අහන්න ඒ ඇහෙන්නෙ සාමය ගැනයි | සිළුමිණ

අහන්න ඒ ඇහෙන්නෙ සාමය ගැනයි

මේ දිනවල ගුවන් විදුලියෙන් ඇසෙන හදවතට දැනෙන , ඒ වගේම අන්තර් ජාලයෙන් දකින කළු සුදු රූප පෙළකින් නිර්මාණය වුණු හරිම සංවේදී ගීතයක් පිළිබඳව දැනුණු වචනවලට පෙරළාගන්නට බැරි හැඟීමක් පිළිබඳව සටහනක් තබන්නටයි මේ සූදානම. ඇට, මස්, ලේ නහර තෙක් විනිවිද යන ඉතාමත් ගැඹුරු හඬකින් මේ ගීතය ගායනා කරන්නේ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පියකු වන ඉන්ද්‍රචාප ලියනගේ. ඒ වගේම සිහියට නැගෙන වාරයක් පාසා අපේ මතකය අතීතයට ගෙන යමින් බුද්ධියට ආමන්ත්‍රණය කරන අපූරු කළු සුදු රූප පෙළකින් ගීතයෙන් කියනා අදහස වඩාත් ගැඹුරින් අපට වටහා දෙන ලෙස මෙම ගීතය අපට ඉදිරිපත් කරන්නේ නව පරපුරේ පෙරළිකාර අධ්‍යක්ෂ වරයෙක් වන උදය ධර්මවර්ධන.ඔහු ඡායාරූප ශිල්පියකු ලෙස කලාවට අත්පොත් තබා සිරස ආයතනයේ සහකාර නිෂ්පාදකවරයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා පසුව සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රංශ චිත්‍රපටයක් සහ මෙරට අඩුම පිරිවැයකින් චිත්‍රපටයක් තනා පෙරළියක් කළ නිර්මාණ ශිල්පියෙකි.එසේම වෙළෙඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස වෘත්තීමය කටයුතු කරන නිර්මාණශීලී අධ්‍යක්ෂ වරයෙකි.

මෙම ගීතයේ අධ්‍යක්ෂවරයා ලෙසින් නිර්මාණශීලී ලෙස මෙම අදහස සමාජගත කරන්නට උත්සාහ කළ උදයගෙන් මේ සඳහා කළ කැප කිරීම ගැන විමසන්නට අප සිතුවේ එවිට මෙහි ගැබ්වෙන අර්ථය සැබෑලෙසම අපට වටහා ගන්නට හැකිවන නිසා.

‘‘මට මෙම ගීතය නිර්මාණය කරන්නට ආරාධනා ලැබෙන්නේ විධායක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ( TBWA ) ආයතනයේ සුභාෂ් පින්නපොළ මහතා ගෙන්.ඒ අනුව මුලින්ම ඔහුගෙන් මට ලැබුණේ මේ පද ටික විතරයි.ඇත්තෙන්ම මටත් සංහිඳියාව පිළිබඳව අදහසක් තිබුණා.ඒ නිසා මෙය මම ආසාවෙන් බාරගත්තා.අපි මුලින්ම මේ සඳහා සාකච්ඡා වට 40ක් පමණ තිබ්බා.මෙහි පදවල අඩුපාඩු හැදුවා.

මගේ පෞද්ගලික අදහස අපි සාමය තාම උදාකරගෙන නෑ.දෙපැත්තෙන් කළ යුද්ධය නැවතුණා.ඒත් සංහිඳියාව නෑ. සංහිඳියාව හැමෝටම දැනෙන්න ඕනෑ. එවිට තමයි රටක් ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන්.ඒ නිසා මගේ සිතුවිලි මෙම ගීතයේ පද වලින් කියැවෙනවා. මේ නිසා වෙන වැඩවලට වඩා උනන්දුවක් දැක්වුවා.

අධ්‍යක්ෂ වරයා ලෙස මෙහි විෂුවල් ටික ලියලා සූදානම් වෙන්න අපිට සෑහෙන කාලයක් ගතවුණා. දවස් 8 ක් පුරා ෂෙඩූල් තුනකට මෙහි රූගත කිරීම් කළා.පළමු එක යාපනයේ තමයි ෂූට් කළේ. ඒ සඳහා අපි දින තුනක් මහන්සි වුණා.

යාපනයේ ගතකළ ඒ දින කීපය හරිම සුන්දර අත්දැකීමක්.මේ සඳහා ගොඩක් වෙහෙස වුණේ මගේ සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ආනන්දන් සහ වරූන්. ඒ දෙදෙනා ලොකේෂන් වලට අරගෙන යන ඒවා, විවිධ පුද්ගලයින් මුණ ගස්වලා භාෂා ප්‍රශ්නයක් ඇති නොවන විදියට මට පුදුම සහයෝගයක් ලබා දුන්නා.

දෙවැනි ෂූට් එක කොළඹත් තුන්වැන්න පිළියන්දල ප්‍රදේශයේත් තමයි කළේ. අඩි 40 x35 ප්‍රමාණයේ විශාල තිරයක් මත දර්ශන ප්‍රක්ෂේපණය කරලා තමයි ඒක කළේ.‘‘

මෙම ගීතයේ රූපරාමු අපි දකින්නේ කළු සුදු මාධ්‍යයෙන්. සැබැවින් ම ඩිජිටල් යුගයේ ඇයි මෙවැනි වෙනසක්? මේ හැමදෙනාටම දැනෙන කුතුහලය. උදය ඒ පිළබඳව පැහැදිලි කළේ මේ විදිහට.

‘‘ළමා කාලයේ ඉඳලම ගැලපිය නොහැකි ආශාවක් මගේ හිතේ කළු සුදු වර්ණ දෙක කෙරෙහි තිබෙනවා.මම කළ වෙළෙඳ දැන්වීම් හැරෙන්න අනෙක් බොහෝ නිර්මාණ තුළ කළු සුදු තිබෙනවා. ඒ නිසා මගේ අදහස මම යෝජනා කළා. එය ඇත්තෙන්ම වෙනස්ම වූ දෙයක් බව අනෙක් පිරිසත් තේරුම් ගත්තා. ඇත්තටම මෙහි අපි කළු සහ සුදු වර්ණ grade කළා. නිලංග ෆොන්සේකා තමයි ඒ සඳහා දායකත්වය දුන්නේ. ‘‘

මෙම දැවැන්ත නිර්මාණයට දායක්වය දැක්වූ විශාල පිරිසක් සිටිනවා. සැබැවින්ම සංහිඳියාව අගයන මේ පිරිස ගැනත් අප දැනගත යුතුමයි.

‘‘ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රචාප ලියනගේ. සංගීතවත් කළේ පසන් ලියනගේ.මෙහි පද මාලාව කසුන් චානක වනිගසේකරගේ. කළු සුදු සංකල්පයට ගැළපෙන විධියට ඇඳුම් නිර්මාණයට විශේෂ ක්‍රමවේදයක් තිබෙනවා.මේ සඳහා වෙහෙසවුණේ තිළිණි බෝධිනායක.සුළඟත් එක්ක පොරබදලා මට අවශ්‍ය විදිහට තිරය නිර්මාණය කරන්න මහන්සි වුණේ කලා අධ්‍යක්ෂ මංජුල අයගම.

ඒ වගේම මෙහි ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ විශ්වජිත් කරුණාරත්න.ඊට අමතරව මමත් චානක විජමුණිත් කැමරා දෙකකින් අවශ්‍ය රූප රාමු එකතු කළා.මේ සම්පූර්ණ රූප රාමු මෙගා බයිට් 12ක් තරම් තිබුණා.මගේ ප්‍රධාන සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල සති තුනක් පමණ මහන්සිවෙලා තමයි මේ නිර්මාණය නිමා කළේ. ඒ වගේම සහාය අධ්‍යක්ෂණයෙන් මට සහාය දෙමින් ප්‍රධාන සහාය අධ්‍යක්ෂ චාමර සේලාර්, දෙවැනි සහාය අධ්‍යක්ෂ තරිඳු රනේපුර සහ තුන්වැනි සහාය අධ්‍යක්ෂ නයන ගුරුගේ කටයුතු කළා.මේ මුළු ව්‍යාපෘතිය සාර්ථක කරගන්න නිෂ්පාදන අංශයෙන් නුවන් අල්විස්, 24 Frame ආයතනයේ ප්‍රියන්ත කළුආරච්චි, මුදල් සහ අවසර ගැනීම් වලට මූලිකත්වය දෙමින් නිෂ්පාදන කළමනාකරු මධුරංග ජාගොඩ උදව්කළා.

මෙහි රංගනයෙන් දායක වන්නේ වෘත්තීය රංගන ශිල්පීන් ශිල්පිනියන් නෙමෙයි. ඔවුන් සාමාන්‍ය ජනතාව. ඉතින් ඒ අය එක්ක වැඩකරන එකත් හරිම අපූරු අත්දැකීමක්.ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කළේ ගීත්මා අල්විස්, මිලාන් මෙනු සහ රචිත ෆ්රෑන්ක්.‘‘

ගීතයට ලැබෙන ප්‍රතිචාරගැනත් ඇසිය යුතුමයි.

‘‘මේ වනවිට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. අලුත් විදිහේ වැඩක් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ප්‍රේක්ෂකයෙන් හැටියට බලන කොට මටත් යම්කිසි හිරිවැටීමක් ඉන්ද්‍රචාපගේ ගායනය තුළින් දැනෙනවා.‘‘

Comments