පරිසරයට අනුගත කෘෂිකර්මාන්තයක් ඕනෑ | සිළුමිණ

පරිසරයට අනුගත කෘෂිකර්මාන්තයක් ඕනෑ

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතීතයේ සිටම ගොඩනැඟුනේ කෘෂිකර්මාන්තය ම‍ූලික කොට ගෙන ය. එකල ගොවියා කෘෂිකාර්මික කටයුතු වල නිරත වූයේ තම පාරම්පරික ඥානයෙන් උරුම වූ පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කරමිනි. එහෙත් ජනගහන වර්ධනයත් සමඟත් ශීඝ්‍රයෙන් වැඩි වන ඉල්ලුමට සරිලන සැපයුමක් කඩිනමින් ලබාදීමට කෘෂි රසායන භාවිතයට පසුකාලීනව යොමු විය. මෙහිදී ‍රසායනික පොහොර, පළිබෝධනාශක ආදිය අසීමාන්තික ලෙස භාවිතය ගොවියාට ආර්ථික අලාභයක් ගෙන දෙනවා මෙන් ම වර්තමානයේ සමාජීය මෙන් ම පාරිසරික ගැටලු රාශියකට මුල්වී ඇත.

 කෘෂි රසායන අනිසි භාවිතයේ ප්‍රතිවිපාක

මෙහිදී වගාවට හානිකර පළිබෝධකයන් පමණක් නොව වගාවට හිතකර ජීවීන් ද විනාශ වී මේ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන් ම පළිබෝධකයන්ට එ‍රෙහි විවිධ රසායනික ද්‍රව්‍ය කාලයක් මුළුල්ලේ අඛණ්ඩව භාවිතා කිරීමේදී එයට ප්‍රතිරෝධී ජීවීන් බිහිවේ. සමහරක් ප්‍රතිවිපාකයක් කෙටි කාලයක් තුළදී නොපෙන්වුවත් දීර්ඝ කාලයකට පසුව පෙන්නුම් කරයි. ප්‍රාථමික නිෂ්පාදකයා වන ශාක මෙම රසායනිකයන් මුලින් ම අවශෝෂණය කරගන්නා අතර අනුපිළිවෙළින් ආහාර දාමයේ සෙසු පුරක් කරා ද මෙය ගමන් කරයි. මෙලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් නිදන්ගත රෝග ඇතිවිමේ අවධානයක් පවතී. එමෙන් ම සුපෝෂණය වැනි සංසිද්ධීන්ට ද මෙය හේතු කාරක වේ. කෘෂි රසායන අනිසි ලෙස භාවිතය මිනිසාට මෙන් ම පරිසරයට ද හානිකර බැවින් එය නිසි පරිදි භාවිතයට හුරු විය යුතු ය.

 කෘෂි රසායන අනිසි භාවිතය වැළැක්වීමට යෝජනා

අමෙරිකාව වැඩි දියුණු රටවල කෘෂි රසායන පාලන මණ්ඩල පවතී. මෙහිදී වෙළෙඳපොළ වෙත යම් නිෂ්පාදනයක් නිකුත් කිරීමට පෙර කෘෂි රසායන අන්තර්ගත නොවන බවට හෝ එහි අවම ප්‍රමාණයෙන් කෘෂි රසායන අන්තර්ගත වන බවට සහතික කළ යුතු ය. මෙවැනි ක්‍රම ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීම කාලෝචිතය. එපමණක් නොව ලංකාවෙත් යම් කෘෂි බෝගයක් විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කරන්නේ නම් ඒවා කාබනික නිෂ්පාදන බවට තහවුරු කළ යුතු ය. එහෙත් ලංකාවේ දේශීය වෙළෙඳපොළට මෙම කෘෂිබෝග නිකුත් කිරීමේදී එවැනි තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී. කළ යුතු වන්නේ ආනයනය කිරීමේදී මෙන් ම දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ද මෙලෙස කාබනික නිෂ්පාදන බවට තහවුරු කිරීමෙන් පසු වෙළෙඳපොළට නිකුත් කිරීමයි. වර්තමානයේ කෘෂි බෝග නිෂ්පාදනය ආරක්ෂිත ගෘහ තුළ කාබනික වගාවන් ලෙස සිදු කිරීමේ යහපත් ප්‍රවණතාවක් පවතී. එහෙත් එය ක්‍රමවත් ලෙස සිදුවනවා ද යන්න සොයා බැලීමක් අවශ්‍ය අවස්ථාවන් වලදී කෘෂි උපදෙස් ලබාදීමත් ඉතා වැදගත්. කෘෂි රසායන භාවිතය අධික වීමට තවත් ප්‍රධාන ගැටලුවක් නම් ගොවියාගේ නොදැනුවත්කමයි. රෝගය නිවැරැදිව හඳුනා ගෙන ඊට නිර්දේශිත කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කළ යුතු ය. මෙහිදී රෝග විනිශ්චය කිරීම සම්බන්ධව බොහෝදෙනාට ඇත්තේ අල්ප දැනුමකි. බොහෝ විට සිදු කරනුයේ ක්ෂේත්‍රයට යම් රෝගයක් වැළඳුණු පසු එහි රෝග ලක්ෂණ කෘෂි අලෙවි නියෝජිතයකුට පවසා කුමක් හෝ පළිබෝධනාශකයක් ගෙනැවිත් ක්ෂේත්‍රයට භාවිතා කිරීමයි. මෙය මීට වඩා ක්‍රමවත් විය යුතු ය. කෘෂි උපදේශකවරයකුගේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකින් පසු හෝ ඔහුගේ උපදෙස් අනුව නිර්දේශිත කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය වඩා යෝග්‍ය වේ. ඔසුසලකින් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍ය වන්නා මෙන් කෘෂි අලෙවි සලකින් සමහරක් කෘෂි රසායන ලබා ගැනීමට කෘෂි උපදේශකවරයෙකුගේ නිර්දේශය මත සිදු කිරීම අවශ්‍ය වන්නේය. මෙමඟින් අනවශ්‍ය ලෙස කෘෂි රසායන භාවිතය වැළැක්වේ. තවද ස්ථිරසාර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මෙන් ම නීති මාලාවක් සැකසීම යුගයේ අවශ්‍යතාවකි. විශ්වවිද්‍යාල හා නොයෙකුත් පර්යේෂණ ආයතනවල ද වර්තමානයේ මූලික කර්තව්‍යයක් විය යුත්තේ පරිසර හිතකාමී කෘෂිකාර්මාන්ත‍යක් වෙනුවෙන් තම පර්යේෂණ සිදුකිරීමයි. එවිට කෘෂි රසායන වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් භාවිතයට යොමු විය හැකි ය.

 පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයකට නව පර්යේෂණ

රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය මඟින් මේ සඳහා පර්යේෂණ සිදුකර ඇති අතර වර්තමානයේ දී ද මේ සම්බන්ධ පර්යේෂණ සිදු කරමින් පවතී. දිලීර රෝග ක්ෂේත්‍රයේ ඉතා සුලබව දැකිය හැකි අතර එය ගොවියාට ආර්ථිකව හානියකි. මේ සඳහා පරිසරයේ සුලබ ශාක යොදා ගෙනම දිලීර රෝග ඇතිවීම වළක්වා ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. මුරුංගා ශාකය එයට හොඳම උදාහරණයකි. මුරුංගා ශාකය ඉතා හොඳ දිලීර නාශක ගුණ ඇති සංඝටකවලින් යුක්තය.‍ එහි පත්‍ර, කරල් ආදී බොහෝ කොටස් වලින් ලබාගත් නිස්සාරක දිලීරනාශක ගුණ පෙන්වන බව පරීක්ෂණ වලින් ම තහවුරු කර ඇත. තවද ලූනු හා එහි ඥාති විශේෂයන් තුළ ද මෙකී දිලීර නාශක ගුණ ඇති බව පෙන්වා දී ඇත. එමෙන් ම ක්ෂේත්‍රයේ වල් පැළ ගොවියාට ගෙන දෙන්නේ මහත් කරදරයකි. එවන් වල් පැළ භාවිතයෙන් ක්ෂේත්‍රයේම පවතින දිලීර කැපීමට යොදා ගන්නා ආකාරය පරීක්ෂණ කරමින් පවතී. තවද දිලීර විනාශ කළ හැකි හිතකාමී බැක්ටීරියා විශේෂ ද පරීක්ෂණාත්මකව හඳුනාගෙන ඇත. එමෙන් ම කෘෂිකාර්මික කටයුතුවලදී පස ධූමායනය ඉතා වැදගත් ය. මේ සඳහා සාමාන්‍යයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරයි. එහෙත් පරිසර හිතකාමී අයුරින් වල් අඹ ශාකය යොදා මෙය මැනවින් සිදු කළ බව පෙන්වා දී ඇත. මෙලෙස මූලික පර්යේෂණ සිදුකර ඇතත් ඒවා වාණිජ ලෙස මහා පරිමාණයෙන් භාවිතයට ගැනීමට රාජ්‍ය මැදහත් වීමක් අවශ්‍ය වේ.

පලිබෝධ මර්දනයට වඩා පලිබෝධකයින් ක්ෂේත්‍රයේ ඇතිවීම වැළැක්වීම ඉතා වැදගත් වන්නේ ය. මේ සඳහා නිවැරදි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිත කළ යුතු ය. නිර්දේශිත ශාක ඝනත්වය, බිම් සැකසීම ආදිය මූලික වේ. උදාහරණයක් ලෙස නිර්දේශිත ශාක ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් ක්ෂේත්‍රය තුළ පවතින්නේ නම් ක්ෂේත්‍රයේ තෙතමනය වැඩි වේ. දිලීර රෝග ආසාදනය වැඩි වේ. එමෙන් ම පහසුවෙන් ම එම රෝග යාබද ශාක කරා ද ව්‍යාප්ත වේ. මෙලෙස රෝග හා පළිබෝධ උවදුර ඇතිවීමට බලපාන මූලික කාරණාවලට පිළියම් යෙදීම ඉතා වැදගත් ය. අප කාෂි රසායන භාවිතයකට ළඟා වූ විටය. ඊට ප්‍රථම දී වෙනත් භෞතික ක්‍රම මඟින් පහසුවෙන් මෙය පාලනය කළ හැකි ය.

කෘෂි රසායන ක්ෂේත්‍ර ගැටලුවකදී භාවිත කළ යුතු වන්නේ මුල් අදියරේ දී නොව අවසන් අදියරේ දී ය. සමෝධානික පාලන ක්‍රමයක් බොහෝ කෘෂිකාර්මික ගැටලු සඳහා සාර්ථක පිළියමකි.

(රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නාලිකා ප්‍රියංවදා රණතුංග මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිවිද්‍යා පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.