රොන්මඩ දූපත් සහ ගම් වැව් | සිළුමිණ

රොන්මඩ දූපත් සහ ගම් වැව්

 සමශීතෝෂ්ණ දේශගුණික ප්‍රදේශවල මෙන් නොව නිවර්තන කලාපීය ප්‍රදේශවලට ඉතා තද වැසි ලැබෙන නිසා එම ප්‍රදේශවල පාංශු ඛාදනය සම්පූර්ණයෙන්ම වළකා දැමීම කළ නොහැකිය. කළ හැකිව ඇත්තේ වර්ෂාවකින් පසුව ඇතිවෙන පාංශු ඛාදනය අවම කරමින් ජලයේම දියවීයන හෝ ජලය මඟින් ඔසවා ගෙනයන හෝ ජලයේ ගැලුම් වේගය අනුව විශේෂයෙන්ම ලොකු වැලි කැටිති මෙන්ම කුඩා බොරළු කැට ආදිය බිම දිගේ තල්ලු කරගෙන හෝ ගොස් පහත් ප්‍රදේශවල ඇති ජලාශවල තැන්පත් කිරීම අවම කිරීම පමණි.

අතීතයේදී මේ රොන්මඩ ගමනය සහ ඒවා ජලාශවල තැන්පත්වීම තුන් ආකාරයකින් අවම කර තිබිණි. ඉන් පළමුවැන්න ජලාශයක ජල පෝෂක ප්‍රදේශයේ පැවති වෘක්ෂලතාදිය මැනවින් ආරක්ෂාකරමින් පාංශු ඛාදනය අවම කිරීමය.

ගස්වල අතුපතර ඝනව වැඩීමට ඉඩහැර එමඟින් පොළොව දෙසට වේගයෙන් කඩා හැලෙන වැසිබින්දු පොළොවට වැටීමේදී වේගය අඩාළ කොට ගස් යට පතිත වී ඇති වියළී දිරායමින් ඇති කොළ බිස්ස අතරින් වැසිවතුර පිටතට බේරී යෑමේ වේගය අඩු කර දැමීමය. එසේ වැසි වතුරේ ගැලී යෑම අවම කර දැමූ විට නග්න පොළොව මත වුවද පාංශු ඛාදනය බෙහෙවින්ම අඩුවී පැවතිණි. දෙවැනි ක්‍රමය වූයේ ස්වභාවධර්මයට අනුභූතවම මිනිසාගේ තාක්ෂණ හැකියාව උපයෝගී කරගනිමින් ලොකු වැවකට එහි අධි බෑවුම් ජල පෝෂකයකින් පහළට ගලා එන ඛාදිත රොන්මඩ නවතා දැමීමට එම වැව් ඉස්මත්තේම 'කුළු වැව්' කැණීමය. තෙවැනි ක්‍රමය වී තිබුණේ වැවක දිය ගිලුම මායිමත් සිසාරාම පෙරහණක් වශයෙන් සිටින සේ උස් තෘණ සහ වෙනත් ජලජ ශාඛ ඝනව වැවී යාමට ඉඩහැර එමඟින් වැව අභ්‍යන්තරයට නිදැල්ලේ ගලා ආ හැකි රොන්මඩ සහ දිරාගිය කොළරොඩු ආදිය නවතා දැමීමය. එහෙත් අඩසියවසකට වැඩි කාලයක් තිස්සේම රජයේ අවසරය ඇතිව හෝ අනවසරයෙන් හෝ වියළි කලාපීය ගම්වැව් ආශ්‍රිතව වෙනස් කර දමා ඇති ඉඩම් පාරිභෝගික රටාව නිසාත් කර ඇති කැළෑ සංහාරය නිසාත් කුළුවැව් බැඳීමේ සම්ප්‍රදාය අහෝසි වී ගොස් ඇති නිසාත් ඉහත දැක්වූ රොන්මඩ රඳවා තබා ගැනීමේ උපක්‍රම අද ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

දැන් අප ඉදිරියෙහි ඇති ප්‍රශ්නය වනුයේ ඉවක්බවක් නොමැතිව මිනිසා විසින්ම පරිසරයට අහිතකර ලෙස කැළෑ විනාශ කිරීමත් අහිතකර ලෙස ඉඩම් පරිහරණය කිරීමත් නිසා අද වැව්වල ජලධාරිතා අඩුවෙමින් පවතින අතර නොකඩවාම වැව්වලට ගලාඑන රොන් මඩට කුමක් කළයුතුද යන්නය. මේ සකල ක්‍රියාවලියම එසේ පැවති ගෙන ගිය හොත් වැව් ජලධාරිතාවයත් පිරිහෙනු ඇත. දැනටමත් බොහෝ වැව්වල තැන්පත් වී ඇති රොන් මඩතට්ටු අඩි තුන හතරකටත් වඩා ඝනය. තත්ත්වය දිගින් දිගටම මෙසේ පැවැත ගෙන ගිය හොත් 2050 වනවිට බොහෝ කුඩා වැව්වල දියගැඹුර, කුඹුරු ලියැදිවල ගැඹුර ජලය තරමටම අඩුවී යනු ඇත. ඉකුත් දශක දෙක තුළදී ම වරින් වර රොන් මඩ ඉවත් කිරීමේ අවශ්‍යතාවය ගැන රාජ්‍යනිලධාරීන් විසින් පැවැත්වූ සාකච්ඡා එමටය.

මේ කාර්යය සඳහා අධික මුදලක් වැයවෙතැයි පවසමින් පැහැදිලි තීරණයක් නොමැතිව ම ඒ සාකච්ඡා ලොප් කෙරිණ.

කෙසේ වෙතත් 2012 සහ 2013 වර්ෂවල දී වැව්වල රොන් මඩ ඉවත් කිරීම් බුරුතු පිටින් ම කොන්ත්‍රාත් පදනම් මත පුද්ගලික අංශයට පැවරිණි. කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කළ වැය ඇස්තමේන්තු ගැන නිසි ඇගයීම් කිරීමක් අසන්නටවත් නොතිබිණි.

වැවක රොන් මඩ යන්ත්‍රාණු සාරයෙන් කපා තැන් තැන්වල ගොඩගැසීමට වඩා එම පස් ගොඩවල් විශාල ට්‍රක් රථවලට පටවා දුර බැහැර තැන්වල ට පරිවහනය කොට නොයෙකුත් වූ තැන්වල ගොඩගැසීමට අයකර ඇත්තේ විශාල මුදල් ප්‍රමාණයන්ය. මෙසේ මුදල් නාස්ති නොකළ යුතුව තිබුණේ යැයි යන්න එක් උදාහරණයකින් ම තහවුරු කර දිය හැකිය.

2017දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගඟතලාව වැවෙහි රොන් මඩ ඉවත් කිරීම සඳහා මිල ගණන් කැඳවූ විට ඒ සඳහා රුපියල් මිලියන 22ක් යැයි රොන් මඩ ඉවත් කිරීමේ මාෆියාවේ එක් ටෙන්ඩර්කරුවකු ඉදිරිපත් කර තිබූ තක්සේරුවක් ඉවතලමින් ආරක්ෂක හමුදාවල වාඑම වැවෙහි රොන්මඩ ඉවත් කර ඇත්තේ රුපියල් මිලියන 5.2ක් වූ වියදමිනි.

2012 සහ 2013 දී වැව්වලින් කපා ඉවත් කළ පස් නොයෙකුත් තැන්වල ගොඩගැසීම පරිසරයට අතිශයින්ම හානිදායක විය. මෝසම් වැසි කාලයේදී මේ රොන් මඩ ඉතා පහසුවෙන් ම ගලා යන වැසි දිය සමඟ යළිත් අසළ වැව්වලට ගොස් තැන්පත් වෙන්නට ඇත. එමෙන්ම ඇළ වේළි මෙන්ම සමහර කුඹුරු ද රොන් මඬවලින් පිරී යන්නට ද ඇත. එවන් හානි වැළකීමට නම් කිසියම් ආරක්ෂක ස්ථානවල ඒවා හිර කොට තැබිය යුතුය.

මෙතැනදී මතුවෙන උභතෝකෝටික ප්‍රශ්නය වනුයේ වැව්වල ඇති රොන් මඬ ඉවත් නොකර නොසිටිය හැකි බවත්, ඉවත් කරන රොන් මඩ පරිසර යට සහ ජන ජීවිතයට හානි නොවන අයුරින් ආරක්ෂා සහිතව ගොඩ ගසා තැබීමට සුදුසු තැන් නොමැතිකමත්ය. මේ යුගල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් අපට සිදුවී ඇත්තේ ‘‘ඌරාගේ මස් උගේ ඇඟම ම තබා කපා, ඇඟ මතම ගොඩ ගසන්නාස්‘‘ වැව අතුළෙන් කපා ගන්නා රොන් මඩ වැව තුළම කෙසේ හෝ රඳවා තබා ගන්නා ගමන්ම වැවේ ජල ධාරිතාවය වැඩිකිරීමේ ක්‍රමෝපායක් විකාශකර ගැනීමය.

මේ ප්‍රශ්න පිළිබඳ ව කලක් තිස්සේ කළක් ක්ෂේත්‍ර පර්යේෂණ මෙන්ම බිම්මට්ටමේ කළ අත්හදාබැලීම් අනුසාරයෙන් විකාශය කරගත් උපක්‍රමය වනුයේ වැවෙන්ම කපා එක් කෙරෙන රොන් මඬ පස් වැව ඉස්මත්තෙහි දූපත් වශයෙන් ගොඩ කර දමා ගැනීමය. මේ සම්බන්ධයෙන් බිම්මට්ටමේ අත්හදාබැලීම් ඇරැඹුණේ 2003 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහගල් කඩවල වැවේදීත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල් කඩවලව වේදීත්ය.

එදා සිට වර්ෂ 14කට පසුව 2017දීත් මේ දූපත් පරිහානියකින් තොරව පවතී.

ඒ වන තෙක්ම කෙරීගෙන ගිය පර්යේෂණ සහ අත්හදාබැලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් 2005දී ඉදිරිපත් කෙරුණු ‘‘රොන්මඩදූපත්‘‘ හැදීමේදී ආකෘතිය පළමු සටහනේ දැක්වේ. මේ රූපයෙහි දක්වා ඇති රොන්මඩ දූපත්, වැඩි වශයෙන් ම වැවට දිය ගෙන එන මුදුන් ඇළ පාරත් වැව පිහිටි නිම්නයේ දෙපස බෑවුම්වලින් වැවට ගලා බස්නා දිය පාරවලුත් අවහිර නොවන අයුරින් ගොඩගැසිය යුතුය. මේ රොන් මඬ දූපත් ගොඩගැසීමට රොන් මඬ කපා ගත යුත්තේ වැවේ මඩකළුව සහ ඒ තදාසන්න බිම්වලිනි. ඒ රොන් මඬ කපාලත් අවකාශය අමතර ජල ධාරිතාවයක් වැවට එක් කරදෙනු ඇත.

යෝජිත දූපත් තැනීමේ ඉංජිනේරු ශිල්පීය ක්‍රමය

මෙහි දෙවැනි රූප සටහනෙන් දැක්වෙන්නේ වෑකන්දක ඇතුළු බෑවුම් (පෙරමුණේ) පාදමේ සිට වැව ඉස්මත්තේ උපරිම ජල ගිළුම මායිම තෙක් වන හරස්කඩයි.

දූපත් ගණන සහ පරාමිති

මෙහි පළවෙනි රූපයේ පෙන්වාදී ඇති පරිදි වැවට එන දිය පාරවල් මග හරවා දූපත් කිහිපයක්ම තැනිය හැක. කුඩා වැවක දූපත් 03 සිට සාමාන්‍ය ලොකු ගම් වැවක දූපත් 08 දක්වා ප්‍රමාණයක් නිර්මාණය කිරීම සෑහේ.

සාමාන්‍යයෙන් වැඩිම ජල ගිලුම් මට්ටමේ (High Flood Level – HFL) සිට පූර්ණ ජල ගිළුම් මට්ටම (Full Supply Level - FSL) අතර පවතින ගස් ගොම්මනේ සිට වැවෙහි දිය ගිළුම් ඇතුළු පැත්තේ රොන්මඩ දූපත් පිහිටුවීම උචිතය.

රොන්මඩ කපා වැව් ඉස්මත්තට බොහෝ දුර ගෙවා පස් තල්ලු කිරීමට ගෙනියෑමට සිදුවෙයිනම් එය අවම කිරීමේ ක්‍රමයක් වශයෙන් තරමක් වැව අභ්‍යන්තරයට සිටින සේ රොන්මඩ දූපත් ස්ථාපනය කිරීමේ වරදක් නොමැත.

පස් කඳු ගෝලාකාරව, සමචතුරශ්‍රව, ඝෘජුකෝණාශ්‍රව හෝ ඕනෑම හැඩයකට ස්ථාපනය කළ හැකිය. සමචතුරශ්‍ර දූපතක් නම් මීටර 10ක් පමණ පළල මීටර් 20ක් පමණ දිගට ගොඩ ගැසිය යුතුය. සමහර වැව්වල මේ දිග පළල, අවශ්‍යතාවය අනුව අඩු වැඩි කර ගත හැකිය.දූවක උස

වැවේ උපරිම ජල මට්ටම් සීමාවේ සිට ඉහළට උස මීටර් 2 සිට මීටර් 6ක් පමණ වීම සුදුසුය. මෙහිදී දූව සඳහා පස් ගැනීමට කුඩා වැව් වල රොන්මඩ කැපීමේ ගැඹුර මීටරයකට සීමා කිරීම සෑහේ. දූපතක් වශයෙන් මුදුන් කල පස උඩින් ට්‍රැක්ටරයක් වැනි වාහනයක් එහා මෙහා යෑමෙන් පස තද කිරීම ප්‍රමාණවත්ය.

රොන්මඩ කපා ගත්තත් නැතත්, රොන්මඩ ගොඩ ගසන ස්ථානය අතරත් දෙවැනි රූපයේ E වලින් දක්වා ඇති පෙදෙස දූපතෙහි පාදම වශයෙන් ඉතිරි කළ යුත්තේ ගොඩ ගැසූ රොන්මඩ සේදී රොන්මඩ කපාගත් වලවල් වලට ගරා වැටීම අවම කර තැබීමටයි.

තවද,රොන්මඩ දූවේ බෑවුමේ, සාමාන්‍යයෙන් වෑකන්දක පස් සෝදා ගරාවැටීම අඩුකිරීම සඳහා මෙන් මෙහිද තණ පිඩැලි ඇල්ලීම යෝග්‍යය.එසේම,දූපත මත සහ එහි බෑවුම්වල ප්‍රදේශයට ආවේනික විශේෂයෙන්ම කුරුල්ලන්ට ආහාර සැපයෙන ගස්වර්ග වැවීම උචිතය.

රොන්මඩ දූපත්වල ප්‍රයෝජන

දැනට වැව්වල ගොඩ ගැසී ඇති රොන්මඩ වැව තුළම රඳවා තබාගත හැකිවනු අතර රොන්මඩ දූපත් ගොඩ කිරීමට අවශ්‍ය පස් වැව තුළින්ම කපා ගැනීම් කරන භූමි ප්‍රමාණයට සමාන අමතර ජල ධාරිතාවයක්ද වැව තුළම ඇතිවීම වාරි කටයුතු සඳහාත්, ගැමියන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාගැනීමටත්, අන් සියලු සත්ත්වයින්ගේ ජල අවශ්‍යතා සපුරාගැනීමටත්, ගහකොළෙහි පැවැත්මටත් බෙහෙවින්ම ඉවහල් වනු ඇත.

දැනටමත් වැව්වල ගස්ගොම්මනත් විනාශකොට ඉහළම වැව යටතෙහිවූ කුඹුරු ඊටම පහළින් ඇති වැවේ දියගිළුම තෙක් ප්‍රසාරණය කිරීම නිසා වාෂ්පීකරණය වැඩිකරන වියළි සුළංවලට ආවරණයක් නොමැති හෙයින් ගස්ගොම්මන් යළිත් වගා කරගෙන යද්දී දූපත්වලද ගස් සිටුවීම නිසා සුළං ආවරණ ශක්තිමත් වෙනු ඇත.

ගස්ගොම්මන් සහ පෙරහණයක් රහිතව ඉහළ වැව යටතේ කලින් පැවති කුඹුරු, පහළ වැවේ දිය ගිළුමටම දැන් දැන් ප්‍රසාරණය කර ඇති හෙයින් ඉහළ කුඹුරු වැපිරීමේදී ජනිතවන රොන්මඩ පහළ වැවට එක්වීම නොනවත්වාම කෙරීගෙන යෑමේ විපාක අඩුකිරීමට, දූපත් තැනීම ඉවහල් වේ.

එවන් දූපත් පහළ වැවේ උපරිම ජල මට්ටම දිගේම (ශේෂ කඳුවැටියක් ලෙස සිටිනසේ) ස්ථාපනය කළ විට ඉහළ සිට පහළ වැවට හොර රහසේම ඉඩම් ප්‍රසාරණය කිරීමද නැවතී යනු ඇත.

අවුරුදුපතාම ලංකාවට එන සංචාරක කුරුළු වර්ගවලට මේ දූපත් තාවකාලික පාරාදීස(habitats) බවට පත්වීම නිසා ගස් කොලන් වැවුණු විට මේ දූපත් සංචාරකයින්ගේ ද ආකර්ෂණය ලබනු ඇත.

සමස්ථයක් වශයෙන් ගත්කල රොන්මඩ ඉවත්කරමින් වැව් ගැඹුරු වැඩිකිරීම හේතු කොට ගෙන අවුරුද්ද මුළුල්ලේම ඒවාහි වතුර පවතින්නේ නම් සාමාන්‍යයෙන් සෑම වර්ග කිලෝමීටර දෙකකටම එකම වැවක්වත් ඇති වියළි කලාපීය පෙදෙස් 'විල්කලාප' බවට පත්වූවිට ඇතිවෙමින් පවත්නා දේශගුණ විපර්යාසවලට අනුහුරුව ජීවත්වීමට මිනිසාට හැකි වෙනු ඇත.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.