දියවැඩියාව පිළිබඳව ඇති මිත්‍යා මත දුරලමු | සිළුමිණ

දියවැඩියාව පිළිබඳව ඇති මිත්‍යා මත දුරලමු

දියවැඩියාවෙන් වළකිමු

කුමන වර්ගයේ දියවැඩියා තත්ත්වයකදී වුවද රුධිර සීනි මට්ටම මනා ලෙස පාලනයට යටත්කර තබා ගැනීම දීර්ඝ කාලීන වශයෙන් සෞඛ්‍යයට හිතකර බව එක්සත් රාජධානියේ කර ඇති ප්‍රොස්පෙක්ටිව් ඩයබෙටිස් අධ්‍යයනය හා ඩී. සී. සී. ටී. අධ්‍යයනය ඇතුළු පුළුල් පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබේ. දියවැඩියාව හටගත් මුල් අවධියේ ම අවදානම් සාධක පාලනය කිරීමෙන් උපරීම ප්‍රතිලාභ අත්කර ගත හැකි වේ. මේ ආබාධය වැලඳී ඇති බව දැනගැනීමෙන් පසු, ප්‍රථම වසර දහය තුළ එය යහපත් ලෙස පාලනය කර තබාගතහොත්, පසු කාලයේ එය මැනවින් පාලනය කර තබා ගැනීමට අපොහොසත් වූවත්, දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිලාභ අත්කරගත හැකි වේ. වයසට යෑමත් සමඟ මිනිසුන්ට හදවත් රෝග හා ආඝාත වැලඳීමේ ප්‍රවණතාවය වැඩි වේ. සීනි මට්ටම් දැඩි ලෙස පාලනය ඔවුනගෙන් ගිලිහී යයි. මීට අමතරව රුධිර සීනි මට්ටම් පමණට වඩා අඩුවීම නිසා හයිපොග්ලයිසීමියා නම් තත්ත්වය ඇතිවීමට ද ඉඩ තිබේ. එබැවින් තරුණ අවධියේදී අන්තයන්ට නොගොස් රුධිර සීනි මට්ටම් සමබරව පවත්වා ගැනීම බෙහෙවින් වැදගත් වේ.

යහපත් ආහාර පුරුදු, ව්‍යායාම හා ගුණාත්මක ඖෂධ භාවිතය යන පිළිවෙත් තුනෙහි සංයෝජනයක්, දියවැඩියාව නිසි ලෙස පාලනය කර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

දියවැඩියාව සඳහා ලොව පුරා දැනට භාවිත කරනු ලබන ඖෂධ පිළිබඳව ඇති මිත්‍යා මත අප විසින් ප්‍රථමයෙන් දුරු කරගත යුතුය. එම ඖෂධ භාවිතයෙන් වකුගඩුවලට හානි සිදුවේ ය යන්න ඉන් එක් මිත්‍යා මතයකි. දියවැඩියාව රෝගීන්ට ඖෂධ මඟින් ප්‍රතිකාර කිරීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් නම් ඔවුන්ගේ වකුගඩු අකරණි වීම Kidney Failure වන හෙයින්, එම ඖෂධ මඟින් වකුගඩු හෝ අක්මා හානි සිදුවේයැයි පැවැසීමේ සත්‍යතාවක් නැත.

දියවැඩියාව පාලනය කිරීම සඳහා දැනට භාවිතයේ පවතින ඖෂධ නිපදවා ඇත්තේ, ඒවායේ අණුක ව්‍යුහය Molecular Structure මත පිහිටා, ලෝකයේ සංවර්ධිත රටවල් දැඩි සායනික අත්හදා බැලීම් සමුදායක් කිරීමෙන් අනතුරුවය. ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසුවත්, ඖෂධවල තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීම සඳහා දැඩි පසු වෙළෙඳ සමීක්ෂණයන්ට භාජනය කෙරේ. ආහාර හා ඖෂධ අධිකාරිය සහ යුරෝපීය ඖෂධ ඒජන්සිය වැනි ප්‍රකට ඒජන්සි මඟින් මෙම ඖෂධ අනුමත කර ඇති අතර ඒවා භාවිතයෙන් රෝගීන්ට සුවය අත්කර ගත හැකි වේ.

අනුමත ඖෂධ

මෙම ඖෂධ රෝගීන්ට නියම කිරීමේදී ඒ පිළිබඳව ලැබී ඇති සාක්ෂි මත පිහිටා, දක්වා ඇති ජාත්‍යන්තර මඟපෙන්වීම් අප විසින් අනුගමනය කරනු ලැබේ. දෙවන ගණයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා බහුල වශයෙන් නිර්දේශ කරනු ලබන මෙට්ෆොමින් Metformin නම් ඖෂධය පිළිබව අප රටේ දියවැඩියා රෝගීහු වැඩි දෙනෙක් අනවශ්‍ය ලෙස බියට පත්ව සිටිති. මේ ඖෂධය දශක හතරක් පුරා පරීක්ෂණ ගණනාවකට භාජනය වූවකි. එක්සත් රාජධානියේ ප්‍රොස්පෙක්ටිව් ඩයබෙටිස් අධ්‍යයනය ඇතුළු පුළුල් සායනික අත්හදා බැලීම්වලදී පරීක්ෂාවට භාජනය කර ඇති මේ ඖෂධය, ඇමෙරිකානු දියවැඩියා සංගමය, දියවැඩියා අධ්‍යයනය පිළිබඳ යුරෝපීය සංගමය ආදිය මඟින් අනුමත කර තිබේ.

සාර්ථකත්වය හා ආරක්ෂාකාරී බව පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන මෙට්ෆොමින් ඖෂධය, දියවැඩියා රෝගීන් සඳහා මූලික වශයෙන් උපයෝගී කර ගන්නා එක් ඖෂධයක් බව ශ්‍රී ලංකා අන්තරාසර්ග සංගමය සඳහන් කර තිබේ. (Endocrine Society) ලෝකයම පිළිගෙන ඇති මෙවැනි ඖෂධ පිළිබඳව වැරැදි තොරතුරු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්සේ පතුරුවා හරින සුදුසුකම් නැති ‘බොරු වෙදුන්ගෙන්’ අප පරිස්සම් විය යුතුය. මෙම ඖෂධ දෝෂ දර්ශනයට භාජනය කරන ඔවුහු එමඟින් සිරුරේ විවිධ ඉන්ද්‍රියයන්ට හානි සිදුවන බව පවසති. ඔවුන් එසේ පවසන්නේ එම ඖෂධ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසා හා වෙනත් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අභිලාෂයෙනි.

රෝගය වළක්වාලීම

මෙට්ෆොමින් ඖෂධය වකුගඩු මඟින් පහකර හරින අතර, වකුගඩුවලට හානි සිදුවන්නේ එමඟින් නොව සිරුරේ අධික සීනි මට්ටම් දිගු කලක් පැවැතීම නිසාය. වකුගඩුවලට හෝ වෙනත් ඉන්ද්‍රියයකට හානි සිදුවිය හැක්කේ කිසියම් ඖෂධයක් චිකිත්සක අවශ්‍යතාවයන් ඉක්මවන කාලයක් සිරුර තුළ රැඳී පැවැතීම හේතුකොටගෙනය. බහුල වශයෙන් භාවිතයට ගනු ලබන මේ ඖෂධය පිළිබඳව ඇති බිය සැක අප දුරු කරගත යුතුය. මෙමඟින් හෘදයාබාධ හට ගැනීමේ අවධානම ද අඩු කරනවා පමණක් නොව කාන්තාවන්ගේ සාරවත් භාවයට ප්‍රතිකාරයක් ලෙස ද මෙය උපයෝගී කරගනු ලැබේ.

ගර්භණී සමයේදී පවා මේ ඖෂධය භාවිත කිරීම ආරක්ෂාකාරී බව මූලික පර්යේෂණ වාර්තාවන්ගෙන් හෙළි වී තිබේ. රුධිර සීනි මට්ටම් වැඩි එහෙත් දියවැඩියා තත්ත්වයට පත්ව නැති තැනැත්තන්ට, දියවැඩියාව වැලඳීම වළක්වාලීම සඳහා ද මේ ඖෂධය උපයෝගී කර ගැනේ. ජීවන රටාවේ වෙනස්කම් සමඟ මෙට්ෆොමින් භාවිතයට දැනට ජාත්‍යන්තර දියවැඩියා මඟපෙන්වීම් මඟින් අනුබල දෙනු ලැබේ. ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් මඟින්ම පමණක් සැලැකිය යුතු පිරිසකට දියවැඩියාව පාලනය කරගත නොහැකි හෙයින් ජාත්‍යන්තර නිර්ණායකයන් මේ පිළිවෙත අනුගමනය කිරීම නිර්දේශ කරයි.

දියවැඩියාව හටගන්නේ, අපගේ සිරුරුවල ඇති ඉන්සියුලින්, ප්‍රමාණවත් ප්‍රමාණයක් වෑස්සීමක් සිදු නොවීම හෝ වෑස්සනු ලබන ප්‍රමාණයන් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසාය. පළවැනි ගණයේ දියවැඩියා තත්ත්වයේදී ඉන්සියුලින් ශුන්‍ය තත්ත්වයේ පවත්නා අතර, 1921 දී ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් බැන්ටින් ඉන්සියුලින් සොයා ගැනීමට පෙර, එවන් රෝගීන් මාස කිහිපයකින් මරණයට පත් විය.

දෙවැනි ගණයේ දියවැඩියා තත්ත්වයේදී සීනි මනා ලෙස පාලනය වී නැතිනම්, සිරුර ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවනු නොලබන හෙයින් ඉන්සියුලින් නික්ෂේපණය කෙරේ. දියවැඩියා රෝගීන්ගේ ජීවිතයෙහි ඉන්සියුලින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන හෙයින්, එය උපද්‍රව සහිත ය හෝ එයට ඇබ්බැහි වීමක් සිදුවේ යැයි හෝ පැවැසීම තර්කානුකූල නොවේ. ඉන්සියුලින් භාවිතයේදී ගැටලු ඇතිවන්නේ ඒවා නියම මාත්‍රාවන් ගෙන් නොගැනීම හෝ ගන්නා ආහාර සමඟ නොගැළපීම හේතුකොට ගෙනය. වැරැදි ලෙස ඉන්සියුලින් භාවිතය නිසා ඇතිවන කෙටි කාලීන සංකූලතාවයන් යථා තත්ත්වයට පත්කළ හැකි වේ. ඉන්සියුලින් භාවිතය පිළිබඳව ඇති තවත් සුලභ මිත්‍යා මතයක් නම් එයට ඇබ්බැහි වීමක් සිදුවන්නේ ය යන්නය. මේ ඖෂධය දෙනු ලබන්නේ සිරුර ස්වභාවික ලෙස ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් නොනිපදවන නිසා ය.

මේ නිසා එමඟින් ඇබ්බැහි වීමක් සිදු නොවේ. සමහර අවස්ථාවල සැත්කම්වලට පෙර හා ගර්භණී සමයේදී ද කෙටි කාලීනව ඉන්සියුලින් දෙනු ලැබේ. පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳී ඇති බව ප්‍රථම වතාවට හඳුනාගත් විට, අධික රුධිර සීනි මට්ටම් නිසා ග්ලූකොටොක්සිසිටි නම් තත්ත්වයට පත් වේ. ඉන්සියුලින් හා ඖෂධ මඟින් සීනි මට්ටම් පාලනය කළ විට, ටික කලකට පසු එම තැනැත්තාට ඉන්සියුලින් නොමැතිව දියවැඩියාව පාලනය කරගත හැකි වේ.

ඉන්සියුලින්

දියවැඩියාව පාලනයට හිතකර යැයි ප්‍රචලිත සමහර ආහාර, පලතුරු හා පාන වර්ග පමණට වඩා විශාල ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් විසින් ආහාරයට ගැනීම සුලභව දක්නට ලැබෙන දෙයකි. වැදගත් වන්නේ කෙනෙක් කා‍බෝහයිඩ්‍රේට්වලින් ලබාගන්නා කැලරි ප්‍රමාණය වන අතර ඒවා පරිභෝජනය කරනු ලබන ප්‍රමාණය සැලැකිය යුතු වේ. තිරිඟු පිටි මූල ආහාර හෝ සුදු සහලේ බත් වෙනුවට කුරක්කන් මූල ආහාර හෝ රතු සහලේ බත් පමණට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් විශේෂ වාසියක් නොසැලැසේ. මන්ද යත් ඒ ආහාර දෙවර්ගය අතර ඇත්තේ සුළු වෙනසක් වන හෙයිනි.

මෙහිලා වඩා වැදගත් වන්නේ මධ්‍යස්ථ භාවයය. කැඳ වැනි පානයන්ට ද මේ කරුණ අදාළ වේ. බොහෝ විට කැඳ කෝප්පයක් පානය කිරීමෙන් පසු වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් ගන්නා උදේ ආහාරය ද ගනිති. ව්‍යායාමයෙන් තොර ජීවිත ගතකරන්නෙකුට කොළ කැඳ හෝ බත් කැඳ කෝප්පයක් උදෑසන ආහාර වේලක අවශ්‍යතාවය සපුරාලයි.

දඹල, බෝංචි, තලන බටු, මුරුංගා වැනි කොළ එළවළු ඕනෑම ප්‍රමාණයක් ගැනීමෙන් හානියක් සිදු නොවන නමුත් බීට්, අර්තාපල් සහ පිෂ්ටය අධික වට්ටක්කා, කොස්, දෙල් ආදි ආහාර අධික වශයෙන් ගැනීම පිළිබඳව දියවැඩියා රෝගීන් සැලැකිලිමත් විය යුතුය. වෙරළු, නෙල්ලි, පේර, සහ ඇඹරැල්ලා ආදි පලතුරු ගැනීම හිතකර වුවත්, කෙසෙල්, අඹ, පැපොල් සහ මිදි ආදිය ගත යුත්තේ සීමා සහිත ප්‍රමාණයකි.

ආසියානුවන් දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානම් තත්ත්වයක පසුවන්නේ ඔවුන්ගේ වැරැදි ආහාර රටාව නිසාය. 1990 ගණන්වල අපගේ දියවැඩියා ජනගහනය 2.5% ක් වූ නමුත් මගේ අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ නාගරික ප්‍රදේශවල මෙය 18% පමණ වන බවය. වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතාගේ අධ්‍යයනයන්ට අනුව කොළඹ සමහර පළාත්වල මෙය 30% පමණ දක්වා වැඩි වී ඇත. මේ සියලු දෙනාම දියවැඩියාව පිළිබඳ පවුල් ඉතිහාසයකින් යුක්ත අය නොවන බව අප සිහි තබාගත යුතුය. මේ වසංගත තත්ත්වයට වැඩි වශයෙන්ම හේතු පාදක වී ඇත්තේ ව්‍යායාමයෙන් තොර ජීවන රටාවන් හා අහිතකර ආහාර රටාවන් ය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.