ඌරු සිටා‍ණෝ | සිළුමිණ

ඌරු සිටා‍ණෝ

වනයේ අතරමං වූ අත දරුවකුට, වෘක මවක් කිරි දී ඇති දැඩි කළ බව, ගෝරිල්ලන්, චිම්පන්සීන් ඇසුරේ ටාසන් වැඩුණු බව ලෝක සාහිත්‍යය රස කරයි. එහෙත් වල් ඊරියකගෙන් කිරී බී වැඩුණු අතදරුවකු ඉන්නේ අපේ ජනකතා අතරේ පමණි. එය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා හොඳින් දනී.

“පැත්ත පළාතක කිරි ඉබ්බෙක් නැති ඇඹිලිපිටියේ ‘කිරි ඉබ්බන් ආර’ යි, ඒක හරස් කරලා දිය රැඳවූ ‘ඌරු සිටාණෝ වැව’ යි අදටත් දැකගන්න පුළුවන්. මේ කතාවේ කතා නායකයා ඌරු රංචුවක් සමඟ හැදීවැඩුණු, උන්ගේ ගතිපැවතුම් ඇති හැඩිදැඩි තරුණයෙක්. ඔහු ගැන රජුට සැල වුණාම රාජ පුරුෂයන් යවා අල්ලා සිර කළා. රාජකීය සිරගාලේදී ශිෂ්ටසම්පන්න ගතිපැවතුම් සහ සාමාන්‍ය කතාබහ හුරු වුණු තරුණයා රජුට 'කිරි ඉබ්බන් ආර හරස් කර, පළාත අස්වැද්දිය හැකි' බව කීවා. ඒ අනුව රජු ඉදි කළ වැවෙන් අක්කර හත්-අට සියයක් අස්වද්දුවා. ඊට කෘතගුණ සැලකීමක් හැටියට තරුණයා නිදහස් කරලා, සිටු පදවියක් පිරිනමලා වැව ‘ඌරු සිටාණෝ වැව’ කියලා නම් කළා. ඒත් අදටත් වැවෙන් ජලය ගන්නා අයම වල් ඌරු මස් රස නොබලා ඉන්නේ නෑ!”

උපහාසයත් කණගාටුවත් මුසු ස්වරයකින් කී වෛද්‍ය අතපත්තු ඌරු දළෙන් ගජමුතු නොලැබෙන හේතුවද පැහැදිලි කළේය.

“සමහරු ඌරු මස් නොකන්නේ ආගමික හේතු මත. තවත් අය ඌ අපිරිසුදු සතකු ලෙස සලකන නිසා. වල් ඌරා ඊරිය මෙන් තුන් ගුණයක් පමණ විශාලයි. වැඩුණු ඌරාගේ පිරිමි ලක්ෂණය තමයි දළ. ඌරු දළ කීවට ඒවා උන්ගේ ඉහළ දත් ඇන්දෙන් පිටට නෙරා වක ගැසී ඇති රදනක දත් යුගළයි. ඒත් අලින්ගේ වගේ අයිවරි මේ දළවල නෑ. ඒ නිසා වල් ඌරු දළවල මුතු හැදෙන්නේ නෑ. අනෙක පිරිමි සතාගේ පිට දිගේ දිගට, ඝනකමට රෝම පිහිටනවා.

“වල් ඊරියක් වසරකට දෙවරක් පැටවුන් බිහි කරන්න පුළුවන්. එ්ත් මට හමු වුණා වසර දෙකකදී පස් වතාවක් ගැබ් ගත් වල් ඊරියක්. ගැබ් කාලය මාස හතරක් පමණ වන නිසයි එහෙම වන්නෙ. වරකට පැටවුන් 6ක්-8ක් පමණ බිහි කළත් පැටවුන් 10ක් වුණත් දරාගන්න තරම් අභිජනන ශක්තියක් ඊරියට තිබෙනවා. මම නිරීක්ෂණය කළා, ස්තන ග්‍රන්ථි යුගල හතරක් පිහිටියත් බැල්ලන්, බැළලියන් වගේ සතුන්ගේ කිරි එන්නේ අපර ග්‍රන්ථි යුගල දෙකෙන් විතරයි. ඒත් වල් ඊරියන්ගේ ග්‍රන්ථි යුගල හතරම සක්‍රීයයි.”

මේ අභිජනන හැකියාව නිසා වසංගතයකින් වුවත් නොනැසී බේරෙන්නට වල් ඌරන්ට ඇති හැකියාව ඔහු අත්දුටුවේ 1980 යුගයේය.

“කටුනායක ගුවන් තොටුපොළේ ඉතිරි වන ආහාර සහ අපද්‍රව්‍යවලින් යැපුණු මහා පරිමාණ ගොවිපොළක ඌරන් හිටිහැටියේ මැරෙන්න ගත්තා. අනාවරණය වුණා අලුත් විෂබීජයක් නිසා කියලා. දෙපාර්තමේන්තුවෙන් නීති මාලාවක් දැම්මා. ඒත් හරිගියේ නෑ. යාලට පැතිරුණා. පස්සේ හැම උද්‍යානයකටම පැතිරිලා වල් ඌරු සංහතියම මැරිලා වැටෙන්න ගත්තා.

අපට පුළුවන් වුණේ මැරෙන උන් වළදාන එක විතරයි. අන්තිමේදි උද්‍යානෙක වල් උෟරෙක් දැකීම දළ ඇතෙක් දකිනවාටත් වඩා දුර්ලභ වුණා. සොබා දහමේ අපූර්වත්වය නිසා ඒ රෝගකාරකයට ඔරොත්තු දෙන ප්‍රතිශක්තීකරණයක් ඉබේම ඇති වුණා. අභිජනන හැකියාව නිසා දැන් නම් කැලෑවල ගම්වල නගරවල ඕනෑ තරම් වල් ඌරෝ ඉන්නවා.

“එක රෝම කූපයකින් රෝම තුනක් එන්නේ වල් ඌරාගේ. ගම් ඌරා සහ ෆාම් ඌරාගෙ රෝම දෙකයි. පැටවුන් සති හයක් පමණ යන තුරු නග්න සිරුරෙන් ඉඳලා පස්සේ ලස්සන ඇඳුමක් ඇන්දා වගේ දුඹුරු පාටට රෝම පිරෙනවා. පුංචි කාලේ මේ පැටවුන්ගේ පිටේ තුන් 'ඉරි අප්පුලාගේ' වගේ කහ පාටට හුරු ඉරි තුනක් පිහිටනවා. ලොකු වෙද්දි ඒවා මැකිලා අළු පාටට හුරු කළු පාටක් ගන්නවා. පොඩි පැටවුන්ගේ වලිග මැදින් සුරුණ්ඩු වෙලා තිබුණට ලොකු වෙද්දි ඒ ගතිය ඇරෙනවා. කිරි වරන කාලේ පස්සෙන් වැටීගෙන ගිහින් අම්මා හාරලා දෙන අලයක් එහෙම කන්නේ පොර කකා ශබ්ද කරකර. අනේ ඉතිං අම්මා 'මේ ඊරී බිම සීරී' වගේ පැත්තකට වෙලා බලාගෙන සතුටු වෙනවා.

“සර්ව භක්ෂකයෙක් නිසා ඕනෑම දෙයක් කන මේ සතා අලියෙක් මැරිලා හිටියොත් උන්ගේ බඩ හිල් කරලා අතුණුබහන් රස බලන්න හරි ආසයි. ඒ වගේම මැරුණු සතුන්ගේ ඇට ලෑටි ගෑමෙන් අවශ්‍ය කැල්සියම් ප්‍රමාණයත් ලබාගන්නවා. බෙල්ල කොට නිසා දිය බොන්නේ ජලයට බැහැලා. හැබැයි වතුර ඉක්මනින් වාෂ්ප වන නිසා ඇඟේ උෂ්ණත්වය පාලනයට වගුරුවල බැහැලා මඩ තවරගෙන ඉන්න ආසයි.”

අැළි ඌරන් දැක නැති වුවද වෛද්‍ය අතපත්තු සුදු ඌරන් දැක ඇත්තේ නුවරඑළියේ නීපිළිමාන ප්‍රදේශයේදීය. අර්තාපල් වගාව ප්‍රචලිත වන විට ඒවා කෑමට සුදු වල් ඌරන් පැමිණ තිබිණි. මේ සතුන් පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්ය එස්බී රාජගුරු සිතුවේ ඒ ඇළි වල් ඌරන් කියාය. එහෙත් ඔහුගේ ගෝළයකු වූ වෛද්‍ය අතපත්තු එහි සැබෑ තතු සොයාගත්තේය. 1970 යුගයේ එහි විසූ තනිකඩ සුදු ජාතිකයකු යෝක්ෂයර් වර්ගයේ සුදු ඌරු ගොවිපොළක් කරගෙන ගිය අතර, අයිතිකරු අසනීප වී ඕස්ට්‍රේලියාවට යන කාලයේ කොටුවෙන් පැන ගිය ඌරන් කිහිපදෙනකු කැලෑ වැදී තිබිණි. පසුව උන් වල් ඊරියන්ට දාව සුදු පැහැ පැටවුන් බිහි කර තිබිණි. කෙසේ වෙතත් අද වන විට ඒ එකකු වත් දකින්න නැත්තේ හොඳට මසින් වැඩුණු ඒ සතුන් දෙස බැල්ම හෙළූ මිනිසුන් නිසාමය.

කතරගමට වැදුණු වල් අලි දෙදෙනකු ඇල්ලීමට ගොස් සිටි වෛද්‍ය අතපත්තුට අසල පොලීසියක නිලධාරීන් කනිපින්දම් කියන්නට වූයේ තම ප්‍රධානියා ආදරයෙන් ඇති කළ වල් ඊරියගේ නාසය කුණු වළ හෑරීමේදී වීදුරු කටුවකට කැපී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන නිසා සුව කර දෙන ලෙසටයි.

“බෙහෙත් දාලා සේලයිනුත් දීලා මම කීවා මේක නම් වීදුරු කට්ටකට නෙවේ පිහි පාරකින් වුණු තුවාලයක් කියලා. කලබල වුණු පොලිස් නිලධාරීන් ඒ බව ලොක්කාගේ කනේ තියන්න එපා කියලා මට වැඳ වැටිලා ඇත්ත කීවා. වළක වැටී සිටි ඊරි පැටික්කි ඕඅයිසී ආදරෙන් ඇති කරලා. නිලයක් නැතුවට ලොක්කි වගේ හිටියේ මේ සුරතල් ඊරි. මිනිස් වාසෙදි උන් අවුරුදු 12ක් විතර ජීවත් වෙනවා. ඕඅයිසී දින කීපයකට ගමේ යද්දි බලාගන්න කීවට වෙනදා වගේ කුස්සියේ කෑම නොලැබුණු නිසා පුරුද්දට මෙයා කෝකියා ළඟට හොම්බ දැම්මාම පිහියෙන් නහයට තට්ටුවක් දැම්ම කියලයි කීවේ.

තට්ටුවේ තරමට නාස් පුඩු එළියට පේන්නම කැපිලා. තුවාලකාරයා හොඳ වුණ නිසා ඕඅයිසීට අපි විස්තර කීවෙ නෑ. ඒත් ආපහු උසස් වීමක් සමඟ මාරුවක් ලැබුණා. ඌරු සුරතලී බලාගන්න ගෝළයන්ට බාර දීලා එයා ගියා. ගෝලයින්ගේත් මාරුවීම් කීපයක් වුණා. කිලෝ ගානක් හොඳට මස් පිරුණු සතාට කෙළ හලාගෙන හිටිය අයට මේක හොඳ අවස්ථාවක්. අහල පහළ පොලීසිවලටත් රසවත් ඌරුමස් දීසි බෙදන්න ඔවුන් අමතක කළේ නෑ. හැබැයි ටික දවසකින් කතාව එළි වුණා. සුරතල් සතා මස් කළ අයට උතුරට මාරු වීම් ලැබුණා. වල් ඌරන් පළිබෝධකයන් නිසා මැරීම තහනම් නැතත් මස් විකිණීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය නීතියෙන් තහනම්. ඒක පනත විහිළුවට ලක් වන තැනක්.

“ගෙවල්වල වල් ඌරන් ඇති කරන්නේ නැති තරම්. හේතුව උන්ගේ මද කිපෙන කාලෙට ගෙහිමියන්ටත් දළවලින් අනිනවා. ඒත් වල් ඊරියෝ නම් හරිම හුරතල්!”

 

[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.