටන්න කියන කතාවක් කියලා.”

හව්රා පාළම යටින් ගලා බසින හූග්ලි ගංගාවේ ජලය එවේලෙහි බොර පැහැති වී තිබුණු අයුරු ෆියෝනාට තවමත් මතකයට නැගෙයි. රාඝව් මේ සියල්ල පැවසුවේ තමා දෙස බලාගෙන නොව බොර පැහැති වූ ගං දිය දෙස බලාගෙනය. බොහෝ විනෝදකාමියකු ලෙස ස්මිතාගේ නිවසට ගිය දින සිට ඔහු හඳුනා ගෙන සිටියද, ඔහු බොහෝ සංවේදී සිතැත්තකු බව ෆියෝනාට අවබෝධ වූයේ එවරය.

“හරි. කමක් නෑ. අපි ඔයා ආව වැඩේ සාර්ථකව කර ගනිමු.”

ස්වල්ප වේලාවකට පසු ඔහු පැවසුවේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. එම ගමනේදී ඔහු විසින් තම අතෙහි බඳින ලද රාකි පටිය දෙසට ෆියෝනාගේ දෙනෙත් යොමු විය.

“පව්.”

ඇය තමාටම පවසා ගත්තාය.

ෆියෝනාගේ දුරකතනය නැවතත් නද දුන්නේය. ඒ අරවින්ද් වන්නට ඇතැයි සිතමින් දුරකතනය අතට ගත්තද, දුරකතන තිරය මත සටහන් වී තිබුණේ ස්වේතාගේ දුරකතන අංකයයි. නිවසින් පිටවී අසාර් සමග පැමිණි පසු අම්මා ද ඇතුළු සියලු දෙනාම තමා සමග ඇති සම්බන්ධතාවයන් නවතා දැමුවද, ලොකු අයියා, ගජබාගේ බිරිඳ වූ ස්වේතා පමණක් තමා සමග ඇති සම්බන්ධතාවය බිඳ නොදැම්මාය. ඇයට ලොකු අයියාගේ අනුබලය ද ඒ සඳහා ලැබෙන්නට ඇත. තමාත්, නිවැසියනුත් සමගි කරන්නට ඇය බොහෝ උත්සාහ දරා ඇතත්, මල්ලී අභීතගේ විරෝධතාවය ඇයගේ උත්සාහය ව්‍යර්ථ කළ බව දිනක් ස්වේතා පැවසුවාය.

ෆියෝනා සිතිවිල්ලේම ඇමතුම හා සම්බන්ධ වූවාය. එහෙත් ඇමතුම් හා සම්බන්ධ වුව ද ස්වේතාගේ හඬ මඳ වේලාවක් ගත වන තුරුම නෑසිණ.

“ස්වේතා අක්කා...”

ෆියෝනා දෙතුන් වතාවක්ම ඇමතුවද, අනෙක් පස නිහඬ විය. ස්වේතාට වැරදීමක් සිදුවන්නට ඇත්දැයි

සිතමින් දුරකතනය විසන්ධි කරන්නට සැරසෙත්ම ඇගේ කටහඬ ඇසිණ.

“චූටී... චූටි නංගී...”

ස්වේතාගේ හඬ වෙනස්ය. ඇය සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී සිටින්නේද, නැතහොත් ඇය හඬන්නට ඇත්දැයි ෆියෝනා කල්පනා කළාය.

“අක්කා... ඔයා ඇඬුවද?”

ෆියෝනාට ඇසිණ.

“ඇඬුවා? නෑ චූටි. ඔව් චූටි. හොර පූසා වගේ හිටියට දන්නෙ නැද්ද ඔයාගෙ ලොකු අයියගෙ හැටි? තරහ ගිය වෙලාවට බැනුම් කෝටියයිනෙ. දැන් මං බැනුම් අහලා අඬලා ඉන්නෙ.”

ස්වේතාගේ වදන් වල වෙනදා වූ අව්‍යාජත්වය නැති බවත්, ඇය කුමක් හෝ සිත් වේදනාවක් යටපත් කරගෙන ආයාසයෙන් දෙබස් හසුරවන බවත් ෆියෝනාට අවබෝධ වුව ද ඒ මන්දැයි ඇයට සිතා ගත නොහැකි විය.

“චූටි... පහුගිය දවස් වල ඔයා ගෙදර හිටියෙ නැද්ද?”

“නෑ අක්කා. මං ඉන්දියාවෙ ගිහින් ඉඳලා අදයි ගෙදර ආවෙ.”

“එතකොට අසාර්?”

“එයා ගෙදර හිටියා අක්කා. ඇයි?”

“චූටි කාරණයක් කියන්නයි කතා කළේ.”

ෆියෝනාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ස්වේතා කිසියම් අසුබ පුවතක් පැවසීමට සැරසෙන්නේදැයි ඇය කල්පනා කළාය. 

Comments