ක්‍රිකට් බලධාරීන්ට මාලිංගගෙන් යෝකර් වර්ෂාවක් | සිළුමිණ

ක්‍රිකට් බලධාරීන්ට මාලිංගගෙන් යෝකර් වර්ෂාවක්

බන්දුල ජයමාන්න

අපට පුහුණුකරුවන් කියලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් ඉතින් අහන්න තියෙන්නේ ඒ අය හරි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලා තමයි. තරුණ ක්‍රීඩකයන්ව ඉදිරියට හැඩ ගස්වන්න ඇත්තටම ඔවුන්ට තිබෙන සුදුසුකම් මොනවාද?

ලසිත් මාලිංග මේ අදහස් පළ කළේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවතා ගැනීමට හා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවක් හමුවේ අදහස් දක්වමින්ය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ මාලිංග,

ක්‍රීඩකයකු අසාර්ථකවන කාල සමයක පුහුණුකරුවකුට හැකියාව තියෙන්න ඕනා, ඔහුගේ මානසිකත්වය වර්ධනය කරන ගමන්ම නැවතත් දස්කම් අතරට ගෙන ඒමේ හැකියාවක්. පළමුපෙළ තරග 16 ක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් උසස් දස්කම් කළමනාකරු වශයෙන් පත්කර තිබෙනවා. අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදී තියෙන්නේ හරි හමන් පළමු පෙළ තරග අත්දැකීමක්වත් නැති කෙනෙකුටයි.

ඒ වගේ තනතුරකට අපි කෙනෙක්ව තෝර ගන්නකොට අඩුම තරමේ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් තියෙන කෙනෙක්වත් තෝරා ගන්න බැරි තැනකට වැටිලා තියෙනවා. තමන්ගේ තරග ජීවිතයේ ලකුණු 100 ක්වත් නොගහපු කෙනෙක් රටක ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්නේ කොහොමද? මේක බරපතල කාරණාවක්.

ගෙවීගියාවූ දශක පමණ කාලය තුළ තේරීම් කමිටු නිලධාරින්ගේ හිතුවක්කාරි තීන්දු තීරණ නිසා ක්‍රීඩකයන් ගණනාවක්ම අපට අහිමි වූ බවත්, ඉදිරියේදී මෙවැනි වැරැදි යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද මාලිංග පවසයි.

මීට කාලයකට ඉස්සර වෙලා සමහර තේරීම් කමිටු නිලධාරින්ගේ මතයක් තිබුණා පාසල් ක්‍රීඩා පිටියෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගිහින් අසාධාරණයට ලක්වූ පළමු පෙළ ක්‍රීඩකයන් ඕනා තරම් ඉන්නවා. අද ඒ සියලුම දෙනා අපට අහිමි වෙලා තියෙනවා.

මේ වගේ වැරැදි වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් අපි අද ඉන්න තත්ත්වයෙනුත් තව අවුරුදු ගණනාවක් පස්සට යනවා.

ලාංකේය පළමු පෙළ තරග පිළිබඳ මීට වඩා අවධානයක්ද යොමු කළ යුතු බවද මාලිංග පවසයි.

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා ගැනීමට නම් අපේ පළමු පෙළ තරගාවලිය සම්පූර්ණයෙන්ම ටෙස්ට් ක්‍රීඩාංගණවල, ඒ තණතීරුවලම පවත්වන්න වෙනවා.

ඉන්දු - ලංකා ක්‍රිකට් තරගාවලියේදී තණ තීරු සැකසිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණුවලට පටහැනිව තණතීරු සැකසූ බවද මාලිංග චෝදනා කරයි.

අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලනකොට ඔවුන් අපට දුන්නේ තට්ටයක් වගේ ගාපු තණතීරු. ඇයි එහෙම කළේ අහනකොට ඒක මැෂිමේ වැරැද්දක් කියලා මඟහැරියා. මේ දේ වුණේ එක පාරක් නෙවෙයි. මේවා බලධාරින්ට කියන කොට ගණන් ගන්නේ නෑ. අපි පැරදුණේ මේ නිසාම කියනවා නෙවෙයි. මෙහෙම දේවල් වෙනකොට අපි මානසිකව වැටෙනවා කියන එක මේ අයට තේරෙන්නේ නැති එක තමයි පුදුමේ කියන්නේ.

Comments