පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව අවදානමේ? | සිළුමිණ

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව අවදානමේ?

ප්‍රශාන්ත ඇල්පිටිය

 ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වනුයේ පාපන්දුය. ඒ වගේම ලොව ලස්සනම ක්‍රීඩාව ලෙසටත් පාපන්දු ප්‍රචලිතය. පාපන්දු ක්‍රීඩාවට අදාළව සෑම සිවුවසරකට වරක්ම වැදගත්ම තරගාවලිය පැවැත්වේ. ඒ ලෝක කුසලාන තරගාවලියයි. 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතය. එහිදී සත්කාරක රට වනුයේ රුසියාවයි.

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන රටවල් තෝරා ගැනීමේ තරග ලොව විවිධ කලාපයන්හිදි මේ දිනවලදී පැවැත්වේ. මේ වන විටත් රටවල් කිහිපයක්ම ඊට සුදුසුකම් ලබා සිටියි. ඒ සත්කාරක රට ලෙසට රුසියාව, දකුණු අමෙරිකානු කලාපයෙන් බ්‍රසීලය, යුරෝපයෙන් බෙල්ජියම, ආසියාවෙන් ඉරානය, ජපානය, දකුණු කොරියාව, සවුදි අරාබිය සහ උතුරු, මධ්‍යම, අමෙරිකානු සහ කැරිබියානු කලාපයෙන් මෙක්සිකෝවයි.

මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන කලාපයක් වේ. ඒ දකුණු අමෙරිකානු කලාපයටයි. ඊට මූලිකවම බලපා තිබෙන්නේ ආර්ජන්ටිනා කණ්ඩායම වෙතටයි. ඒ සෘජුවම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට තිබෙන අවස්ථාව ආර්ජන්ටිනාවට අභියෝගයක් බවට මේ වන විට පත්ව තිබීමයි.

ඒ අනුව මෙම කලාපයෙන් මුල් ස්ථාන සතර හිමිකර ගනු ලබන රටවල් සතර ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. ඒ අනුව බ්‍රසීලය දැනටමත් සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම බොලිවියාව සහ වෙනිසියුලාව දැනටමත් තරගාවලියෙන් ඉවතට ගොස් තිබේ.

මෙම කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග 2015 වසරේ ඔක්තෝබර් 08 වැනිදා ඇරැඹිණි. එය නිමා වනුයේ ලබන ඔක්තෝබර් මස 10 වැනිදාය. ඒ අනුව මෙම සෑම කණ්ඩායමකටම තවත් ඉතිරිව තිබෙන්නේ තරග දෙකක් පමණි.

එම තරග අවසානයේ දී 05 වැනි තැන හිමිකර ගනු ලබන රටට ඔෂේනියා කලාපයේ නවසීලන්තය සමග තරග දෙකකට සහභාගි වීමට සිදුවේ. එහිදී සමස්ත ජයග්‍රහණය අත්කර ගනු ලබන රට ලෝක කුසලානයට සහභාගි වනු ඇත. දැනට තිබෙන වාතාවරණය අනුව ආර්ජන්ටිනාවට මෙම තීරණාත්මක තරග දෙක ජය ගැනීමට සිදුවනු ඇත.

මෙය පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දු වන බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබේ. ඒ ලියොනල් මෙසී ප්‍රමුඛ සුපිරි ආර්ජන්ටිනාවට මෙවැනි අභියෝගයකට මුහුණදීමට සිදුවීම පිළිබඳය. මෙසී තවදුරටත් සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයාය. ගියවර ලෝක කුසලාන අනුශූරතාව දිනූ කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ රැසක්ම මේ වන විටත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරති.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී ආර්ජන්ටිනාවට විශේෂ ස්ථානයක් හිමි වේ. ඔවුන් තරගාවලි 16 කට සහභාගි වී තිබේ. එහිදී ද්විත්ව ශූරතා හිමිය. ඒ 1978 සහ 86 වසරවලදීය. අනුශූරතා ත්‍රිත්වයකි. ඒ 1930, 1990 සහ 2014 වසරවලදීය.

මෙම තරගාවලි ඉතිහාසයේදී ඔවුනට ලෝක කුසලාන වරම අහිමි වී තිබෙන්නේ අවස්ථා සතරකදී පමණි. එහිදී 1938, 1950 සහ 54 තරගාවලීන්ට ඔවුන් සහභාගි වූයේ නැත. ඔවුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වෙමින් ලෝක කුසලාන වරම අහිමිකරගෙන තිබෙන්නේ 1970 වසරේදී පමණි.

දෙවන වතාවටත් ඔවුනට ලෝක කුසලාන වරම අහිමි වීමේ අවදානමක් මේ වන විට ඇති වී තිබේ. එසේ වුවහොත් ලියොනල් මෙසී නැමැති අතිවිශිෂ්ට ක්‍රීඩකයාගේ දස්කම් ලෝක කුසලානයේදී දැක ගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත. එහෙත් එවැනි දෙයක් සිදු නොවීමට නම් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ඉදිරි තරගවලදී සිය සුපුරුදු දස්කම් දැක්විය යුතුමය.

 

සුදුසුකම් ලැබීමේ තරගවලදී ආර්ජන්ටිනා ප්‍රතිඵල

 

ආර්ජන්ටිනාව 0 - 2 ඉක්වදෝරය

පැරගුවේ 0 - 0 ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව 1 - 1 බ්‍රසීලය

කොලොම්බියාව 0 - 1 ආර්ජන්ටිනාව

චිලී 1 - 2 ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව 2 - 0 බොලිවියාව

ආර්ජන්ටිනාව 1 - 0 උරුගුවේ

වෙනිසියුලාව 2 - 2 ආර්ජන්ටිනාව

පීරු 2 - 2 ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව 0 - 1 පැරගුවේ

බ්‍රසීලය 3 - 0 ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව 3 - 0 කොලොම්බියාව

ආර්ජන්ටිනාව 1 - 0 චිලී

බොලිවියා 2 - 0 ආර්ජන්ටිනාව

උරුගුවේ 0 - 0 ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව 1 - 1 වෙනිසියුලාව

 

ඉදිරි තරග

ආර්ජන්ටිනාව - පීරු (ඔක්තෝබර් 05)

ඉක්වදෝරය - ආර්ජන්ටිනාව (ඔක්තෝබර් 10)

 

 

 

දකුණු අමෙරිකානු කලාපයේ

ප්‍රසාද ලකුණු සටහන

 

තරග ජය පරාජ නොවිසුඳුනු ලකුණු

 

1. බ්‍රසීලය 16 11 01 04 37

2. උරුගුවේ 16 08 05 03 27

3. කොලොම්බියාව 16 07 04 05 26

4. පීරු 16 07 06 03 24

5. ආර්ජන්ටිනාව 16 06 04 06 24

6. චිලී 16 07 07 02 23

7. පැරගුවේ 16 06 07 03 21

8. ඉක්වදෝරය 16 06 08 02 20

9. බොලිවියාව 16 04 11 01 13

10. වෙනිසියුලාව 16 01 10 05 08

 

 

 

Comments